The Old Testament of the Holy Bible

උත්පත්ති 1

1 ප‍ටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් (ස්වර්ගත්) පොළොවත් මැවූසේක. 2 පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක. 3 දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය. 4 එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට 5 එළියට දවාලය කියාද අන්ධකාරයට රාත‍්‍රිය‍ය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය. 6 දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක. 7 දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; 8 ඒ එසේ විය. දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය,ඒ දෙවෙනි දවසක්ය. 9 දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස්වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය. 10 දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. 11 දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. 12 ඒ එසේවිය. තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵල දරන වෘක්ෂද පොළොවෙන් හට ගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. 13 සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසක්ය. 14 දෙවියන්වහන්සේ: රාත‍්‍රියෙන් දවාල වෙන්කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද ඍතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා, 15 පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය. 16 දෙවියන්වහන්සේ මහත් ආලෝක දෙක සෑදුසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදුසේක. 17 පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත‍්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත් 18 අන්ධකාරයෙන් එළිය වෙන්කරන පිණිසත් දෙවියන්වහන්සේ ඒවා අහස් තලයෙහි තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. 19 සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසක්ය. 20 දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන්ගෙන් බෙහෝ කොට හටගන්වාවා, පක්ෂිහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසර කෙරෙත්වයි කීසේක. 21 තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස ජලයෙහි බෙහෝ සෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. 22 දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: තොපි සඵලව බෝවෙමින් මු‍හුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝ වෙත්වයි කීසේක. 23 සවස විය, උදය විය, ඒ පස්වෙනි දවසක්ය. 24 දෙවියන්වහන්සේ : පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හට ගන්වාවයි කීසේක. ඒ එසේ විය. 25 දෙවියන්වහන්සේ ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ ඒ වර්ග ලෙස භූමියෙහි බඩගායන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. 26 තවද දෙවියන්වහන්සේ : අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. 27 දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත‍්‍රියද කොට ඔවුන් මැවූසේක. 28 දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව්යයි කීසේක. 29 තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල අති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය. 30 පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පෙළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය. 31 දෙවියන්වහන්සේ තමන් සෑදු සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.

උත්පත්ති 2

1 මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය. 2 දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. 3 දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක. 4 ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් (ස්වර්ගත්) සෑදු දවසෙහි, ඒවා මවන ලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප‍්‍රවෘත්තිය මේය. 5 ඒතාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගා කරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය. 6 එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමිතලය තෙමුවේය. 7 ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දුවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන *(සත්වයෙක්) ප‍්‍රාණයක් විය. 8 ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදු මනුෂ්‍යයා එහි සිටෙවුසේක. 9 දැකීමට ප‍්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. 10 උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය. 11 පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය; 12 ඒ දේශයේ රත්රන් හොඳය. බෙදෝලාද, වෛදූර්යයද එහි ඇත්තේය. 13 දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කූෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය. 14 තුන්වෙනි ගංගාවේ නම +(ටීග්‍රිස්) හිද්දෙකෙල්ය; අෂුර් දේශය *(නැගෙනහිරින්) ඉස්සරහින් ගලායන්නේ ඒකය. 15 සතරවෙනි ගංගාව ප‍්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවුසේක. 16 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; 17 එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක. 18 ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත; ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමියි කීසේක. 19 ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවුසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. 20 මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් *(ආදම්ට) මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය. 21 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවුසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවුසේක. 22 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත‍්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවුසේක. 23 එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූ යයි කියනුලබන්නී යයි කීය. 24 එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය. 25 තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය, නුමුත් ඔව්හු ලජ්ජා නොවූහ.

උත්පත්ති 3

1 සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදු වනයේ කවර සත්වයෙකුටත් වඩා ප‍්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත‍්‍රියගෙන් ඇසීය. 2 ස්ත‍්‍රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන; 3 එහෙත් දෙවියන්වහන්සේ-නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය. 4 සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත; 5 මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත‍්‍රීට කීය. 6 ස්ත‍්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමග සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය. 7 එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය. 8 ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. 9 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක. 10 ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහි දී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය. 11 උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක. 12 මනුෂ්‍යයාද: මා සමග සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය. 13 ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත‍්‍රියට කීසේක. ස්ත‍්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය. 14 එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගා යමින් තාගේ ජීවිතයේ සියලු දවස් වලම ධූලි කන්නෙහිය. 15 මම තා සහ ස්ත‍්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක. 16 උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ *(ගර්භදැරීමේ වේදනාව)ශෝකය හා ගැබ්ගැනීම බොහෝ සෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක. 17 උන්වහන්සේ ආදම්ට කථාකොට: නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණ කළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; 18 එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; 19 නුඹ වනයේ පලා කන්නෙහිය; නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දුවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක. 20 මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට +(හෙබ්‍රෙව්: හව්වා, එනම් ‍ජීවමාන, නොහොත් ජීවනය.) ඒව යන නම තැබීය. 21 ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක. 22 තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැන ගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගු කොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා, 23 යම් භූමියකින් ඔහු ගන්නාලදද එය වවන පිණිස ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටකළසේක. 24 මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවුසේක.

උත්පත්ති 4

1 මනුෂ්‍යයා තමාගේ භාර්යාව වූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් වදා: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමි කීවාය. 2 නැවත ඈ ඔහුගේ සහෝදරවූ ආබෙල් වැදුවාය. ආබෙල් බැටළු පාලයෙක් වූයේය, නුමුත් කායින් ගොවියෙක් වූයේය. 3 කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනායේය. 4 ආබෙල්ද තමාගේ රැළේ කුලූඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක; 5 එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකූසේක. එවිට කායින් අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය. 6 ස්වාමීන්වහන්සේ කායින්ට කථාකොට : නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද? 7 නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහියයි කීසේක. 8 කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට කථාකෙළේය. තවද ඔවුන් කෙතෙහි සිටි කල්හි කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය. 9 ස්වාමීන්වහන්සේ: නුඹේ සහෝදරවූ ආබෙල් කොහේදැයි කායින්ට කීසේක. ඔහුද: මම නොදනිමි; මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය. 10 උන්වහන්සේ: නුඹ කුමක් කෙළෙහිද? නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි. 11 දැනුදු නුඹේ අතින් නුඹේ සහෝදරයාගේ ලෙය පිළිගන්නා පිණිස මුඛය ඇරියාවූ භූමියෙන් නුඹ ශාපලද්දෙක්ය. 12 නුඹ භූමිය වගාකරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය. නුඹ පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙහියයි කීසේක. 13 එවිට කායින් ස්වාමීන්වහන්සේට කථා කොට: මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය. 14 බැලුව මැනව, ඔබවහන්සේ අද දවසෙහි භූමිතලයෙන් මා එළෙවුසේක; මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි; පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි; තවද මා සම්බවෙන කවරෙක් නුමුත් මා මරන්නේයයි කීය. 15 ස්වාමීන්වහන්සේ: ඉදින් යමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත්වරක් පළිගනු ලබන්නේයයි ඔහුට කීසේක. කායින් සම්බවෙන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස ස්වාමීන්වහන්සේ ඔහුට ලකුණක් නියම කළ සේක. 16 කායින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස් ඒදනෙන් පෙරදිග නොද් දේශයෙහි වාසය කෙළේය. 17 කායින් තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ ගර්භිණීව ඒනොක් වැදුවාය. ඔහු නුවරක් ගොඩනගා, තමාගේ පුත‍්‍රයාගේ නම ලෙස ඊට ඒනොක් යන නම තැබීය. 18 ඒනොක්හට ඊරාද් උපන්නේය; ඊරාද්ට දාව මෙහුයායෙල් උපන්නේය; මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් උපන්නේය; මෙතුෂායෙල්ට දාව ලාමෙක් උපන්නේය. 19 ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවාගත්තේය; එක් තැනැත්තියකගේ නම ආදාය, අනික් තැනැත්තියගේ නම ශිල්ලාය. 20 ආදා යාබල් වැදුවාය; ඔහු කූඩාරම්වල වාසය කරන්නාවූ ගෝපාලයන්ගේ පියාය. 21 ඔහුගේ සහෝදරයාගේ නම යූබාල්ය; ඔහු වීණාවත් නළාවත් පාවිච්චිකරන සියල්ලන්ගේ පියාය. 22 ශිල්ලාද තූබල්-කායින් වැදුවාය, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලෝකුරුවා වූයේය. තූබල්-කායින්ගේ සහෝදරී නාමාය. 23 ලාමෙක් තමාගේ භාර්යාවන්ට කථාකොට: ආදා හා ශිල්ලා, මගේ හඬ අසව්; ලාමෙක්ගේ භාර්යාවෙනි, මාගේ බසට කන් දෙව්; මට තුවාල කළ නිසා මිනිසෙක්ද මට රිදවූ නිසා යෞවනයෙක්ද මැරීමි; 24 ඉදින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක් පළිගනු ලැබේයයි කීවේය. 25 ආදම් නැවත තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ පුත‍්‍රයෙකු වදා ඔහුට සෙත් යන නම තැබුවාය. මක්නිසාද කායින් ආබෙල් මැරූ හෙයින් ඔහු වෙනුවට දෙවියන්වහන්සේ මට වෙන වංශයක් නියමකර දුන්සේකැයි ඈ කීවාය. 26 සෙත්ටද පුත‍්‍රයෙක් උපන්නේය; ඔහු ඒනොෂ් යන නම ඔහුට තැබීය. එකල මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්ට පටන්ගත්තෝය.

උත්පත්ති 5

1 ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදුසේක; 2 පුරුෂයෙක්ද ස්ත‍්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවූසේක; උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකර, ඔවුන් මවනුලැබූ දවසෙහි *(මනුෂ්‍යයා) ආදම් යන නාමය ඔවුන්ට තැබූසේක. 3 ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත‍්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය. 4 සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් (800) විය. ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 5 ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් (930) අවුරුද්දක්ය; ඔහු මෙළේය. 6 සෙත් එකසිය පස් (105) අවුරුද්දක් ජීවත් වූ පසු ඔහුට දාව ඒනොෂ් උපන්නේය. 7 සෙත් ඒනොෂ් ඉපදෙවූ පසු අටසිය සත් (807) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 8 සෙත්ගේ සියලු දවස් නවසිය දොළොස් (912) අවුරුද්දක්ය; ඔහු මෙළේය. 9 ඒනොෂ් අනූ (90) අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය. 10 ඒනොෂ් කේනාන් ඉපදෙවූ පසු අටසිය පසළොස් (815) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 11 ඒනොෂ්ගේ සියලු දවස් නවසිය පස් (905) අවුරුද්දක්ය; ඔහු මෙළේය. 12 කේනාන් සැත්තෑ (70) අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව මහලලෙල් උපන්නේය. 13 කේනාන් මහලලෙල් ඉපදෙවූ පසු අටසිය සතලිස් (840) අවුරුද්දක් ජීවත් වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 14 කේනාන්ගේ සියලු දවස් නවසිය දස (910) අවුරුද්දක්ය; ඔහු මෙළේය. 15 මහලලෙල් සැටපස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව යරෙද් උපන්නේය. 16 මහලලෙල් යරෙද් ඉපදෙවූ පසු අටසිය තිස් (830) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 17 මහලලෙල්ගේ සියලු දවස් අටසිය අනූ පස් (895) අවුරුද්දක්ය; ඔහු මෙළේය. 18 යරෙද් එකසිය සැට (162)දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය. 19 යරෙද් ඒනොක් ඉපදෙවු පසු අටසිය (800) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දූවරුද උපන්නෝය. 20 යරෙද්ගේ සියලු දවස් නවසිය සැට (960) දෑවුරුද්දක්ය; ඔහු මෙළේය. 21 ඒනොක් සැටපස් (65) අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙවුවේය. 22 ඒනොක් මෙතුසෙලා ඉපදෙවු පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 23 ඒනොක්ගේ සියලු දවස් තුන්සිය සැටපස් (365) අවුරුද්දක්ය 24 තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය. 25 මෙතුසෙලා එකසිය අසූසත් (187) අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය. 26 මෙතුසෙලා ලාමෙක් ඉපදෙවු පසු සත්සිය අසූ (782) දෑවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 27 මෙතුසෙලාගේ සියලු දවස් නවසිය සැටනව (969) අවුරුද්දක්ය; ඔහු මෙළේය. 28 ලාමෙක් එකසිය අසූ (182) දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පුත‍්‍රයෙක් උපන්නේය. 29 ඔහු: ස්වාමීන්වහන්සේ ශාප කළ භූමිය කරණකොටගෙනවූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේය කියා ඔහුට නෝවා යන නම තැබීය. 30 ලාමෙක් නෝවා ඉපදෙවු පසු පන්සිය අනූපස් (595) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 31 ලාමෙක්ගේ සියලු දවස් සත්සිය සැත්තෑ සත් (777) අවුරුද්දක්ය; ඔහු මෙළේය. 32: නෝවාට අවුරුදු පන්සියයක් (500) වයස්වූ කල ඔහුට දාව ෂෙම්ද හාම්ද යඵෙත්ද උපන්නෝය.

උත්පත්ති 6

1 තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට 02: දුවරුන් උපන් කල දෙවියන්වහන්සේගේ පුත‍්‍රයෝ මනුෂ්‍යයන්ගේ දුවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය. 3 ස්වාමීන්වහන්සේද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක. 4 ඒ දවස්හි *(හෙබ්‍රෙව් : 'නෙඵීලිම්')යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන් පසුත් දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් මනුෂ්‍යයන්ගේ දුවරුන් වෙතට පැමිණි කල ඒ ස්ත‍්‍රීන් ඔවුන් නිසා වැදු දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය. 5 මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක. 6 තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදු බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක. 7 ස්වාමීන්වහන්සේ මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගා යන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදු බැවින් තැවෙමියි කීසේක. 8 එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලැබුයේය. 9 නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි *(හෙවත්, නිර්මලව) සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය. 10 නෝවාට දාව ෂෙම්, හාම්, යඵෙත් යන පුත‍්‍රයන් තුන්දෙනෙක් උපන්නෝය. 11: පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දුෂ්‍යවූවාය, පොළොව බලහත්කාරයෙන් පිරී තිබුණාය. 12 දෙවියන්වහන්සේ පොළොව දෙස බැලූසේක; බලව, එය දුෂ්‍යව තිබුණය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දුෂ්‍යකරගන සිටියෝය. 13 දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ; බලව, මම ඔවුන් පොළොව හා සමඟ විනාශකරන්නෙමි. 14 නුඹ ගොඵෙර් (සයිප‍්‍රස්) ලී වලින් නැවක් සාදාගනින්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාපන්න. 15 නුඹ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන් සියයක්ය, (අඩි 450) පළල රියන් පනසක්ය, (අඩි 75) උස රියන් තිහක්ය. (අඩි45) 16 නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් (අඟල්18) නිම කරපන්න; නැවේ දොර පැත්තකින් සාදාපන්න; පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුව ඒක සදාපන්න. 17 බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශ කරන පිණිස මම පොළොව පිටට ජල ගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය. 18 එහෙත් නුඹ සමඟ මාගේගිවිසුම පිහිටුවන්නෙමි; නුඹද නුඹ සමඟ නුඹේ පුත‍්‍රයෝද නුඹේ භාර්යාවද නුඹේ පුත‍්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය. 19 තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් නුඹ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑණු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියාපන්න. 20 ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගායන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් නුඹ වෙතට පැමිණෙන්නෝය. 21 කන්නාවූ සියලු ආකාර ආහාරයෙන් නුඹ වෙතට රැස්කරගනින්න; ඒවා නුඹටද උන්ටද භෝජන පිණිස වන්නේයයි කීසේක. 22 නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය.

උත්පත්ති 7

1 ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: නුඹද නුඹේ මුළු පවුලද නැවට ඇතුල්වෙයල්ලා; මක්නිසාද නුඹ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි. 02: මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත‍්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් දෙනෙකු බැගින්ද අපවිත‍්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද, 3 ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද නුඹ වෙතට ගනින්න. 4 4 මක්නිසාද තව සත් දවසකින් දහවල් සතලිසක්ද රෑ සතලිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක. 5 නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය. 6 පොළොවෙහි ජලගැල්ම වූ කල්හි නෝවා අවුරුදු හසියයක් වයස්ව සිටියේය. 7 ජලගැල්ම නිසා නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත‍්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත‍්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වූවෝය. 8 පවිත‍්‍ර මෘගයන් ගෙන්ද අපවිත‍්‍ර මෘගයන්ගෙන්ද පක්ෂීන්ගෙන්ද භූමියෙහි බඩගා යන සියල්ලන්ගෙන්ද 9 ගෑනු පිරිමි සතුන් දෙන්න දෙන්නා බැගින් දෙවියන්වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා වෙත නැවට ඇතුල්වූවෝය. 10 ඒ සත් දවසට පසු ජලගැල්ම පොළොවෙහි විය. 11 නෝවාගේ ජීවිතයේ හසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය. 12 දහවල් සතලිසක්ද රෑ සතලිසක්ද පොළොව පිට වැසි වැස්සේය. 13 එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත‍්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත‍්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය; 14 ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු කුරුල්ලෝද ඇතුල්වූවෝය. 15 මෙසේ ජීවන හුස්ම ඇති මාංසමය සියල්ලන්ගෙන් දෙන්න දෙන්නා බැගින් නෝවා වෙත නැවට ඇතුල්වූවෝය. 16 ඇතුල්වූ සත්වයෝ දෙවියන්වහන්සේ ඔහුට අණකළ ලෙස මාංසමය වූ සියල්ලන්ගෙන් ගෑනු පිරිමි වශයෙන් ඇතුල් වූවෝය; ස්වාමීන්වහන්සේ ඔහු ඇතුල්කොට දොර වැසූසේක. 17 ජලගැල්ම සතලිස් දවසක් පොළොවෙහි විය; ජලය වැඩිව නැව ඉල්පවිය. ඒක පොළොවෙන් ඉවත්ව ගියාය. 18 ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය. 19 ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය. 20 කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය. 21 පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය. 22 තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය. 23 මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතු පිට සිටි සියලු ප‍්‍රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය. 24 ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.

උත්පත්ති 8

1 තවද දෙවියන්වහන්සේ නෝවාද ඔහු සමඟ සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සව්පාවුන්ද සිහිකළසේක. දෙවියන්වහන්සේ පොළොව පිට හුළඟක් ගසන්ට සැලැස්වූ සේක, එවිට ජලය අඩුවිය; 2 ගැඹුරේ උල්පත්ද අහසේ කවුළුද පියනලද්දේය; අහසෙන් වර්ෂාවද නවත්වනලද්දේය. 3 ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය. 04: නැව සත්වෙනි මස දස සත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය. 5 දසවෙනි මාසය දක්වා ජලය නොකඩවා බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුඳුන් පෙනුණේය. 6 සතලිස් දවසකට පසු නෝවා තමා සෑදු නැවේ කවුළුව හැරියේය. 7 ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය. 8 ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය; 9 එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිඟුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය. 10 ඔහු තව සත් දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය; 11 පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැන ගත්තේය. 12 ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය. 13 තවද හසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය, 14 බලව, භූමිතලය වියළී තිබුණය. දෙවෙනි මස විසිසත් වෙනි දින පොළොව වියළී තිබුණය. 15 එවිට දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: 16 නුඹද නුඹ සමඟ නුඹේ භාර්යාවද නුඹේ පුත‍්‍රයෝද නුඹේ පුත‍්‍රයන්ගේ භාර්යාවෝද නැවෙන් පිටතට වරෙල්ලා. 17 නුඹ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස නුඹ සමඟ රැගෙන පිටතට එවයි කීසේක. 18 එවිට නෝවාද ඔහු සමග ඔහුගේ පුත‍්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත‍්‍රයන්ගේ භාර්යාවෝද පිටතට ආවෝය. 19 19 සියලු මෘගයෝද සියලු බඩගා යන සත්වයෝද සියලු පක්ෂීහුද භූමියෙහි හැසිරෙන සියල්ලෝද උන්ගේ ජාති ප‍්‍රකාරයට නැවෙන් පිටතට ගියෝය. 20 නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත‍්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය. 21 ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථා කරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි. 22 පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ශ‍්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත‍්‍රියද නොනවතින්නේයයි කීසේක.

උත්පත්ති 9

1 තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත‍්‍රයන්ටත් ආශීර්වාදකොට : නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණකරපල්ලා; 2 නුඹලා ගැන භයත් නුඹලා ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද නුඹලා අතට භාරදෙනලද්දෝය. 3 එහා මෙහා යන පණ ඇති සියල්ල නුඹලාට ආහාර වන්නේය; නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම නුඹලාට දුනිමි. 4 නුමුත් මාංසය එහි ප‍්‍රාණය වන රුධිරය සමඟ නොකෑ යුතුය 5 සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි. 6 දෙවියන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදු බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය. 7 නුඹලා වනාහි සඵල වෙමින් බෝවෙයල්ලා; පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙයල්ලායයි ඔවුන්ට කීසේක. 8 දෙවියන්වහන්සේ නෝවාටද ඔහු සමග ඔහුගේ පුත‍්‍රයන්ටද කථාකොට: 9 බලව, මම නුඹලා සමඟත් නුඹලාට පසුව නුඹලාගේ වංශය සමඟත් 10 නුඹලා වෙත සිටින පණ ඇති සියලු සත්වයන් වූ පක්ෂීන්ද ගවයන්ද නුඹලා සමඟ සිටින පොළොවේ සියලු මෘගයන්ද නැවෙන් පිටව යන පොළොවේ සියලු මෘගයන්ද සමගත් මාගේ ගිවිසුම පිහිටුවමි. 11 නුඹලා සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; ජලගැලීමෙන් සියලු සත්වයෝ තවත් සිඳ දමනු නොලබන්නෝය; පොළොව නාස්තිකරන පිණිස ජලගැලීමක් තවත් නොවන්නේයයි කීසේක. 12 තවද දෙවියන්වහන්සේ: මා සහ නුඹලාද නුඹලා සමඟ සිටින්නාවූ සියලු පණ ඇති සත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණනම් මේය: 13 මාගේ දුන්න වලාකුළෙහි තබමි, ඒක මා සහ පොළොව අතරේ ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය. 14 මා විසින් පොළොවට ඉහළින් වලාකුළක් පමුණුවන කල්හි ඒ දුන්න වළාකුළෙහි පෙනෙන්නේය, 15 එවිට මා සහ නුඹලාද සියලු ආකාර මාංසමය වූ හැම පණ ඇති සත්වයන්ද අතරෙහි ඇත්තාවූ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; වතුර කරණකොටගෙන සියලු සත්වයන් විනාශනොවන පිණිස තවත් ජලගැලීමක් නොවන්නේය. 16 දුන්න වලාකුළෙහි වන්නේය; දෙවියන්වහන්සේ හා පොළොව පිට සියලු ආකාර මාංසමයවූ හැම පණ ඇති සත්වයන් අතරෙහි ඇත්තාවූ සදාකාල ගිවිසුම සිහිවන පිණිස මම දුන්න දෙස බලන්නෙමියි කීසේක. 17 තවද දෙවියන්වහන්සේ : මාද පොළොවෙහි සිටින සියලු මාංසමයවූ සියල්ලන්ද අතරෙහි මා විසින් පිහිටුවනලද ගිවිසුමේ ලකුණ මේයයි නෝවාට කීසේක. 18 තවද නැවෙන් පිටතට ගියාවූ නෝවාගේ පුත‍්‍රයෝනම්: ෂෙම්, හාම් සහ යඵෙත්ය. හාම් කානාන්ගේ පියාය. 19 මේ තුන්දෙනා නෝවාගේ පුත‍්‍රයෝය. මොවුන්ගෙන් මුළු පොළොව ගහනව ගියේය. 20 නෝවා ගොවිකම් කරන්ට පටන් ගෙන මිදි වත්තක් වැවුවේය. 21 තවද ඔහු මුද්‍රිකපානය බී මත්ව තමාගේ කූඩාරමෙහි නග්නව උන්නේය. 22 කානාන්ගේ පියවූ හාම් තමාගේ පියාගේ නග්න භාවය දැක පිටත සිටි තමාගේ සහෝදරයන් දෙදෙනාට කීය. 23 එවිට ෂෙම් සහ යඵෙත් වස්ත‍්‍රයක් ගෙන තමන්ගේ දෙවුර පිට ඒක තබාගෙන පස්සෙන් පස්සට ගොස් තමන් පියාගේ නග්න භාවය වැසුවෝය; ඔවුන්ගේ මුහුණු අහකට හැරී තිබුණු බැවින් ඔව්හු තමන් පියාගේ නග්නභාවය නුදුටුවෝය. 24 නෝවා තමාගේ මුද්‍රිකපානයෙන් පිබිද තම බාල පුත‍්‍රයා තමාට කළ දේ දැනගත්තේය. 25 ඔහු: කානාන්ට ශාප වේවා; ඔහු තමගේ සහෝදරයන්ට දාසයන්ගේ දාසයෙක් වන්නයයි කීය. 26 තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප‍්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක්වේවා. 27 දෙවියන්වහන්සේ යඵෙත්ගේ සීමා විශාලකරනසේක්වා, ඔහු ෂෙම්ගේ කූඩාරම්වල වාසය කෙරේවා; කානාන් ඔහුගේ දාසයා වේවයි කීය. 28 නෝවා ජල ගැලීමට පසු තුන්සිය පනස් (350) අවුරුද්දක් ජීවත්විය. 29 නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; (950) ඔහු මෙළේය.

උත්පත්ති 10

1 ෂෙම්ද හාම්ද යඵෙත්ද යන නෝවාගේ පුත‍්‍රයන්ගේ පරම්පරා මේය. ජලගැලීමට පසු ඔවුන්ට පුත‍්‍රයෝ උපන්නෝය. 2 යඵෙත්ගේ පුත‍්‍රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය. 3 ගොමෙර්ගේ පුත‍්‍රයෝනම්: අෂ්කෙනස්, රිඵත් සහ තොගර්මාය. 4 යාවාන්ගේ පුත‍්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය. 5 මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප‍්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප‍්‍රකාරයටද බෙදුණෝය. 6 හාම්ගේ පුත‍්‍රයෝනම්: කූෂ්, මිශ‍්‍රයිම්, පූට් සහ කානාන්ය. 7 කූෂ්ගේ පුත‍්‍රයෝනම්: සෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකාය. රාමාගේ පුත‍්‍රයෝනම්: ෂෙබා සහ දෙදාන්ය. 8 කූෂ්ට දාව නිම්රොද් උපන්නේය. ඔහු පොළොවෙහි බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය. 9 ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් විය. එබැවින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් වාගේයයි කීමක් විය. 10 ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය. 11 ඔහු ඒ දේශයෙන් අෂුර්ට පිටත්ව ගොස් නිනිවයද 12 රෙහොබොත්-ඊර්ද කලාද නිනිවය සහ කලා අතරෙහි වූ රෙසෙන්ද ගොඩ නැගුවේය. (එය මහත් නුවරය.) 13 මිශ‍්‍රයිම්ට දාව ලූදිම්වරුද අනාමිම්වරුද 14 ලෙහාබිම්වරුද නප්තුහිම්වරුද පත්රුසිම්වරුද කස්ලූහිම්වරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ මොවුන්ගෙන්ය) කප්තොරිම්වරුද උපන්නෝය. 15 කානාන්ට දාව තමාගේ කුලුඳුලාවූ 16 ශීදොන්ද හෙත්ද යෙබූසිවරුද අමෝරිවරුද 17 ගිර්ගාෂිවරුද හිවීවරුද ආර්කිවරුද 18 සිනිවරුද අර්වාදිවරුද ශෙමාරිවරුද හමාතිවරුද උපන්නෝය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත‍්‍රයෝ පැතිර ගියෝය. 19 කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය. 20 තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත‍්‍රවලද තමන්ගේ භාෂාවලද ප‍්‍රකාරයටත් හාම්ගේ පුත‍්‍රයෝ නම් මොව්හුය. 21 ඒබෙර්ගේ සියලු පුත‍්‍රයන්ගේ පියාද යඵෙත්ගේ වැඩිමහල් සහෝදරයාද වූ ෂෙම්ටත් පුත‍්‍රයෝ උපන්නෝය. 22 ෂෙම්ගේ පුත‍්‍රයෝනම්: ඒලාම්, අෂුර්, ආර්පක්ෂද්, ලුද් සහ අරාම්ය. 23 අරාම්ගේ පුත‍්‍රයෝනම්: ඌස්, හූල්, ගෙතෙර් සහ මෂ්ය. 24 අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය. ෂෙලාට දාව ඒබෙර් උපන්නේය. 25 ඒබෙර්ට පුත‍්‍රයෝ දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම *(බෙදුම) පෙලෙග්ය, මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය. ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය. 26 යොක්තාන්ට දාව ආල්මෝදාද්, ෂෙලෙප්, හශාර්මාවෙත්, යෙරා; 27 හදෝරාම්, ඌසාල්, දික්ලා; 28 ඕබාල්, අබිමායෙල්, ෂෙබා; 29 ඕඵිර්, හවීලා සහ යෝබාබ් උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත‍්‍රයෝය. 30 ඔවුන්ගේ වාසස්ථානය මේෂා පටන් නැගෙනහිර කන්ද වූ ෂෙඵාර් අතට වූයේය. 31 තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත‍්‍ර වලද තමන්ගේ භාෂාවලද ප‍්‍රකාරයටත් ෂෙම්ගේ පුත‍්‍රයෝනම් මොව්හුය. 32 තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප‍්‍රකාරයට නෝවාගේ පුත‍්‍රයන්ගේ ගෝත‍්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය.

උත්පත්ති 11

1 මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක‍්‍රමයක්ද විය. 2 තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන් කරන අතර ෂිනාර් නම් දේශයෙහි සම භූමියක් සම්බවී එහි වාසය කළෝය. 3 ඔව්හු එකිනෙකාට කථාකොට; වරෙල්ලා, අපි ගඩොල් සාදා හොඳට පුළුස්සමුයයි කීවෝය. ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය. 4 ඔව්හු: වරෙල්ලා, මුළු පෙළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදා ගනිමුයයි කීවෝය. 5 එවිට මනුෂ්‍ය පුත‍්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්ස සේක. 6 ස්වාමීන්වහන්සේද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය. 7 යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක. 8 මෙසේ ස්වාමීන්වහන්සේ එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවු සේක. 9 ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට *(අවුල්කිරීම) බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝ තලයෙහි ඔවුන් විසිරෙවුසේක. 10 ෂෙම්ගේ පරම්පරා මේය. ෂෙම් අවුරුදු සියයක් වයස්වූ කල, ජලගැලීමට දෑවුරුද්දකට පසු ඔහුට දාව අර්පක්ෂද් උපන්නේය. 11 අර්පක්ෂද් ඉපදෙවු පසු ෂෙම් පන්සිය අවුරුද්දක් ජීවත්වු‍ණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 12 අර්පක්ෂද් තිස්පස් අවුරුද්දක් (35) ජීවත් වූ පසු ඔහුට දාව ෂේලා උපන්නේය. 13 ෂේලා ඉපදෙවු පසු අර්පක්ෂද් හාරසිය තුන් (403) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 14 ෂේලා තිස් (30) අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒබෙර් උපන්නේය. 15 ඒබෙර් ඉපදෙවු පසු ෂේලා හාරසිය තුන් (403) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 16 ඒබෙර් තිස්හතර (34) අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පෙලෙග් උපන්නේය. 17 පෙලෙග් ඉපදෙවු පසු ඒබෙර් හාරසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 18 පෙලෙග් තිස් (30) අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව රෙයු උපන්නේය. 19 රෙයු ඉපදෙවු පසු පෙලෙග් දෙසිය නව (209) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 20 රෙයු තිස් දෑවුරුද්දක් (32) ජීවත්වූ පසු ඔහුට දාව සෙරුග් උපන්නේය. 21 සෙරුග් ඉපදෙවු පසු රෙයු දෙසිය සත්(207) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 22 සෙරුග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව නාහොර් උපන්නේය. 23 නාහොර් ඉපදෙවු පසු සෙරුග් දෙසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 24 නාහොර් විසිනව (29) අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව තේරා උපන්නේය. 25 තේරා ඉපදෙවු පසු නාහොර් එකසිය දසනව (119) අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත‍්‍රයෝද දුවරුද උපන්නෝය. 26 තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ‍්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය. 27 තේරාගේ පරම්පරාව මේය. තේරාට දාව ආබ‍්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය; හාරාන්ට දාව ලොත් උපන්නේය. 28 හාරාන් තමන් උපන් දේශයෙහි ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරදී තමාගේ පියවූ තේරා ඉදිරිපිට මෙළේය. 29 ආබ‍්‍රම්ද නාහොර්ද භාර්යාවන් පාවාගත්තෝය. ආබ‍්‍රම්ගේ භාර්යාවගේ නම සාරයිය; නාහොර්ගේ භාර්යාවගේ නම මිල්කාය, ඈ මිල්කාගෙත් ඉස්කාගෙත් පියාවූ හාරාන්ගේ දුවය. 30 සාරයි වඳව දරුවෙක් නැතුව සිටියාය. 31 තේරා තමාගේ පුත‍්‍රවූ ආබ‍්‍රම්ද තමාගේ පුත‍්‍රවූ හාරාන්ගේ පුත‍්‍රයා වන ලොත්ද තමාගේ පුත‍්‍රවූ ආබ‍්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළි වූ සාරයිද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය. 32 තේරාගේ දවස් දෙසිය පස් (205) අවුරුද්දක්ය; තේරා හාරාන්හිදී මෙළේය.

උත්පත්ති 12

1 ස්වාමීන්වහන්සේ ආබ‍්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට පලයන්න. 2 මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙයන්න. 3 තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක. 4 මෙසේ ආබ‍්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය. ආබ‍්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය. 5 ආබ‍්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත‍්‍රවූ ලොත්ද ඔවුන් රැස්කර‍ගන තිබුණු සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය. 6 ආබ‍්‍රම් ඒ දේශය මැදින් ෂෙඛෙම් නම් ස්ථානයෙහි මොරේගේ ආලොන් වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයෙහි කානානිවරු දේශයෙහි සිටියෝය. 7 ස්වාමීන්වහන්සේ ආබ‍්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේය. 8 ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය. 9 ආබ‍්‍රම් ගමන්කරනුයේ, දකුණු දෙසටම ගියේය. 10 දේශයෙහි සාගතයක් විය. දේශයෙහි සාගතය මහත් බැවින් ආබ‍්‍රම් මිසරයෙහි පොරොත්තුව සිටීම පිණිස එහි ගියේය. 11 තවද ඔහු මිසර දේශයට ඇතුල්වෙන්ට ළංවූ කල තම භාර්යාව වූ සාරයිට කථාකොට: බලව, නුඹ ශෝභන පෙනීම ඇති ස්ත‍්‍රියක් බව දනිමි. 12 මිසරවරුන් නුඹ දුටුවිට- මෑ ඔහුගේ භාර්යාවය කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත. 13 ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද නුඹ කරණකොටගෙන මාගේ ප‍්‍රාණය ගැළවෙන පිණිසද නුඹ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය. 14 තවද ආබ‍්‍රම් මිසරයට පැමිණි කල ඒ ස්ත‍්‍රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය. 15 ඵාරාවෝගේ ඇමතිවරු ඈ දැක ඵාරාවෝ ඉදිරියෙහි ඈ වර්ණනාකළෝය. එවිට ඒ ස්ත‍්‍රී ඵාරාවෝගේ ගෙට ගෙනයනලද්දීය. 16 ඔහු ඈ නිසා ආබ‍්‍රම්ට යහපත කෙළේය. බැටළුවෝද ගවයෝද කොටළුවෝද දාසයෝද දාසියෝද කොටළුදෙන්නුද ඔටුවෝද ඔහුට ලැබුණහ. 17 ස්වාමීන්වහන්සේ ආබ‍්‍රම්ගේ භාර්යාවවූ සාරයි නිසා ඵාරාවෝටද ඔහුගේ ගෙයි වැසියන්ටද මහත්වූ පීඩාවලින් පීඩාකළ සේක. 18 එවිට ඵාරාවෝ ආබ‍්‍රම් කැඳවා: නුඹ මට මේ කළේ මොකද? ඈ නුඹේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද? 19 ඈ නුඹේ සහෝදරීයයි මට කීවේ මක්නිසාද? එබැවින් ඇය මාගේ භාර්යා කොට ගතිමි. මෙන්න නුඹේ භාර්යාව, ඇය රැගෙන පලයන්නැයි ඔහුට කීය. 20 ඵාරාවෝ ඔහු ගැන මිනිසුන්ට අණදුන්නේය. ඔව්හු ඔහු සහ ඔහුගේ භාර්යාවද ඔහු සන්තක සියල්ලද මගට ගෙනැත් ඇරලුවෝය.

උත්පත්ති 13

1 ආබ‍්‍රම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට ගියේය. 2 ආබ‍්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදියෙන්ද ඉතා පොහොසත්ව සිටියේය. 3 ඔහු දකුණු දිශාවේ සිට බෙතෙල් දක්වා ගමන්කරමින් බෙතෙල් සහ ආයි අතරෙහි පළමුවෙන් තමාගේ කූඩාරමද 4 තමා විසින් මුලදී සෑදු පූජාසනයද තිබුණවූ ස්ථානයට පැමුණුණේය. එහිදී ආබ‍්‍රම් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේය. 5 ආබ‍්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය. 6 ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය. 7 ආබ‍්‍රම්ගේ ගවයන්ගේ එ‍ඩේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඩේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසය කළෝය. 8 එවිට ආබ‍්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඩේරුන් සහ නුඹේ එඩේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. 9 මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නු‍ඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය. 10 ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම හා ගොමොරා විනාශ කරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය. 11 එවිට ලොත් යොර්දානේ මුළු සමභූමිය තෝරාගෙන නැගෙනහිර දිසාවට ගමන් කෙළේය. මෙසේ ඔව්හු තම තමන් කෙරෙන් වෙන්වූවෝය. 12 ආබ‍්‍රම් කානාන් දේශයෙහි වාසය කෙළේය, ලොත් සම භූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය. 13 සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව ස්වාමීන්වහන්සේට විරුද්ධව අතිශයින් පව්කාරව සිටියෝය. 14 ආබ‍්‍රම් කෙරෙන් ලොත් වෙන්වූ පසු ස්වාමීන්වහන්සේ ආබ‍්‍රම්ට කථාකොට: නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලාපන්න. 15 මක්නිසාද නුඹ දක්නාවූ මුළු දේශය නුඹටද නුඹේ වංශයටද සදාකාලයටම දෙන්නෙමි. 16 නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකිවන්නේය. 17 නැගිට දේශයෙහි දිගටත් හරහටත් පලයන්න; මක්නිසාද ඒක නුඹට දෙන්නෙමියි කීසේක. 18 ආබ‍්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ලඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.

උත්පත්ති 14

1 ආබ‍්‍රම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට ගියේය. 2 ආබ‍්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදියෙන්ද ඉතා පොහොසත්ව සිටියේය. 3 ඔහු දකුණු දිශාවේ සිට බෙතෙල් දක්වා ගමන්කරමින් බෙතෙල් සහ ආයි අතරෙහි පළමුවෙන් තමාගේ කූඩාරමද 4 තමා විසින් මුලදී සෑදු පූජාසනයද තිබුණවූ ස්ථානයට පැමුණුණේය. එහිදී ආබ‍්‍රම් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේය. 5 ආබ‍්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය. 6 ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය. 7 ආබ‍්‍රම්ගේ ගවයන්ගේ එ‍ඩේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඩේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසය කළෝය. 8 එවිට ආබ‍්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඩේරුන් සහ නුඹේ එඩේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. 9 මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නු‍ඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය. 10 ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම හා ගොමොරා විනාශ කරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය. 11 එවිට ලොත් යොර්දානේ මුළු සමභූමිය තෝරාගෙන නැගෙනහිර දිසාවට ගමන් කෙළේය. මෙසේ ඔව්හු තම තමන් කෙරෙන් වෙන්වූවෝය. 12 ආබ‍්‍රම් කානාන් දේශයෙහි වාසය කෙළේය, ලොත් සම භූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය. 13 සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව ස්වාමීන්වහන්සේට විරුද්ධව අතිශයින් පව්කාරව සිටියෝය. 14 ආබ‍්‍රම් කෙරෙන් ලොත් වෙන්වූ පසු ස්වාමීන්වහන්සේ ආබ‍්‍රම්ට කථාකොට: නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලාපන්න. 15 මක්නිසාද නුඹ දක්නාවූ මුළු දේශය නුඹටද නුඹේ වංශයටද සදාකාලයටම දෙන්නෙමි. 16 නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් නුඹේ වංශයත් ගණන් කළ හැකිවන්නේය. 17 නැගිට දේශයෙහි දිගටත් හරහටත් පලයන්න; මක්නිසාද ඒක නුඹට දෙන්නෙමියි කීසේක. 18 ආබ‍්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ලඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය. 14 01: ෂිනාර්හි රජවූ අම්රාඵෙල් ගේද එල්ලාසාර්හි රජවූ අරියොක්ගේද ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ගේද ජාතීන්ගේ රජවූ තිදාල්ගේද දවස්වලදී, 2 ඔව්හු සොදොම්හි රජවූ බෙරාද ගොමොරාහි රජවූ බිර්ෂාද අද්මාහි රජවූ ෂිනාබ්ද ශෙබොයිම්හි රජවූ ෂෙමේබෙර්ද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන මොවුන්ට විරුද්ධව යුද්ධකළෝය. 3 මොවුන් සියල්ලෝ ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය. 4 ඔව්හු දොළොස් අවුරුද්දක් කෙදොර්-ලායොමෙර්ට මෙහෙකොට දහතුන්වෙනි අවුරුද්දේ කැරළිගැසුවෝය. 5 දසසතරවෙනි අවුරුද්දේදී කෙදොර්-ලායොමෙර්ද ඔහු සමඟ සිටි රජවරුද ඇවිත් අෂ්තෙරොත්- කර්ණයිම්හි සිටිය රෙඵාවරුන්ටත් හාම්හි සිටිය සූසිවරුන්ටත් කිරියාතායිම් සමබිමේ සිටි 6 ඒමිවරුන්ටත් කාන්තාරයට ළංවූ ඒල්- පාරාන් දක්වා සේයිර් නම්වූ ස්වකීය කඳුකරයෙහි සිටිය හෝරිවරුන්ටත් පහරදුන්නෝය. 7 තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්- තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහර දුන්නෝය. 8 එවිට සොදොම්හි රජද ගොමොරාහි රජද අද්මාහි රජද ශෙබොයිම්හි රජද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන රජවරු පස්දෙනා පිටත්ව ගොස්, 9 ඒලාම්හි රජවූ කෙදොර්-ලයොමෙර්ද ජාතීන්ගේ රජවූ තිදාල්ද ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ද එල්ලාසාර්හි රජවූ අරියොක්ද යන රජවරුන් සතර දෙනාට විරුද්ධව සිද්දීම් මිටියාවතෙහි යුද්ධයට සැරසී සිටියෝය. 10 සිද්දීම් මිටියාවත වනාහි කීල් වළවලින් පිරී තිබුණේය; සොදොම සහ ගොමොරාහි රජවරු පලාගොස් එහි වැටුණෝය, 11 ඉතිරි අය කන්දට පලාගියෝය. එකල ඔව්හු සොදොම සහ ගොමොරාහි සියලු සම්පත්ද ඔවුන්ගේ සියලු ආහාරද රැගෙන ගියෝය. 12 ඔව්හු සොදොම්හි විසූ ආබ‍්‍රම්ගේ සහෝදරයාගේ පුත්වූ ලොත් සහ ඔහුගේ සම්පත්ද රැගෙන ගියෝය. 13 එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙවුවාවූ ආබ‍්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාද වූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ලඟ වාසය කෙළේය. මොව්හු ආබ‍්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය. 14 ආබ‍්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය. 15 තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත‍්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය. 16 ඔහු තම සහෝදරවූ ලොත් සහ ඔහුගේ සම්පත්ද ස්ත‍්‍රීන්ද සෙනඟද ආපසු ගෙනායේය. 17 ඔහු කෙදොර්-ලයොමෙර් සහ ඔහු සමඟ සිටිය රජුන් මරා ආ කල්හි සොදොම්හි රජතෙම ඔහු සම්මුඛවන පිණිස ෂාවේ මිටියාවතට (එනම් රජුගේ මිටියාවතට) පිටත්ව ගියේය. 18 සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. 19 ඔහු ආබ‍්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ‍්‍රම්ට ආශීර්වාද වේවා; 20 නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවයි කීය. ආබ‍්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. 21 සොදොම්හි රජද ආබ‍්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. 22: ආබ‍්‍රම් සොදොම්හි රජුට කථාකොට: මම ආබ‍්‍රම් පොහොසත් කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර, 23 නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි; 24 අනෙර්ද එෂ්කොල්ද මම්රේද තමන්ගේ කොටස් ගනිත්වයි කීය.

උත්පත්ති 15

1 මේ කාරණවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ‍්‍රම් වෙත පැමිණ: ආබ‍්‍රම් භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක. 2 ආබ‍්‍රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය. 3 ආබ‍්‍රම්: බැලුව මැනව, ඔබවහන්සේ මට කිසි දරුවෙකු නුදුන්සේක; මාගේ ගෙදර උපන් කෙනෙක් මාගේ උරුමක්කාරයා යයි කීය. 4 එවිට ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: මොහු නුඹේ උරුමක්කාරයා නොවන්නේය; නුඹ තුළෙන් නික්මෙන කෙනෙක්ම නුඹේ උරුමක්කාරයා වන්නේයයි කීය. 5 උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන්කරපන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක. 6 ඔහු ස්වාමීන්වහන්සේ විශ්වාසකෙළේය; උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්සේක. 7 උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට නුඹට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් නුඹ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක. 8 ඔහුද: ස්වාමීවූ දෙවියන්වහන්ස, ඒක මට උරුම වෙන බව කුමකින් දැනගන්නෙම්දැයි කීය. 9 උන්වහන්සේ ඔහුට කථාකොට: තුන් අවුරුදු ගොන්නෑම්බියෙකුත් තුන් අවුරුදු එළුදෙනකුත් තුන් අවුරුදු බැටළුවෙකුත් කොබෙයියෙකුත් පරෙවි පැටවෙකුත් මට ගෙනෙන්නැයි කීසේක. 10 ඔහු ඒ සියල්ලන් ගෙනැවිත් උන් දෙපළුකොට පළුවක් ඉදිරිපිට අනික් පළුව බැගින් තැබීය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළුකළේ නැත. 11 ගිජු පක්ෂීහු වනාහි මළකුණු පිටට බැස්සෝය, 12 ආබ‍්‍රම් උන් එළෙවුවේය. ඉර බස්නා කල බරවූ නින්දක් ආබ‍්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළ විය. 13 උන්වහන්සේ ආබ‍්‍රම්ට කථාකොට: නුඹේ වංශය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගනින්න. 14 තවද ඔවුන් මෙහෙ කරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය. 15 එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය. 16 සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක. 17 තවද ඉර බැස අඳුරු වූ කල, බලව, දුම් නගින උඳුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනි හුලක්ද පෙනුණේය. 18 ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ‍්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප‍්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ 19 කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද, 20 කද්මොනිවරුන්ද හිත්තීවරුන්ද 21 පෙරිස්සිවරුන්ද රෙඵාවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද ගිර්ගාෂිවරුන්ද යෙබූසිවරුන්ද සන්තක මේ දේශය නුඹේ වංශයට දුනිමියි කීසේක.

උත්පත්ති 16

1 ආබ‍්‍රම්ගේ භාර්යාවවූ සාරයි ඔහුට දාව දරුවන් නොවැදුවාය. 2 ඈට හාගර් නම් මිසරීය දාසියක් සිටියාය. සාරයි ආබ‍්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් වැදීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ‍්‍රම් සාරයිගේ හඬට කන් දුන්නේය. 3 ආබ‍්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ‍්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ‍්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය. 4 ඔහු හාගර් වෙතට පැමිණියේය, ඈ ගර්භිණීවූවාය. ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවාය. 05: සාරයි ආබ‍්‍රම්ට කථාකොට : මට වූ අයුත්ත නුඹ කෙරෙහි වේවා. මාගේ දාසිය නුඹේ ළයට දුනිමි; ඈ තමා ගර්භිණීවූ බව දැනගත් කල මා සුළුකොට සැලකුවාය. ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරෙහි විනිශ්චයකරනසේක්වයි කීවාය. 6 ආබ‍්‍රම්ද: බලව, නුඹේ දාසිය නුඹ යටතේය; නුඹට යහපත්ව පෙනෙන ලෙස ඈට කරපන්නැයි සාරයිට කීය. සාරයි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පළාගියාය. 07: කාන්තාරයේ දිය උල්පතක් ලඟදී, එනම්, ෂුර්ට යන පාරේ තිබෙන දිය උල්පත ලඟදී, ඈ ස්වාමීන්වහන්සේගේ දූතයාට සම්බවුණාය. 8 උන්වහන්සේ: සාරයිගේ දාසී වූ හාගර්, නුඹ කොතැන්හි සිට ආයෙහිද? කොතැනට යන්නෙහිදැයි කීසේක. ඈ: මාගේ ස්වාමිදුවවූ සාරයි ඉදිරියෙන් පලායමියි කීවාය. 9 එවිට ස්වාමීන්වහන්සේගේ දුතයා: නුඹේ ස්වාමිදුව වෙතට හැරී ගොස් ඈට යටත්ව සිටපන්නැයි කීසේක. 10 තවද ස්වාමීන්වහන්සේගේ දුතයා: නුඹේ වංශය ගණන්කළ නොහැකි තරම් සමූහයක් වන පිණිස බොහෝසෙයින් වැඩිකරන්නෙමියි ඈට කීසේක. 11 ස්වාමීන්වහන්සේගේ දුතයා: බලව, නුඹ ගර්භිණීව සිටියි, පුත‍්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ නුඹේ පීඩාව ඇසූහෙයින් ඔහුට*(දෙවියන්වහන්සේ අසනසේක) ඉෂ්මායෙල් යන නාමය තබාපන්න. 12 ඔහු වල් කොටළුවෙකු වැනි මනුෂ්‍යයෙක් වන්නේය; ඔහුගේ අත කාහටත් විරුද්ධවන්නේය, කාගේ අතත් ඔහුට විරුද්ධවන්නේය; ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි වාසයකරන්නේයයි කීසේක. 13 ඈ තමාට කථාකළාවූ ස්වාමීන්වහන්සේට +(ඔබ නම් දක්නාවූ දෙවිකෙනෙක්ය) එල්රොයි යන නාමය කීවාය. මක්නිසාද: මා දක්නාවූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත්වුණ නොවේදැයි ඈ කීවාය. 14 එබැවින් ඒ ලිඳට *(මා දක්නාවූ ජීවමාන තැනන්වහන්සේගේ ළිඳය) බෙයෙර්-ලහයි-රොයි යන නම තබනලද්දේය. බලව, එය කාදෙෂ් සහ බෙරෙද් අතරෙහි තිබේ. 15 හාගර් ආබ‍්‍රම් නිසා පුත‍්‍රයෙකු වැදුවාය. ආබ‍්‍රම් වනාහි හාගර් වැදු තමාගේ පුත‍්‍රයාට ඉෂ්මායෙල් යන නම තැබීය. 16 හාගර් ආබ‍්‍රම් නිසා ඉෂ්මායෙල් වැදු කල ආබ‍්‍රම්ගේ වයස අසූ සාවුරුද්දක් විය.

උත්පත්ති 17

1 ආබ‍්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ‍්‍රම්ට පෙනී: මම සර්වපරාක‍්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණවෙයන්න. 2 මා සහ නුඹ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක. 3 එවිට ආබ‍්‍රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින් : 4 බලව, මාගේ ගිවිසුම නුඹ සමඟය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය. 5 නුඹේ නාමය තවත් ආබ‍්‍රම්යයි කියනු නොලබන්නේය, නුඹේ නාමය ආබ‍්‍රහම්*(සමූහයක පියාණෝය) වන්නේය; මක්නිසාද මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි. 6 මම නුඹ අතිශයින් බෝවෙන්ට සලස්වා නුඹෙන් ජාතීන් උපදවන්නෙමි, රජවරුද නුඹෙන් නික්මෙන්නෝය. 7 නුඹටද නුඹෙන් පසුව එන නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි. 8 නුඹ විදේශීව වාසය කරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක. 9 තවද දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට කථාකොට: නුඹද නුඹෙන් පසුව සිටින නුඹේ වංශයද තමන්ගේ පරම්පරාවන්හි මාගේ ගිවිසුම රක්ෂා කළ යුතුය; 10 මාද නුඹලා සහ නුඹෙන් පසු නුඹේ වංශයද අතරෙහි නුඹලා විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් නුඹලා අතරෙහි සියලු පිරිමින් චර්මජේද්‍යය කිරීමය. 11 නුඹලා නුඹලාගේ චර්මාග‍්‍ර මාංසයෙහි ජේද්‍යයකරනු ලබන්නහුය; ඒක මා සහ නුඹලා අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය. 12 නුඹලාගේ පරම්පරාවන්හි නුඹලා අතරෙහි ගෙයි උපන් තැනැත්තා හෝ නුඹේ වංශයෙහි නොවන්නාවූ විදේශියෙකුගෙන් මිලේට ගන්නාලද තැනැත්තා හෝ අට දවසක් වයස්වූ සියලු පිරිමි චර්මජේද්‍යය කරනු ලබන්නෝය. 13 නුඹේ ගෙයි උපන් තැනැත්තාද නුඹ විසින් මිලයට ගන්නා ලද තැනැත්තාද චර්මජ්ද්‍යය කරනු ලබන්ටම ඕනෑය. මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස නුඹලාගේ මාංසයෙහි පවත්නේය. 14 තමාගේ චර්මාග‍්‍ර මාංසය ජේද්‍යය නොකරනලද අචර්මජේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක. 15 තවද දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට කථාකොට: නුඹේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, 16 ඇගේ නාමය සාරා*(කුමරි) වන්නේය. මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් නුඹට පුත‍්‍රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක. 17 එවිට ආබ‍්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා වදන්නීදැයි සිත තුළ කියාගත්තේය. 18 ආබ‍්‍රහම්: අහෝ;ඉෂ්මායෙල් ඔබවහන්සේ ඉදිරියෙහි ජීවත්වෙවයි දෙවියන්වහන්සේට කීය. 19 දෙවියන්වහන්සේද: සැබවින් නුඹේ භාර්යාවවූ සාරා නුඹට පුත‍්‍රයෙකු වදන්නීය; නුඹ ඔහුට ඊසාක්*(සිනාසීම) යන නම තබාපන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමග පිහිටුවන්නෙමි. 20 මම ඉෂ්මායෙල් ගැනත් නුඹේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දො‍ළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි. 21 එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට වදන්නාවූ ඊසාක් සමග පිහිටුවන්නෙමියි කීසේක. 22 එවිට දෙවියන්වහන්සේ ආබ‍්‍රහම් සමග කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක. 23 එවිට ආබ‍්‍රහම් දෙවියන්වහන්සේ ඔහුට කී ලෙස එම දවසෙහිම තමාගේ පුත‍්‍රවූ ඉෂ්මායෙල්ද තමාගේ ගෙයි උපන් සියල්ලන්ද තමා මිලදී ගත් සියල්ලන්ද යන ආබ‍්‍රහම්ගේ ගෙයි මිනිසුන් අතරෙන් සියලු පිරිමින් රැගෙන ඔවුන්ගේ චර්මාග‍්‍ර මාංසය ජේද්‍යය කෙළේය. 24 ආබ‍්‍රහම් චර්මාග‍්‍ර මාංසය ජේද්‍යය කරනු ලබන කල අවුරුදු අනූනවයක් වයස්ව සිටියේය. 25 ඔහුගේ පුත‍්‍රවූ ඉෂ්මායෙල්ගේ චර්මාග‍්‍ර මාංසය ජේද්‍යය කරනු ලබන කල ඔහු අවුරුදු දහතුනක් වයස්ව සිටියේය. 26 එම දවසෙහිම ආබ‍්‍රහම්ද ඔහුගේ පුත‍්‍රවූ ඉෂ්මායෙල්ද චර්මජේද්‍යය කරනු ලැබුවෝය. 27 ගෙයි උපන්නෝද විදේශීන්ගෙන් මිලේට ගනු ලැබුවෝද යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමග චර්මජේද්‍යය කරනු ලැබුවෝය.

උත්පත්ති 18

1 ඔහු දවාලේ ග්‍රීෂ්ම වේලාවේ කූඩාරමේ දොරකඩ හිඳින කල ස්වාමීන්වහන්සේ මම්රේගේ ආලොන් ගස් ළඟදී ඔහුට පෙනුණුසේක; 2 ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛවන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිව ගොස් බිමට නැමී: 3 මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහිව දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි. 4 පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව. 5 ඔබවහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි; පසුව ඔබවහන්සේලාට යත හැකිය. මක්නිසාද ඔබවහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔව්හුද: නුඹ කී ලෙස කරපන්නැයි කීවෝය. 6 එවිට ආබ‍්‍රහම් කූඩාරමේ සිට සාරා වෙතට යුහුව ගොස්: සිහින් පිටි නැළි තුනක් ඉක්මනින් සූදානම්කොට අනා රොටි සාදාපන්නැයි කීය. 7 ආබ‍්‍රහම් ගව රැළට දිවගොස් ළපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේය; ඔහු ඌ ඉක්මනින් පිළියෙළකෙළේය. 8 ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ලඟ සිටියේය; ඔව්හුද කෑවෝය. 09: නුඹේ භාර්යාවවූ සාරා කොතැන්හිදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය. 10 කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත‍්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය. 11 ආබ‍්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය; ස්ත‍්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබුණේය. 12 සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප‍්‍රීතියක් ලබන්නෙම්දැයි කීවාය. 13 එවිට ස්වාමීන්වහන්සේ ආබ‍්‍රහම්ට කථාකොට: මහලූවූ මම සැබවින් දරුවෙකු වදන්නෙම්දැයි කියමින් සාරා සිනාසුණේ මක්නිසාද? 14 ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත‍්‍රයෙකු ලබන්නීයයි කීසේක. 15 සාරා භයවූ බැවින්: මා සිනාසුණේ නැතැයි කීවාය. උන්වහන්සේද: නැත; නුඹ සිනාසුණායයි කීසේක. 16 ඒ මනුෂ්‍යයෝ එතැනින් නැගිට සොදොම බලා ගියෝය. ආබ‍්‍රහම් ඔවුන් ඇරලන පිණිස ඔවුන් සමග ගියේය. 17 ස්වාමීන්වහන්සේ: මා කරන්ට යන දේ ආබ‍්‍රහම්ගෙන් සඟවම්ද? 18 ආබ‍්‍රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය. 19 මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ‍්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක. 20 තවද ස්වාමීන්වහන්සේ: සොදොමේද ගොමොරාවේද මොරගැසීම මහත් බැවින්ද ඔවුන්ගේ පාපය ඉතා බරපතළ බැවින්ද, 21 මම දැන් බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි; නැතහොත් දැනගන්නෙමියි කීසේක. 22 ඒ මනුෂ්‍යයෝ එතැනින් හැරී සොදොම දෙසට ගියෝය. නුමුත් ආබ‍්‍රහම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිම නැවතී සිටියේය. 23 ආබ‍්‍රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමග ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද? 24 ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් පනස් දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද? 25 එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමග ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය. 26 එවිට ස්වාමීන්වහන්සේ: සොදොම් නුවර තුළ ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සම්බ වුණොත් ඔවුන් නිසා මුළු ස්ථානය ඉතුරුකරන්නෙමියි කීසේක. 27 ආබ‍්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි. 28 ධර්මිෂ්ඨයන් පනස් දෙනාගෙන් පස් දෙනෙක් අඩුවීනම්, පස් දෙනෙක් අඩු නිසා මුලු නුවර විනාශකරනසේක්දැයි කීය. උන්වහන්සේද: එහි හතලිස්පස් දෙනෙක් මට සම්බවුණොත් ඒක විනාශ නොකරන්නෙමියි කීසේක. 29 ඔහු නැවතත් උන්වහන්සේට කථාකොට: සමහරවිට එහි හතලිස් දෙනෙක් සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේ: හතලිස් දෙනා නිසා ඒක නොකර සිටින්නෙමියි කීසේක. 30 ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවනසේක්වා, එවිට මම කථාකරන්නෙමි. සමහරවිට තිස් දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද: තිස්දෙනෙක් එහි මට සම්බවුණොත් ඒක නොකර සිටින්නෙමියි කීසේක. 31 එවිට ඔහු: බැලුව මැනව, ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි; සමහරවිට විසි දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද විසි දෙනා නිසා ඒක විනාශනොකර සිටින්නෙමියි කීසේක. 32 ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවනසේක්වා, එවිට මම මේ වර පමණක් කථාකරන්නෙමි. සමහරවිට දස දෙනෙක් එහි සම්බවන්නෝයයි කීය. උන්වහන්සේද: දස දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නෙමියි කීසේක. 33 ස්වාමීන්වහන්සේ ආබ‍්‍රහම් සමග කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ‍්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.

උත්පත්ති 19

1 දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛවන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය; 2 තවද ඔහු: බැලුව මැනවි, මාගේ ස්වාමිවරුනි, නුඹවහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට ඇවිත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගත මැනවි, අලුයම් වේලෙහි නැගිට නුඹවහන්සේලාගේ ගමන යත හැකියයි කීවේය. ඔව්හුද: නැත; මුළු රෑ වීථියේ නවතින්නෙමුයයි කීවෝය. 3 නුමුත් ඔහු ඔවුන්ට බොහෝසේ පෙරැත්තකළ නිසා ඔව්හු ඔහු වෙතට හැරී ගොස් ඔහු‍ගේ ගෙට ඇතුල්වූවෝය; එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුළුස්සා ඔවුන්ට කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය. 4 නුමුත් ඔවුන් නින්දට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ, එනම් සොදොමේ මනුෂ්‍යයෝ වූ සියලු දිගින් ආවාවූ තරුණයෝද මහල්ලෝද යන මුළු සෙනඟ ගෙය වටකරගත්තෝය; 5 ඉක්බිති ඔව්හු ලොත්ට හඬගසමින්: අද රාත්‍රියේ නුඹ වෙතට ආවාවූ මනුෂ්‍යයෝ කොහේද? අප විසින් ඔවුන් හැඳිනගන්නා පිණිස ඔවුන් අප ළඟට පිටතට ගෙනෙන්නැයි කීවෝය. 6 ලොත් දොරකඩින් නික්ම දොර වසා ඔවුන් ළඟට ගොස්: 7 මාගේ සහෝදරයිනි, මෙබඳු දුෂ්‍ටකමක් නොකරල්ලා. 8 මෙන්න, මාගේ පුරුෂයෙකු නෑඳින්න දූවරු දෙදෙනෙක් මට සිටිති; ඔවුන් නුඹලා ළඟට පිටතට ගෙනෙන්ට ඉඩදියල්ලා, නුඹලාට හොඳව පෙනෙන ලෙස ඔවුන්ට කරපල්ලා; එහෙත් මේ මනුෂ්‍යයන් මාගේ පියස්ස යටට ඇවිත් සිටින නිසා ඔවුන්ට කිසිවක් නොකරල්ලායයි කීය. 9 එවිට ඔව්හු: අහකට පල, මේකා නැවතී සිටින්ට ඇවිත් විනිශ්චයකාරයෙක් වෙන්ට හදයි. දැන් ඔවුන්ට වඩා තදබලව තට ක‍්‍රියාකරන්නෙමුයයි කීවෝය. ඔව්හුද: ඒ මනුෂ්‍යයා, එනම්, ලොත් තදින් තෙරපා දොර බිඳින පිණිස ළං වූවෝය. 10 එහෙත් ඒ මනුෂ්‍යයෝ තමන්ගේ අත් දිඟුකොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසුවෝය. 11 තවත් ඔව්හු දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන් අන්ධ කළෝය. මෙසේ ඔව්හු දොර සොයමින් වෙහෙසුණෝය. 12 ඒ මනුෂ්‍යයෝ ලොත්ට කථාකොට: මෙහි නුඹට සිටින්නේ වෙන කවුද? බෑනා හෝ නුඹේ පුත‍්‍රයන් හෝ නුඹේ දූවරුන් හෝ වෙන මේ නුවර නුඹට සිටින කොයි කෙනෙක් හෝ මේ ස්ථානයෙන් පිටතට ගෙනෙන්න; 13 මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මේ මිනිසුන්ගේ මොරගැසීම අධිකවූ බැවින් අපි මේ ස්ථානය විනාශකරන්නෙමුව; එය විනාශකරන පිණිස ස්වාමීන්වහන්සේ අප එවූසේකැයි කීවෝය. 14 ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට පලයල්ලා; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය. 15 පහන්වුණ කල දේවදූතයෝ: මේ නුවර අයුතුකමෙහි නුඹ නාස්තිනොවන පිණිස නැගිට මෙහි සිටින නුඹේ භාර්යාවත් නුඹේ දූවරුන් දෙදෙනාත් කැඳවාගෙන පලයන්නැයි කියා ලොත් ඉක්මන් කෙරෙවුවෝය. 16 එහෙත් ඔහු ප‍්‍රමාදවුණ කල්හි ස්වාමීන්වහන්සේ ඔහු කෙරෙහි ඇති දයාව නිසා ඒ මනුෂ්‍යයෝ ඔහුගේ අතද ඔහුගේ භාර්යාවගේ අතද ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්ද අල්වාගෙන ඔහු ගෙනගොස් නුවරින් පිටත සිටෙවුවෝය. 17 ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කථාකොට: නුඹේ ප‍්‍රාණය ගළවාගන්ට දුවපන්න; ආපසු නොබලන්න, සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්තිනොවන පිණිස කන්දට දුවපන්නැයි කීසේක. 18 එවිට ලොත්: අනේ මාගේ ස්වාමීනි, එසේ නොවේවා, 19 මෙන්න බැලුව මැනවි, ඔබගේ මෙහෙකරුවාට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ; මාගේ ප‍්‍රාණය රක්ෂාකිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණාකළසේක; මට කන්දට පලායන්ට නුපුළුවන, සමහරවිට මට නපුර පැමිණීමෙන් මරණය සිදු විය හැකිය. 20 මෙන්න, පලායන්ට අර නුවර ළඟය, ඒක කුඩා එකක්ය. අහෝ එහි පලායන්ට අවසර ලැබේවා; ඒක කුඩා එකක් නොවේද? එවිට මාගේ ප‍්‍රාණය ජීවත්වන්නේයයි ඔවුන්ට කීය. 21 උන්වහන්සේද: බලව, නුඹ සඳහන්කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් නුඹ පිළිගතිමි. 22 ඉක්මන්කරපන්න, ගැළවෙන්ට එතැනට දුවපන්න; මක්නිසාද නුඹ එතැනට පැමිණෙනතුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කීසේක. එබැවින් ඒ නුවරට ශොවර්*(කුඩා) යන නම කියනලදී. 23 ලොත් ශොවර් නුවරට ළඟාවූ කල්හි පොළොව පිට ඉර උදාවී තිබුණේය. 24: එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා; 25 ඒ නුවරවල්ද මුළු සමභූමියද ඒ නුවරවල සියලු වැසියන්ද භූමියෙහි හටගත් දේද විනාශකළසේක. 26 එහෙත් ඔහුගේ භාර්යාව ඔහුට පිටිපසින් යමින් ආපසු බැලුවාය, ඈ වනාහි ලුණු කණුවක් වූවාය. 27 ආබ‍්‍රහම් අලුයම් වේලෙහි නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමා සිටි ස්ථානයට ගොස් 28 සොදොම සහ ගොමොරාද සමභූමියෙහි මුළු දේශයද දෙස බැලුවේය, බලව, ඒ දේශයේ ධූමය උදුනක ධූමය ලෙස නගිනවා ඔහු දුටුවේය. 29 තවද දෙවියන්වහන්සේ සමභූමියෙහි නුවරවල් විනාශකරන කල්හි දෙවියන්වහන්සේ ආබ‍්‍රහම් සිහිකොට, ලොත් විසූ නුවරවල් විනාශකරද්දී ඒ විනාශය මධ්‍යයෙන් ලොත් පිටතට යැවූසේක. 30 ලොත් ඔහුගේ දූවරුන් දෙදෙනාත් සමග ශොවර් කෙරෙන් ගොස් කන්දේ වාසයකෙළේය; මක්නිසාද ඔහු ශොවර්හි වාසයකරන්ට භයවිය. ඔහුත් ඔහුගේ දූවරු දෙදෙනාත් ගුහාවක වාසය කළෝය. 31 එවිට වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: අපේ පියා මහලුය, මුළු පොළොවේ ව්‍යවහාරය ලෙස අප කරා පැමිණෙන්ට පොළොවෙහි පුරුෂයෙක් නැත්තේය. 32 වරෙන්න, අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස අපේ පියාණන්ට මුද්‍රිකපානය පොවා ඔහු සමග සයනයකරමුයයි කීවාය. 33 ඔව්හු ඒ රාත්‍රියෙහි තමන්ගේ පියාට මුද්‍රිකපානය පෙවුවෝය. වැඩිමහල් තැනැත්තී ඇතුල්ව තමාගේ පියා සමග සයනයකළාය; ඇගේ සයනය කිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය. 34 පසුවදා වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: බලව, ඊයේ රාත‍්‍රියේ මාගේ පියා සමග මම සයනයකෙළෙමි. අද රාත‍්‍රියෙහිත් අප විසින් ඔහුට මුද්‍රිකපනය පොවා අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස නුඹත් ඇතුල්ව ඔහු සමග සයනය කරපන්නැයි කීවාය. 35 ඔව්හු ඒ රාත‍්‍රියෙහිත් තමන් පියාණන්ට මුද්‍රිකපානය පෙවුවෝය. බාල තැනැත්තීද නැගිට ඔහු සමග සයනයකළාය; ඇගේ සයනයකිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය. 36 මෙසේ ලොත්ගේ දූවරු දෙදෙනා තමන්ගේ පියා කරණකොටගෙන ගර්භිණීවූවෝය. 37 වැඩිමහල් තැනැත්තී පුත‍්‍රයෙකු වදා ඔහුට මෝවබ්යයි නම් තැබුවාය. ඔහු අද දක්වා මෝවබ්වරුන්ගේ පියාණෝය. 38 බාල තැනැත්තීද පුත‍්‍රයෙකු වදා ඔහුට බෙන්අම්මියයි නම් තැබුවාය. ඔහු අද දක්වා අම්මොන් පුත‍්‍රයන්ගේ පියාණෝය.

උත්පත්ති 20

1 ආබ‍්‍රහම් එතැනින් දකුණු දේශයට ගමන්කර කාදෙෂ්ද ෂූර්ද අතරේ වාසය කෙළේය; ඔහු ගෙරාර්හිද පොරොත්තුවුණේය. 2 ආබ‍්‍රහම් තම භාර්යාවවූ සාරා ගැන: ඈ මාගේ සහෝදරීයයි කීවේය. එවිට ගෙරාර්හි රජවූ අබිමෙලෙක් මිනිසුන් යවා සාරා ගෙන්වාගත්තේය. 03: නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත‍්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක. 4 නුමුත් අබිමෙලෙක් ඈ කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද? 5 ඈ මාගේ සහෝදරීයයි ඔහුම මට නොකීයේද? ඈ පවා: ඔහු මාගේ සහෝදරයායයි කීවාය; මාගේ සිතේ අවංකකමින්ද මාගේ අත්වල නිදොස්කමෙන්ද මේක කෙළෙමියි කීවේය. 6 දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි. 7 එහෙයින් දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු දීපන්න; මක්නිසාද ඔහු අනාගතවක්තෘ කෙනෙක්ය, ඔහු නුඹ ජීවත්වෙන පිණිස නුඹ උදෙසා යාච්ඤා කරන්නේය. එහෙත් ඈ ආපසු නොදෙන්නෙහි නම් නුඹද නුඹ සන්තක සියල්ලන්ද ඒකාන්තයෙන් නසින බව දැනගනින්නැයි කීසේක. 8 අබිමෙලෙක් අලුයම් වේලෙහි නැගිට තමාගේ සියලු මෙහෙකරුවන් කැඳවා මේ සියල්ල ඔවුන් ඉදිරියෙහි කීවේය. ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් භයවුණෝය. 9 එකල අබිමෙලෙක් ආබ‍්‍රහම් කැඳවා ඔහුට කථාකොට: නුඹ අපට කළේ මොකද? මා සහ මාගේ රාජ්‍යය කෙරෙහි නුඹ මහත් පාපයක් පැමිණෙවුවේ මා විසින් නුඹට විරුද්ධව කුමන පාපයක් කළ නිසාද? නුඹ මට නොකටයුතු ක‍්‍රියාවල් කෙළෙහියයි කීය. 10 තවද අබිමෙලෙක්: නුඹ මේ දෙය කළේ කුමක් දුටු නිසාදැයි ආබ‍්‍රහම්ට කීය. 11 ආබ‍්‍රහම්: සැබවින්ම මේ ස්ථානයෙහි දේව භය නැත්තේය කියාත් ඔවුන් මාගේ භාර්යාව නිසා මා මරනවා ඇත කියාත් මට සිතුණු නිසාය. 12 ඇරත් ඈ ඇත්තෙන්ම මාගේ සහෝදරීය, මාගේ පියාගේ දුවය; නුමුත් මාගේ මවුගේ දුව නොවේය; ඈ මාගේ භාර්යාව වූවාය. 13 තවද දෙවියන්වහන්සේ මාගේ පියාගේ ගෙයින් යන්ට මට සැලැස්සූ කල මම ඈට කථාකර: නුඹ මට පෙන්විය යුතු කරුණාව මේය, අප පැමිණෙන්නාවූ සියලු තැන්හිදීම-ඔහු මාගේ සහෝදරයායයි මා ගැන කියාපන්නැයි කීමියි කීයේය. 14 අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද දාසයන්ද දාසීන්ද රැගෙන ආබ‍්‍රහම්ට දී ඔහුගේ භාර්යාව වූ සාරාද ඔහුට ආපසු දුන්නේය. 15 අබිමෙලෙක්: බලව, මාගේ දේශය නුඹ ඉදිරියෙහිය, කැමති තැනක වාසයකරපන්නැයි කීවේය. 16 ඔහු සාරාට කථාකොට: බලව, මම නුඹේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය නුඹ සමග සිටින සියල්ලන් ඉදිරියෙහි නුඹට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි නුඹට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය. 17 ආබ‍්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; 18 එවිට ඔව්හු දරුවන් වැදුවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් ආබ‍්‍රහම්ගේ භාර්යාවවූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෙයි සියල්ලන්ගේ ගර්භ තදින් පියා තිබුණේය.

උත්පත්ති 21

1 ස්වාමීන්වහන්සේ තමන් කියා තිබුණු ලෙස සාරා දෙස බැලූසේක, ස්වාමීන්වහන්සේ කථාකළ ලෙස සාරාට කළසේක. 2 සාරා ගර්භිණීව දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට කීවාවූ නියම කාලයෙහිදී ඔහුගේ මහලු වයසෙහි ඔහු නිසා පුත‍්‍රයෙකු වැදුවාය. 3 ආබ‍්‍රහම්ද තමාට උපන්නාවූ, සාරා තමාට වැදුවාවූ තමාගේ පුත‍්‍රයාට ඊසාක් යන නම තැබීය. 04: දෙවියන්වහන්සේ තමාට අණ දුන් ලෙස ආබ‍්‍රහම් තමාගේ පුත‍්‍රවූ ඊසාක්ට අට දවසක් වයස්වූ කල්හි ඔහු චර්මජේද්‍යය කෙළේය 5 ආබ‍්‍රහම් තමාගේ පුත‍්‍රවූ ඊසාක් උපදින කල අවුරුදු සියයක් වයස්ව සිටියේය. 6 දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමග සිනාසෙනවා ඇතැයි සාරා කීවාය. 7 තවද: සාරා දරුවන්ට කිරිදෙනවා ඇතැයි ආබ‍්‍රහම්ට කියන්ට සිතුවේ කවුද? මක්නිසාද මම ඔහුට ඔහුගේ මහලු වයසෙහිදී පුත‍්‍රයෙකු වැදුවෙමියි ඈ කීවාය. 8 ළදරුවා වැඩී කිරිවැරුවේය. ඊසාක් කිරිවැරූ දවසෙහි ආබ‍්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිළියෙළ කෙළේය. 09: මිසරීය හාගර් ආබ‍්‍රහම් නිසා වැදූ පුත‍්‍රයා සරදම්කරනවා සාරා දුටුවාය. 10 එහෙයින් ඈ ආබ‍්‍රහම්ට කථාකොට: මේ දාසිය සහ ඇගේ පුත‍්‍රයා පිටත දමාපන්න. මක්නිසාද මේ දාසියගේ පුත‍්‍රයා මගේ පුත‍්‍රයාවූ ඊසාක් සමග උරුමක්කාර නොවන්නේයයි කීවාය. 11 ආබ‍්‍රහම්ට මේ කාරණය තමාගේ පුත‍්‍රයා නිසා තද කනගාටුවක් විය. 12 එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් නුඹේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දීපන්න; මක්නිසාද නුඹේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය. 13 දාසියගේ පුත‍්‍රයා නුඹේ බීජය බැවින්, ඔහුගෙන්ද ජාතියක් කරන්නෙමියි ආබ‍්‍රහම්ට කීසේක. 14 ආබ‍්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය. 15 භාජනයෙහි වතුර ඉවර විය, ඈ දරුවා පඳුරක් යට තබා ගොස් 16 ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්ද නගා හැඬුවාය. 17 දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක. 18 නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගනින්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කීසේක. 19 දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවුසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය. 20 තවද දෙවියන්වහන්සේ ළමයා සමග වූසේක, ඔහු වැඩී වනයෙහි වාසය කොට දුනුකාරයෙක් විය. 21 ඔහු පාරාන් නම්වූ වනයෙහි වාසය කෙළේය. ඔහුගේ මවු ඔහුට මිසරදේශයෙන් භාර්යාවක් ගෙන දුන්නාය. 22 ඒ කාලයෙහි අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් ආබ‍්‍රහම්ට කථාකොට: නුඹ කරන සියල්ලේදී දෙවියන්වහන්සේ නුඹ හා සමගය. 23 එබැවින් නුඹ මටවත් මාගේ දරු මුණුබුරන්ටවත් වංචාවක් නොකරන හැටියටද, මා විසින් නුඹට කළ කරුණාව ලෙස නුඹ මටත් නුඹ විදේශීව සිටින මේ දේශයටත් කරන හැටියටද, 24 ආබ‍්‍රහම්ද: මම දිවුරන්නෙමියි කීය. 25: එහෙත් අබිමෙලෙක්ගේ මෙහෙකරුවන් බලාත්කාරයෙන් උදුරාගත් වතුර ඇති ළිඳක් ගැන ආබ‍්‍රහම් අබිමෙලෙක්ට තරවටු කෙළේය. 26 අබිමෙලෙක්ද: මේ දේ කළේ කවුදැයි මම නොදනිමි. නුඹ මට නොකීයෙහිය, අද වන තුරු ඒ ගැන මා ඇසුවෙත් නැතැයි කීය. 27 ආබ‍්‍රහම් බැටළුවන් සහ ගොනුන් ගෙන අබිමෙලෙක්ට දුන්නේය; ඔව්හු දෙදෙන ගිවිසුමක් කරගත්තෝය. 28 ආබ‍්‍රහම් රැළෙන් බැටළු නෑම්බියන් සත් දෙනකු වෙන්කොට තැබුවේය. 29 අබිමෙලෙක්ද: නුඹ වෙන්කොට තැබූ මේ බැටළු නෑම්බියන් සත්දෙනා කුමක් පිණිසදැයි ආබ‍්‍රහම්ට කීය. 30 ඔහු: මේ ළිඳ මා විසින් හෑරෙවූ බවට මේ බැටළු නෑම්බියන් සත්දෙනා මට සාක්ෂියක් පිණිස මාගේ අතින් පිළිගන්නැයි කීය. 31 එහෙයින් ඔහු ඒ ස්ථානයට බෙයර්-ෂෙබා *(දිවුරුමේ ළිඳ) යයි නම් තැබීය. එසේ කළේ ඔවුන් දෙදෙනා එතැන්හිදී දිවුළ බැවින්ය. 32 මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහිදී ගිවිසුමක් කරගත්තෝය. තවද අබිමෙලෙක් සහ ඔහුගේ සේනාපතිවූ පීකොල් නැගිට පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියෝය. 33 ආබ‍්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේය. 34 ආබ‍්‍රහම් පිලිස්තිවරුන්ගේ දේශයෙහි බොහෝ දවස් පොරොත්තුව සිටියේය.

උත්පත්ති 22

1 මේ කාරණාවලින් පසු දෙවියන්වහන්සේ ආබ‍්‍රහම් පරීක්ෂාකරමින්: ආබ‍්‍රහම් කියා ඔහුට කථාකළසේක; ඔහුද: මම මෙහියයි කීය. 2 උන්වහන්සේ: නුඹේ පුත‍්‍රවූ නුඹ පේ‍්‍රම කරන නුඹේ එකම පුත‍්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක. 3 ආබ‍්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත‍්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය. 4 තුන්වෙනි දින ආබ‍්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය. 5 ආබ‍්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමග නුඹලා මෙහි සිටපල්ලා, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට නුඹලා වෙතට නැවත එන්නෙමුයයි කීය. 6 එවිට ආබ‍්‍රහම් දවන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත‍්‍රවූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය; ඔව්හු දෙදෙනා එක්ව ගියෝය. 7 ඊසාක් තමාගේ පියවූ ආබ‍්‍රහම්ට කථාකොට: මාගේ පියාණෙනියි කීය. ඔහුද: මාගේ පුත‍්‍රය, මම මෙහියයි කීය. ඔහු: බැලුව මැනවි, ගින්දරත් දරත් තිබේ, එහෙත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැයි කීවේය. 8 ආබ‍්‍රහම්: මාගේ පුත‍්‍රය, දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුපැටවා සපයා ගන්නවා ඇතැයි කීවේය. 9 මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ‍්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත‍්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය. 10 තවද ආබ‍්‍රහම් තමාගේ අත දිඟුකොට තම පුත‍්‍රයා මරන පිණිස පිහිය ගත්තේය. 11 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ‍්‍රහම්, ආබ‍්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය. 12 දේවදුතයා: නුඹේ අත තරුණයා පිට ‍නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත‍්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඔ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය. 13: ආබ‍්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ‍්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත‍්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය. 14 ආබ‍්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ*(ස්වාමීන්වහන්සේ සපයාදෙනසේක, නොහොත් දක්නාසේක) යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති. 15 ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ‍්‍රහම්ට හඬගසා: 16: නුඹේ පුත‍්‍රයා, නුඹේ එකම පුත‍්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින්; 17 මම ඒකාන්තයෙන්ම නුඹට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹේ වංශය තමන් සතුරන්ගේදොරටුව හිමිකරගන්නේය; 18 මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. 19 ආබ‍්‍රහම් තමාගේ තරුණයන් වෙතට හැරී ආයේය, එවිට ඔව්හු නැගිට බෙයර්-ෂෙබාට එක්ව ගියෝය; ආබ‍්‍රහම් බෙයර්-ෂෙබාහි වාසය කෙළේය. 20 තවද මේ කාරණාවලට පසු: බලව, මිල්කාත් නුඹේ සහෝදරවූ නාහොර් නිසා පුත‍්‍රයන් වැදුවායයි ආබ‍්‍රහම්ට කියනලද්දේය; 21 එනම්, ඔහුගේ කුලුඳුලාවූ ඌශ්ද ඔහුගේ සහෝදරවූ බූශ්ද 22 අරාම්ගේ පියවූ කෙමුවෙල්ද, කෙසෙද්ද හශෝද පිල්දාෂ්ද ජීද්ලප්ද බෙතුයෙල්ද යන මොව්හුය. 23 බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ‍්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා වැදුවාය. 24: රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද වැදුවාය.

උත්පත්ති 23

1 සාරාගේ ජීවිත කාලය එකසිය විසිහත් අවුරුද්දකි. මේවා සාරාගේ ජීවිතයේ අවුරුදුය. 2 සාරා කානාන් දේශයෙහිවූ කිර්යත්-අර්භාහිදී මළාය. ඒ වනාහි හෙබ්‍රොන් නම් ස්ථානයය. එවිට ආබ‍්‍රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය. 3 ආබ‍්‍රහම් තමාගේ මළ තැනැත්තිය ඉදිරියෙන් නැගිට හෙත්ගේ පුත‍්‍රයන්ට කථාකරමින්: 4 මම නුඹලා අතරෙහි විදේශියෙක් හා ආගන්තුකයෙක් ව සිටිමි. මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස නුඹලා අතරෙහි මට උරුමවන ලෙස සොහොන්පළක් දුනමැනවයි කීය. 05: හෙත්ගේ පුත‍්‍රයෝ ආබ‍්‍රහම්ට උත්තර දෙමින්: 6 මාගේ ස්වාමීනි, අපේ බස් ඇසුව මැනවි. ඔබ අප අතරෙහි බලසම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන්පළවලින් ඉතා උතුම් එකක ඔබගේ මළ තැනැත්තිය වැළලුව මැනවි; ඔබ විසින් ඔබගේ මළ තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන්පළ නොවළක්වන්නේයයි කීවෝය. 7 එවිට ආබ‍්‍රහම් නැගිට ඒ රටේ සෙනඟට එනම් හෙත්ගේ පුත‍්‍රයන්ට නැමී ආචාරකොට 8 ඔවුන් සමග කථාකරමින්: මා විසින් මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලනවාට නුඹලා කැමැත්තහුනම් මාගේ බස් අසා 9 ශොහර්ගේ පුත‍්‍රවූ එඵෙ‍්‍රාන්ගේ කෙතෙහි කෙළවර තිබෙන තමා සන්තකවූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි; නුඹලා අතරෙහි මට හිමිවූ සොහොන්පළක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවයි කීවේය. 10 එඵෙ‍්‍රාන් හෙත්ගේ පුත‍්‍රයන් අතරෙහි හිඳගෙන උන්නේය. එවිට හිත්තීයවූ එඵෙ‍්‍රාන් හෙත්ගේ පුත‍්‍රයන් එනම් තමන් නුවර දොරටුවෙන් ඇතුල් වෙන්නාවූ සියල්ලන් අසාගන සිටියදී ආබ‍්‍රහම්ට උත්තර දෙමින්: 11 මාගේ ස්වාමීනි, එසේ නොවේවා, මාගේ බස් ඇසුව මැනවි. ඒ කෙත ඔබට දෙමි, එහි තිබෙන ගුහාවද ඔබට දෙමි; මාගේ සෙනඟගේ පුත්‍රයන් ඉදිරියෙහිදී මම ඒක ඔබට දෙමි. ඔබගේ මළ තැනැත්තිය තැන්පත්කළ මැනවියි කීයේය. 12 ආබ්‍රහම්ද ඒ දේශයේ සෙනඟට නැමී ආචාරකොට, දේශයේ සෙනඟ අසාගන සිටියදී 13 එඵ්‍රොන්ට කථාකරමින්: ඔබ කරුණාකර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි; එය මාගෙන් පිළිගත මැනවි, එවිට එහි මාගේ මළ තැනැත්තිය වළලමියි කීය. 14 එඵෙ‍්‍රාන්ද ආබ‍්‍රහම්ට උත්තරදෙමින්: 15 මාගේ ස්වාමීනි, මාගේ බස් ඇසුව මැනවි. 16 රිදී ෂෙකෙල් හාරසියයක් වටින බිම් කැබෙල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මළ අය තැන්පත් කළ මැනවියි ඔහුට කීවේය. 17 ආබ‍්‍රහම් එඵෙ‍්‍රාන්ට ඇහුම්කන්දී, ඔහු හෙත්ගේ පුත‍්‍රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වලංගුවූ රිදී ෂෙකෙල් හාරසියයක් ඔහුට කිරා දුන්නේය 18 මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායෙහි තිබුණු එඵෙ‍්‍රාන්ගේ කෙතද එහිවූ ගුහාවද කෙතෙහිත් වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙත්ගේ පුත‍්‍රයන් ඉදිරියෙහි, 19 ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි, ආබ‍්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථිර කරන ලද්දේය. 20 ඉන්පසු ආබ‍්‍රහම් තම භාර්යාවවූ සාරා කානාන් දේශයෙහි මම්රේ (එනම් හෙබ්‍රොන්) ඉදිරිපිට මක්පේලායේ කෙතේ ගුහාවෙහි තැන්පත්කෙළේය.

උත්පත්ති 24

1 කෙත සහ එහි ඇති ගුහාවද සොහොන්පළක් මෙන් අයිති වන පිණිස හෙත්ගේ පුත‍්‍රයන් විසින් ආබ‍්‍රහම්ට ස්ථිරකරනලද්දේය. 2 ආබ‍්‍රහම් මහලුව වයෝවෘද්ධව සිටියේය. ස්වාමීන්වහන්සේ සියල්ලෙහි ආබ‍්‍රහම්ට ආශීර්වාදකර තිබුණේය. 3 ආබ‍්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළාවූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කථාකොට: 4 මා වාසය කරන දේශයෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මාගේ පුත‍්‍රයාට භාර්යාවක් නොගෙන 5 මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත‍්‍රවූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන්වහන්සේද පොළොවේ දෙවියන්වහන්සේද වූ ස්වාමීන්වහන්සේ ගැන මා විසින් නුඹ දිවුරවන පිණිස නුඹේ අත මාගේ කළවය යට තබාපන්නැයි කීයේය. 6 එවිට මෙහෙකරුවා ඔහුට කථාකර: සමහරවිට ඒ ස්ත‍්‍රී මා කැටුව මේ දේශයට එන්ට අකැමති වන්නීය. එසේවීනම් ඔබ පිටත්ව ආවාවූ දේශයට මා විසින් ඔබගේ පුත‍්‍රයා නැවත ගෙන යා යුතුදැයි ඔහුට කීය. 7 ආබ‍්‍රහම්ද: නුඹ මාගේ පුත‍්‍රයා නැවත එහි ගෙන නොයන්ට බලාගනින්න. 8 මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේම තමන්වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක; නුඹ එතැනින් මාගේ පුත‍්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය. 9 නුමුත් ස්ත‍්‍රී නුඹ කැටුව එන්ට අකමැතිවී නම් නුඹ මාගේ මේ දිවුරුමෙන් නිදහස් වන්නෙහිය; එහෙත් මාගේ පුත‍්‍රයා එහි නැවත ගෙනනොයන්නැයි කීවේය. 10 මෙහෙකරුවා තමාගේ ස්වාමිවූ ආබ‍්‍රහම්ගේ කළවය යට අත තබා මේ කාරණය ගැන ඔහුට දිවුරුම් දුන්නේය. 11 එවිට මෙහෙකරුතෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් දසදෙනෙකු රැගෙන පිටත්ව ගියේය; ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතෙහි වූයේය. ඔහු පිටත්වී මෙසොපොතාමියේ නාහොර්ගේ නුවරට ගියේය. 12 සවස් වේලෙහි, ස්ත‍්‍රීන් වතුර අදින පිණිස නික්ම යන වේලෙහි, ඔහු නුවරින් පිටත වතුර ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්සෙවුවේය. 13 ඔහු කථාකොට: මාගේ ස්වාමියාවූ ආබ‍්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දවසෙහි මාගේ ගමන සඵලකරමින් මාගේ ස්වාමිවූ ආබ‍්‍රහම්ට කරුණාව පෙන්නුව මැනව. 14 බැලුව මැනව, මම දිය උල්පත ළඟ සිටිමි; නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එති. 15 මට බොන පිණිස නුඹේ කළය පහත්කරපන්නැයි මම යම් තරුණියකට කීවාම: බීපන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ ඕතොමෝ ඔබගේ මෙහෙකරුවූ ඊසාක්ට ඔබවහන්සේ නියම කළ තැනැත්තී වේවා; මාගේ ස්වාමියා කෙරෙහි ඔබවහන්සේ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමියි කීය. 16 තවද ඔහු කථාකොට නිමවන්ට පළමුවෙන්, බලව, ආබ‍්‍රහම්ගේ සහෝදර නාහොර්ගේ භාර්යාවවූ මිල්කාගේ පුත‍්‍රවූ බෙතුයෙල් නිසා උපන්නාවූ රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන පිටතට ආවාය. 17 ඒ තරුණී ඉතා ශෝභන පෙනීමක් ඇත්තියක්ය, කන්‍යාවක්ය, ඈ පුරුෂයෙකු නොහැඳින සිටියාය. ඈ උල්පත ළඟට බැස කළය පුරවාගෙන ගොඩට ආවාය. 18 මෙහෙකරුවා ඈ ඉදිරියට දිව ගොස්: නුඹේ කළයෙන් වතුර ටිකක් බොන්නට දියන්නැයි කීය. 19 ඈද මාගේ ස්වාමීනි, බිවමැනවියි කියා ඇගේ කළය ඉක්මනින් අත පිටට ගෙන ඔහුට බොන්ට දුන්නාය. 20 ඈ ඔහුට බොන්ට දුන් පසු: ඔබගේ ඔටුවන්ද බී නිමවන තෙක් උන්ටත් ඇද දෙන්නෙමියි කීවාය. 21 ඈ ඉක්මන්කොට ඇගේ වතුර කළය ඔරුවේ වත්කොට අදින පිණිස නැවත ළිඳට දිව ගොස් ඔහුගේ සියලු ඔටුවන්ටත් වතුර ඇද්දාය. 22 ඒ මනුෂ්‍යයා ඈ දෙස ඕනෑකමින් බලා ස්වාමීන්වහන්සේ තමාගේ ගමන සඵලකළසේක්ද නැද්දැයි දැනගන්නා පිණිස නිශ්ශබ්දව සිටියේය. 23 තවද ඔටුවන් වතුර බී නිමවූ කල්හි ඒ මනුෂ්‍යයා ෂෙකෙල් බාගයක් බර ඇති රන් නාසාභරණයක්ද ඇගේ අත්වලට ෂෙකෙල් දසයක් බර ඇති රන් වළලු දෙකක්ද රැගෙන දී: 24 නුඹ කාගේ දියණියෝදැයි මට කියන ලෙස ඉල්ලමි. අපට නවාතැන් ගන්ට නුඹේ පියාණන්ගේ ගෙදර ඉඩ ඇද්දැයි කීය. 25 ඈද: මම වනාහි නාහොර් නිසා මිල්කා වැදූ පුත‍්‍රයාවූ බෙතුයෙල්ගේ දුවයයි ඔහුට කීවාය. 26 තවද: අප ළඟ සෑහෙන පමණ පිදුරුත් ගෝචරත් නවාතැනට ඉඩත් තිබෙනවායයි ඈ ඔහුට කීවාය. 27 ඒ මනුෂ්‍යයා හිස නමා ස්වාමීන්වහන්සේට නමස්කාරකොට: 28 මාගේ ස්වාමිවූ ආබ‍්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප‍්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය. 29 ඒ තරුණී දිවගොස් ඇගේ මවුගේ ගෙදර සිටියවුන්ට මේ කාරණ කීවාය. 30 රෙබෙකාට ලාබන් නම්වූ සහෝදරයෙක් සිටියේය. ලාබන් වනාහි උල්පත ළඟ පිටත සිටි මනුෂ්‍යයා වෙතට දිව ගියේය. 31 ඔහු නාසාභරණයද තමාගේ සහෝදරීගේ අත්වල තිබෙන වළලුද දැක: ඒ මනුෂ්‍යයා මට මෙලෙස කථාකෙළේය කියා තමාගේ සහෝදරීවූ රෙබෙකා කී වචන ඇසූ කල ඒ මනුෂ්‍යයා වෙතට ගියේය; බලව, ඔහු උල්පත ළඟ ඔටුවන් වෙත සිටියේය. 32 ඔහු: ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් තැනැත්ත, ඇතුළට එන්න; පිටත සිටින්නේ මන්ද? මම ගෙයද ඔටුවන්ට ඉඩම්ද සූදානම්කෙළෙමියි කීවේය. 33 ඒ මනුෂ්‍යයා ගෙට ඇතුල්ව ඔටුවන්ගේ පටි මිදුවේය; ලාබන් ඔටුවන්ට පිදුරුත් ගෝචරත් ඔහුගේ පාදද ඔහු සමග සිටිය මනුෂ්‍යයන්ගේ පාදද සෝදන්ට වතුරත් දුන්නේය. 34 කන පිණිස ඔහු ඉදිරියෙහි කෑමද තබනලද්දේය. එහෙත් ඔහු: මාගේ කාරණය කියන තුරු නොකන්නෙමියි කීය. ඔහුද: කියන්නැයි කීය. 35 එවිට ඔහු: මම ආබ‍්‍රහම්ගේ මෙහෙකරු වෙමි. 36 ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට බොහෝසෙයින් ආශීර්වාදකළසේක; ඔහු උත්තමයෙක් වී සිටියි. උන්වහන්සේ ඔහුට එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද රිදී සහ රත්රන්ද දාසයන් සහ දාසීන්ද ඔටුවන් සහ කොටළුවන්ද දී තිබේ. 37 මාගේ ස්වාමියාගේ භාර්යාවවූ සාරා තමාගේ මහලු වයසෙහිදී මාගේ ස්වාමියා නිසා පුත‍්‍රයෙකු වැදුවාය. ඔහු තමන් සන්තක සියල්ල ඔහුට දී තිබේ. 38: තවද මාගේ ස්වාමියා-මා වසන රටෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මාගේ පුත‍්‍රයාට භාර්යාවක් නොගෙන. 39 මාගේ පියාණන්ගේ ගෙටද මාගේ නෑයන් වෙතටද ගොස් මාගේ පුත‍්‍රයාට භාර්යාවක් ගනින්න කියා මා දිවුරෙවුවේය. 40 මමද: ඒ ස්ත‍්‍රී සමහරවිට මා කැටුව නොඑන්නීයයි මාගේ ස්වාමියාට කීයෙමි. 41 එවිට ඔහු මට කථාකොට: මා සේවය කරන්නාවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ දුතයා නුඹ සමග යවා නුඹේ ගමන සඵලකරනසේක; නුඹ මාගේ පුත‍්‍රයාට මාගේ නෑයන්ගෙන්ද මාගේ පියාණන්ගේ ගෙයින්ද භාර්යාවක් ගනින්න. 42 මාගේ නෑයන් වෙතට පැමිණි කල්හි නුඹ මාගේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; ඔවුන් නුඹට ඇය නොදෙනවා නම් නුඹ මාගේ දිවුරුමෙන් නිදහස් වන්නෙහියයි කීවේය. 43 ඒ හැටියට අද මම උල්පත ළඟට අවුත්: මාගේ ස්වාමියා වන ආබ‍්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මා යන ගමන සඵලකරනසේක් නම් මෙසේ වේවා: 44 මෙන්න, මම උල්පත ළඟ සිටිමි; වතුර අදින පිණිස පිටතට එන්නාවූ: නුඹේ කළයෙන් වතුර ටිකක් බොන්ට මට දියන්නැයි මා කියන විට-බීපන්න. 45 නුඹේ ඔටුවන්ටත් ඇදදෙන්නෙමියි කියන්නාවූ කන්‍යාව ස්වාමීන්වහන්සේ විසින් මාගේ ස්වාමියාගේ පුත‍්‍රයාට නියමකළ ස්ත‍්‍රීම වේවයි කීමි. 46 මා විසින් මාගේ සිත තුළ කථාකර නිමවෙන්ට පළමුවෙන් රෙබෙකා ඇගේ කරේ කළය තබාගෙන ඇවිත් උල්පත ළඟට බැස වතුර ඇද්දාය. එවිට: මට බොන්ට දෙන්නැයි ඈට කීමි. 47 ඈද ඉක්මනින් කළය ඇගේ කරෙන් පහත්කොට: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙන්නෙමියි කීවාය. එවිට මම බීවෙමි, 48 ඈ ඔටුවන්ටත් පෙවුවාය. මමද: නුඹ කාගේ දියණියෝදැයි ඇගෙන් ඇසුවෙමි. ඈ මිල්කා නාහොර් නිසා වැදු පුත‍්‍රවූ බෙතුයෙල්ගේ දුවයයි කීවාය. එවිට මම නාසාභරණය ඇගේ නාසයෙහිද වළලු ඇගේ අත්වලද දැමුවෙමි. 49 තවද මම හිස නමා ස්වාමීන්වහන්සේට නමස්කාරකොට, මාගේ ස්වාමියාගේ පුත‍්‍රයාට ඔහුගේ සහෝදරයාගේ දියණිය ලබාගන්න පිණිස හරි මාර්ගයෙහි මා ගෙනාවාවූ, මාගේ ස්වාමියා වන ආබ‍්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප‍්‍රශංසා කෙළෙමි. 50 ඉදින් නුඹලා මාගේ ස්වාමියාට කරුණාවෙන්ද අවංකකමෙන්ද ක‍්‍රියාකරන්නහු නම් මට කියාපල්ලා; නැතහොත් මා විසින් දකුණට හෝ වමට හෝ හැරෙන පිණිස මට කියාපල්ලා යයි කීය. 51 එවිට ලාබන් සහ බෙතුයෙල් උත්තරදෙමින්: මේ වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙන් පැමිණි කාරණයකි. නරකක්වත් හොඳක්වත් නුඹට කියන්ට අපට නුපුළුවන. 52 මෙන්න, රෙබෙකා නුඹ ඉදිරියෙහිය, ඈ කැඳවාගෙන පලයන්න, ස්වාමීන්වහන්සේ කී ලෙස ඈ නුඹේ ස්වාමියාගේ පුත‍්‍රයාගේ භාර්යාව වේවයි කීවෝය. 53 ආබ‍්‍රහම්ගේ මෙහෙකරු තෙමේ ඔවුන්ගේ වචන ඇසූ විට බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාර කෙළේය. 54 මෙහෙකරුවා රිදී ආභරණද රන් ආභරණද වස්ත‍්‍රද ගෙනවුත් රෙබෙකාට දුන්නේය. තවද ඔහු ඇගේ සහෝදරයාටත් මවුටත් අනර්ඝ දේවල් දුන්නේය. 55 ඔවුන්, එනම්, ඔහු සහ ඔහු සමග සිටි මිනිසුන් කා බී මුළු රාත‍්‍රියෙහි නැවතී උදය නැගුටුණු විට: මාගේ ස්වාමියා වෙතට මා යන්ට හැරපල්ලායයි ඔහු කීවේය. 56 ඇගේ සහෝදරයාද මවුද: තරුණී ටික දවසක්, දස දවසක්වත්, අප සමග සිටීවා; ඉන්පසු යන්ට පුළුවනැයි කීවෝය. 57 ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප‍්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හැරපල්ලායයි ඔහු ඔවුන්ට කීය. 58 තරුණියට අඬගසා ඇගෙන්ම විචාරන්නෙමුයයි ඔව්හු කීවෝය. 59 එලෙස ඔව්හු රෙබෙකාට අඬගසා: නුඹ මේ මනුෂ්‍යයා කැටුව යන්නෙහිදැයි ඇසුවෝය. යන්නෙමියි ඈ කීවාය. 60 එවිට ඔව්හු තමන්ගේ සහෝදරීවූ රෙබෙකාද ඇගේ කිරි මවුද ආබ‍්‍රහම්ගේ මෙහෙකරුවාද ඔහුගේ මිනිසුන්ද පිටත් කළෝය. 61 ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙයන්න, නුඹේ වංශය තමන්ට වෛකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය. 62 රෙබෙකාද ඇගේ තරුණියෝද නැගිට ඔටුවන් පිට නැගී ඒ මනුෂ්‍යයා කැටුව ගියෝය. මෙහෙකරුවා රෙබෙකා කැඳවාගෙන ගියේය. 63 ඊසාක් බෙයර්-ලහයි-රොයිට යන පාරෙන් ආයේය; මක්නිසාද ඔහු දකුණු දේශයෙහි විසුවේය. 64 ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහි කරන පිණිස ගියේය. තවද ඔහු ඇස් ඔසවා බලා, ඔටුවන් එනවා දුටුවේය. 65 රෙබෙකාද ඇස් ඔසවා බලා ඊසාක් දැක ඔටුවා පිටින් බැස්සාය. 66 අර කෙතේ අප ඉදිරියට එන්නාවූ මේ මනුෂ්‍යයා කවුදැයි ඈ මෙහෙකරුවාගෙන් ඇසුවාය. ඒ මාගේ ස්වාමියායයි මෙහෙකරුවා කීය. එවිට ඈ තමාගේ වැස්ම රැගෙන මුහුණ වසාගත්තාය. 67 මෙහෙකරුවා තමා කළාවූ සියල්ල ඊසාක්ට කීවේය.

උත්පත්ති 25

1 ඊසාක් තමාගේ මවුවූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවාගත්තේය; ඈ ඔහුගේ භාර්යාව වූවාය; ඔහු ඈට ප්‍රේමකෙළේය. ඊසාක් තමාගේ මවුගේ මරණයෙන් පසු මෙසේ සැනසුණේය. 2 ආබ‍්‍රහම් තව භාර්යාවකු පාවාගත්තේය, ඇගේ නාමය කෙතුරාය, 3 ඈ ඔහු නිසා ගිම්රාම්ද යොක්ෂාන්ද මෙදාන්ද මිදියාන්ද ඉෂ්බාක්ද ෂුවාද වැදුවාය. 4 යොක්ෂාන්ට දාව ෂෙබාද දෙදාන්ද උපන්නෝය. දෙදාන්ගේ පුත‍්‍රයෝ: අෂූරිවරුත් ලෙතුසිවරුත් ලෙයුම්මිවරුත්ය. 5 මිදියාන්ගේ පුත‍්‍රයෝ: ඒඵාද ඒඵෙර්ද හනොක්ද අබීදාද එල්දායාද යන මොව්හුය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝය. 6 ආබ‍්‍රහම් තමා සන්තක සියල්ල ඊසාක්ට දුන්නේය. 7 නුමුත් ආබ‍්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත‍්‍රයන්ට ආබ‍්‍රහම් තෑගි දී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත‍්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය. 8 ආබ‍්‍රහම් ජීවත්ව සිටිය ඔහුගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය සැත්තෑ පස් අවුරුද්දකි. 9 ආබ‍්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප‍්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. 10 ඔහුගේ පුත‍්‍රයෝවූ ඊසාක්ද ඉෂ්මායෙල්ද මම්රේ ඉදිරියෙහි හිත්තීය ශොහර්ගේ පුත‍්‍රවූ එඵ්‍රොන්ගේ කෙතෙහි මක්පේලා ගුහාවෙහි ඔහු තැන්පත්කළෝය; 11 ඒක ආබ‍්‍රහම් හෙත්ගේ පුත‍්‍රයන්ගෙන් මිලේට ගත්තාවූ කෙතය. එහි ආබ‍්‍රහම්ද ඔහුගේ භාර්යාවවූ සාරාද තැන්පත් කරනලද්දෝය. 12 තවද දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ගේ මරණින් පසු ඔහුගේ පුත‍්‍රවූ ඊසාක්ට ආශීර්වාද කළසේක; ඊසාක් බෙයර්-ලහයි-රොයි ළඟ වාසයකෙළේය. 13 සාරාගේ දාසීවූ මිසරීය හාගර් ආබ‍්‍රහම් නිසා වැදූ ආබ‍්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පරම්පරා නම් මේය. 14: තම තමන්ගේ පරම්පරා ලෙස, නම් වශයෙන් ඉෂ්මායෙල්ගේ පුත‍්‍රයින්ගේ නාම නම්: ඉෂ්මායෙල්ගේ කුලුඳුලාවූ නෙබායොත්ය; කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්, මිෂ්මා, 15: දූමා සහ මස්සාය; හදද්, තේමා, යෙතුර්, 16 නාඵීෂ් සහ කේදෙමාය. 17 මොව්හු ඉෂ්මායෙල්ගේ පුත‍්‍රයෝය, මොවුන්ගේ ගම් සහ කඳවුරු ප‍්‍රකාරයට මොවුන්ගේ නම් මේය; මොව්හු ස්වකීය ජාති ප‍්‍රකාරයට අධිපතියෝ දොළොස් දෙනෙක් වූහ. 18 ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප‍්‍රාණය හැර නැසී තම සෙනඟට එකතු වුණේය. 19 ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය. 20 ආබ‍්‍රහම්ගේ පුත‍්‍රවූ ඊසාක්ගේ පරම්පරාව නම් මේය: ආබ‍්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. 21 ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය. 22 ඊසාක් තමාගේ භර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය. 23: එවිට ඈ: මෙහෙම නම් මම මක්නිසා ජීවත්වෙම්දැයි කීවාය. ඈ ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ගියාය. ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක. 24 ඇගේ වදන කාලය සම්පූර්ණවූ කල, බලව, ඇගේ කුසෙහි දරු දෙදෙනෙක් වූවෝය. 25 ප‍්‍රථමයා රතුව සහමුලින්ම රෝම වස්ත‍්‍රයක් මෙන් රෝමවලින් වැසී බිහිවිය; ඔහුට ඒසව් යන නාමය තැබුවෝය. 26 ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය, ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේය; ඔහුට යාකොබ් යන නම තබනලද්දේය. ඈ ඔවුන් වැදූ කල ඊසාක් සැට අවුරුද්දක් වයස්ව සිටියේය. 27 දරුවෝ වැඩුණාහ. ඒසව් හපන් දඩයක්කාරයෙක් ව වනයේ මනුෂ්‍යයෙක් ව සිටියේය; යාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය. 28 ඊසාක් ඒසව්ට ආදරේ වුණේය, මක්නිසාද ඔහු ඒසව්ගේ මුව මස් කෑයේය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරේ වුණාය. 29 යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්: 30 මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දියන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය. 31 එවිට යාකොබ්: නුඹේ කුලුඳුල්කම අද මට විකුණාපන්නැයි කීය. 32 ඒසව්ද: බලව, මම මරණාසන්නව සිටිමි. මේ කුලුඳුල්කමෙන් මට කවර ප‍්‍රයෝජනයක් වන්නේදැයි කීය. 33 අද මට දිවුරුම් දියන්නැයි යාකොබ් කීය; ඔහු යාකොබ්ට දිවුරුම් දී ඔහුගේ කුලුඳුල්කම යාකොබ්ට වික්කේය. 34: එවිට යාකොබ් රොටිද කොල්ලු ව්‍යංජනද ඒසව්ට දුන්නේය; ඔහු කා බී නැගිට ගියේය. මෙසේ ඒසව් තමාගේ කුලුඳුල්කම සුළු කෙළේය.

උත්පත්ති 26

1 ආබ‍්‍රහම්ගේ දවස්වලදී වූ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට ගියේය. 2 ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසයකරපන්න, 3 මේ දේශයෙහි විදේශීව සිටපන්න, මම නුඹ සමග සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ‍්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි; 4 ආබ‍්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හෙයින් නුඹේ 5 වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක. 6 ඊසාක් ගෙරාර්හි වාසයකෙළේය. 7 ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු-ඇය මාගේ භාර්යාවයයි කියන්ට භයවුණේය. 8 ඔහු බොහෝ කලක් එහි වාසයකළ පසු පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් කවුළුවකින් බලා ඊසාක් තමාගේ භාර්යාවවූ රෙබෙකාට ආදර කරනවා දුටුවේය. 9 අබිමෙලෙක් ඊසාක් කැඳවා: සැබවින්ම ඈ නුඹේ භාර්යාවය. ඈ මාගේ සහෝදරීයයි නුඹ කීවේ කෙසේදැයි කීය. ඈ නිසා මා නොනසින පිණිස කීයෙමියි ඊසාක් ඔහුට කීවේය. 10 අබිමෙලෙක්: නුඹ අපිට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමග සයනයකළ හැකිව තිබුණේය, එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය. 11 අබිමෙලෙක් තමාගේ මුළු සෙනඟට අණකරමින්: මේ මනුෂ්‍යයාටවත් ඔහුගේ භාර්යාවටවත් අතගසන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේයයි කීයේය. 12 ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක. 13 ඒ මනුෂ්‍යයා පොහොසත් වී, ඉතා පොහොසත් වන තුරු වඩ වඩාම වර්ධනයවුණේය. 14 ඔහුට එළු බැටළු රැළවල්ද බොහෝ ගෙයි වැසියෝද සිටියෝය. පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යාකළෝය. 15 ඔහුගේ පියවූ ආබ‍්‍රහම්ගේ දවස්වලදී ඔහුගේ පියාගේ වැඩකාරයන් විසින් හෑරූ සියලු ළිං පිලිස්තිවරුන් විසින් පස් පුරවා වසාදමා තිබුණේය. 16 නුඹ අපට වඩා බොහෝ බලවත් හෙයින් අප කෙරෙන් පලයන්නැයි අබිමෙලෙක් ඊසාක්ට කීය. 17 ඊසාක් එයින් පිටත්ව ගොස් ගෙරාර් නම් මිටියාවතෙහි කඳවුර පිහිටුවා එහි වාසයකෙළේය. 18 තවද තම පියවූ ආබ‍්‍රහම්ගේ දවස්වලදී හාරනලද්දාවූ, ආබ‍්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසාදමා තිබුණාවූ වතුර ඇති ළිං ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණාවූ නාම ඒ ළිංවලට තැබුවේය. 19 ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ළිඳක් ලබාගත්තෝය. 20 එහෙත් ගෙරාර්හි එ‍ඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමග විවාදකළෝය. ඔවුන් ඔහු හා සමග විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක්*(තරඟය, විවාදය) යන නම තැබීය. 21 එවිට ඔව්හු වෙන ළිඳක් හෑරුවෝය, ඔවුන් ඒ ගැනත් විවාදකළ බැවින් ඔහු ඊට සිත්නා*(වෛරය) යයි නම තැබීය. 22 ඔහු එතනින් ගොස් වෙන ළිඳක් හෑරුවේය; ඒ ගැන ඔව්හු විවාදනොකළෝය. ඔහු ඊට රෙහොබොත්*(ඉඩ) යයි නම තැබීය; කුමක්හෙයින්ද: ඉතින් ස්වාමීන්වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය. 23 ඔහු එයින් බෙයර්-ෂෙබාට ගියේය. 24 එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ‍්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භය නොවන්න, මක්නිසාද නුඹ සමග සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ‍්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක. 25 ඔහු එහි පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය. ඔහු එහි තමාගේ කූඩාරම පිහිටෙවුවේය. තවද ඊසාක්ගේ වැඩකාරයෝ එහි ළිඳක් හෑරුවෝය. 26 එවිට අබිමෙලෙක්ද ඔහුගේ මිත‍්‍රයාවූ අහුස්සත්ද ඔහුගේ සේනාපතිවූ පීකොල්ද ගෙරාර්හි සිට ඔහු වෙතට ගියෝය. 27 ඊසාක්: නුඹලා මට වෛරකොට නුඹලා වෙතින් මා යවාලාත් කුමක්හෙයින් මා වෙතට ආවහුදැයි කීය. 28 ඔව්හුද: ස්වාමීන්වහන්සේ නුඹ සමග සිටින බව අපි පැහැදිලි ලෙස දුටිමු. එබැවින් අප අතරෙහි එනම් අප සහ නුඹ අතරෙහි දිවුරුමක් වේවා; 29 අප නුඹට අත නොගැසුවාක් මෙන්ද, නුඹට යහපතම කර සමාදානයෙන් නුඹ යැවුවාක් මෙන්ද, නුඹත් අපට කිසි හිංසාවක් නොකරන ලෙස අපි නුඹ සමග ගිවිසුමක් කරන්නෙමුයයි කීවෙමු; නුඹ දැන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලත් තැනැත්තේයයි කීවෝය. 30 ඔහු ඔවුන්ට මංගල්‍ය කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය, බීවෝය. 31 අති උදය නැගිට ඔව්හු එකිනෙකා සමග දිවුරාගත්තෝය. ඊසාක් ඔවුන් පිටත්කෙළේය, ඔව්හු සමාදානෙන් ඔහු වෙතින් ගියෝය. 32 තවද එම දවසේ ඊසාක්ගේ වැඩකරුවෝ අවුත් තමන් හෑරූ ළිඳ ගැන ඔහුට දන්වමින්: අපට වතුර සම්බවීයයි කීවෝය. 33 ඔහු ඊට ෂිබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බෙයර්-ෂෙබාය. 34 ඒසව් සතලිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දුවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය. 35 ඔව්හු ඊසාක්ටද රෙබෙකාටද ශෝක හේතුවක් වූහ.

උත්පත්ති 27

1 තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත‍්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත‍්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය. 2 එවිට ඔහු කථාකොට: බලව, මම මහලුව සිටිමි, මාගේ මරණයේ දවස නොදනිමි. 3 එබැවින් නුඹේ ආයුධ වන හීකොපුවත් දුන්නත් රැගෙන වනයට ගොස් මට මුව මස් ලබාගෙන, 4 මට රුචිවූ රසවත් කෑම සාදාපන්න; මා එයින් කා, මැරෙන්ට ප‍්‍රථමයෙන් මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය. 5 ඊසාක් තමාගේ පුත‍්‍රවූ ඒසව්ට කථාකරන කල රෙබෙකාට ඇසුණේය. ඒසව් දඩයම්කොට මුව මස් ගෙනෙන පිණිස වනයට ගියේය. 06: එවිට රෙබෙකා ඇගේ පුත‍්‍රවූ යාකොබ්ට කථාකරමින්: බලව, නුඹේ පියා-මා විසින් කාලා මාගේ මරණයට ප‍්‍රථමයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹට ආශීර්වාදකරන පිණිස මට මුව මස්, 7 ගෙනවුත් රසවත් කෑම සාදාපන්නැයි නුඹේ සහෝදරවූ ඒසව්ට කියනවා ඇසීමි. 8 එබැවින් මාගේ පුත‍්‍රය, මා නුඹට අණකරන කාරණය ගැන මාගේ හඬට කීකරුවෙයන්න. 9 දැන් එළු රැළට ගොස් එතැනින් හොඳ එළුපැටියන් දෙදෙනකු මට ගෙනෙන්න; මම උන්ගෙන් නුඹේ පියාට ප‍්‍රියවූ රසවත් කෑම සාදන්නෙමි. 10 නුඹේ පියා කාලා තමාගේ මරණයට ප‍්‍රථමයෙන් නුඹට ආශීර්වාදකරන පිණිස ඒවා ඔහු වෙතට රැගෙන පලයන්නැයි කීවාය. 11 යාකොබ් තම මවුවූ රෙබෙකාට කථාකොට: බලව, මාගේ සහෝදරවූ ඒසව් ලෝමික කෙනෙක්ය, මම වනාහි සිලුටු කෙනෙක්ය. 12 සමහරවිට මාගේ පියා මා අතගා බලයි, එවිට මා රැවටිලිකාරයෙක් මෙන් ඔහුට පෙනීයයි; එකල්හි ආශීර්වාදයක් නොව ශාපයක් මා පිටට වන්නේයයි කීය. 13 ඔහුගේ මවු: මාගේ පුත‍්‍රය, නුඹේ ශාපය මා කෙරෙහි වේවා. නුඹ මා කියන දේ පමණක් අසා, ගොස් උන් මා වෙතට ගෙනෙන්නැයි ඔහුට කීවාය. 14 ඔහු ගොස් උන් රැගෙන තමාගේ මවු ළඟට ආවේය. එවිට ඔහුගේ මවුතොමෝ ඔහුගේ පියාට ප‍්‍රියවූ රසවත් භෝජනය පිළියෙළකළාය. 15 රෙබෙකා ඈ වෙත ගෙයි තිබුණු ඇගේ වැඩිමල් පුත‍්‍රවූ ඒසව්ගේ හොඳ වස්ත‍්‍ර රැගෙන ඇගේ බාල පුත‍්‍රවූ යාකොබ්ට අන්දවා, 16 එළු පැටියන්ගේ සම් ඔහුගේ අත්වලද සිලුටු බෙල්ලෙහිද ඇන්දෙවුවාය. 17 තවද ඈ පිළියෙළකළ රසවත් කෑමද රොටීද ඇගේ පුත‍්‍රවූ යාකොබ් අතට දුන්නාය. 18 ඔහු තමාගේ පියා වෙතට අවුත්: මාගේ පියාණෙනියි කීය. ඔහු: මම මෙහිය; මාගේ පුත‍්‍රය, නුඹ කවුදැයි ඇසීය. 19 යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත‍්‍රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය. 20 ඊසාක්: මාගේ පුත‍්‍රය, මෙපමණ ඉක්මනට එය නුඹට සම්බ වුණේ කොහොමදැයි තම පුත‍්‍රයාගෙන් ඇසීය. ඔහු: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය ඉක්මනින් ඉෂ්ටවෙන්ට සැලැස්සූ හෙයිනැයි කීය. 21 තවද ඊසාක්: මාගේ පුත‍්‍රය, නුඹ මාගේ පුත‍්‍රවූ ඒසව්මද නැද්ද කියා නුඹ අතගා බලන්ට මා ළඟට වරෙන්නැයි යාකොබ්ට කීවේය. 22 එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය. ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නමුත් අත් ඒසව්ගේ අත්යයි කීය. 23 ඔහුගේ අත් ඔහුගේ සහෝදරවූ ඒසව්ගේ අත් මෙන් ලෝමිකව තිබුණු බැවින් ඊසාක් ඔහු නොහැඳින ඔහුට ආශීර්වාදකෙළේය. 24 නුඹ මාගේ පුත‍්‍රවූ ඒසව්මදැයි ඔහු ඇසීය. එසේයයි ඔහු කීවේය. 25 ඊසාක්ද: ඒවා මා ළඟට ගෙනෙන්න, මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස මාගේ පුත‍්‍රයාගේ මුව මස් කන්නෙමියි කීවේය. එසේ ඔහු ඒවා ඔහු ළඟට ගෙනගියේය, ඊසාක් කෑයේය. මුද්‍රිකපානයත් ඔහු ළඟට ගෙනගියේය, ඔහු බීවේය. 26 එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඉතින් මාගේ පුත‍්‍රය, ළඟට අවුත් මා සිඹගනින්නැයි ඔහුට කීය. 27 එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත‍්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත‍්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාද කළ කෙතක සුවඳ මෙනි. 28 එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදි යුසද නුඹට දෙන සේක්වා. 29 මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙයන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය. 30 ඊසාක් යාකොබ්ට ආශීර්වාද කොට නිමවූ කෙණෙහිම, යාකොබ් තමාගේ පියවූ ඊසාක් ඉදිරියෙන් පිටතට යන කොටම, ඔහුගේ සහෝදරවූ ඒසව් තමාගේ දඩයමින් හැරී ආයේය. 31 ඔහුත් රසවත් ආහාර සාදා තමාගේ පියා වෙතට ගෙනැවිත්: ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස මාගේ පියාණන් නැගිට තමන් පුත‍්‍රයාගේ මුව මස් කැව මැනවයි තම පියාට කීය. 32 නුඹ කවරෙක්දැයි ඔහුට කීය. මම ඔබගේ කුලුඳුල් පුත‍්‍රවූ ඒසව්යයි ඔහු කීය. 33 එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම් කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප‍්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි: එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය. 34 තම පියාගේ බස් ඇසූ කල ඒසව් ඉතා මහත්වූ දුක්ඛිතවූ මොරගැසීමකින් කෑගසා: මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවයි තම පියාට කීය. 35 ඔහු: නුඹේ සහෝදරයා රැවටිල්ලෙන් අවුත් නුඹේ ආශීර්වාදය හැරගත්තේයයි කීය. 36 එවිට ඒසව්: යාකොබ් යන නාමය ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය. 37 ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු නුඹේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන් කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත‍්‍රය, නුඹට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය. 38 ඒසව්ද: මාගේ පියාණෙනි, ඔබට ඇත්තේ එක ආශීර්වාදයක් පමණක්ද? මාගේ පියාණෙනි මටත්, අනේ මටත් ආශීර්වාද කළ මැනවැයි තමාගේ පියාට කියා ශබ්දනගා හැඬීය. 39 එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්: බලව, නුඹේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය; 40 නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය. 41 ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය. 42 තමාගේ වැඩිමල් පුත‍්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත‍්‍රවූ යාකොබ් කැඳවා: බලව, නුඹේ සහෝදරවූ ඒසව් නුඹ නසන්ට සිතාගන නුඹ ගැන තමාම සනසා ගනියි. 43: එහෙයින් මාගේ පුත‍්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න; 44 නුඹේ සහෝදරයාගේ කෝපය පහවෙන තුරු, නුඹේ සහෝදරයාගේ තරහ නුඹ කෙරෙන් පහවී නුඹ ඔහුට කළ දේ සිහිනැති වෙනකල්, 45 ස්වල්ප දිනක් එහි සිටපන්න. එවිට මම එතැනින් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ නුඹලා දෙදෙනාම මට නැතිවෙන්නේ මක්නිසාදැයි කීවාය. 46 රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ, යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දුවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමටදැයි කීවාය.

උත්පත්ති 28

1 ඊසාක් යාකොබ් කැඳවා ඔහුට ආශීර්වාද කොට අණකරමින්: නුඹ කානාන්හි දුවරුන්ගෙන් භාර්යාවකු පාවානොගනින්න. 2 නුඹ පිටත්වී පදන්-අරාමෙහි නුඹේ මවුගේ පියවූ බෙතුයෙල්ගේ ගෙදරට ගොස් එතැනින් නුඹේ මවුගේ සහෝදරවූ ලාබන්ගේ දුවරුන්ගෙන් භාර්යාවක් පාවාගනින්න. 3 සර්වපරාක‍්‍රමවූ දෙවියන්වහන්සේ නුඹට ආශීර්වාදකර නුඹ සෙනඟ රාශියක් වන පිණිස නුඹ සඵලකොට නුඹ වැඩිකරනසේක්වා; 4 දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට දුන්නාවූ නුඹ විදේශීව සිටින්නාවූ දේශය නුඹට උරුම වෙන පිණිස නුඹටත් නුඹේ වංශයටත් ආබ‍්‍රහම්ගේ ආශීර්වාදය දෙනසේක්වයි ඔහුට කීවේය. 5 මෙසේ ඊසාක් යාකොබ් පිටත්කර හැරියේය. ඔහු යාකොබ්ගේද ඒසව්ගේද මවුවූ රෙබෙකාගේ සහෝදරවන අරාමිය බෙතුයෙල්ගේ පුත‍්‍රවූ ලාබන් වෙතට පදන්-අරාමට ගියේය. 6 ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගනින්නැයි අණකළ බවද, 7 යාකොබ් තමාගේ පියාටත් මවුටත් කීකරුව පදන්-අරාමට ගිය බවද ඒසව් දුටුවේය. 8 තවද කානාන්හි දුවරුන්ට තමාගේ පියවූ ඊසාක් අප‍්‍රිය වූ බව ඒසව් දැක ඉෂ්මායෙල් 9 වෙතට ගොස් තමාට සිටිය භාර්යාවන් ඇතුළුව ආබ‍්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ දුවූ, නෙබායොත්ගේ සහෝදරීවූ මහලත් භාර්යාව වන පිණිස පාවාගත්තේය. 10 යාකොබ් බෙයර්-ෂෙබායෙන් පිටත්ව හාරාන් දිසාවට ගියේය. 11 ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැසගිය බැවින් මුළු රාත‍්‍රියේ එහි සිට, ඒ ස්ථානයේ ගල්වලින් එකක් අරන් තමාගේ හිසට තබාගෙන, ඒ ස්ථානයෙහි නින්දට වන්නේය. 12 එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබනලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය. 13 බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම නුඹේ පියවූ ආබ‍්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. නුඹ නිදා සිටින දේශය නුඹටද නුඹේ වංශයටද දෙන්නෙමි; 14 නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, නුඹ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණ දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත‍්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය. 15 බලව, මම නුඹ සමග සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂාකර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදු කරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කීසේක. 16 යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී: 17 මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය. 18 යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට, 19 ඒ ස්ථානයට බෙතෙල්*(දෙවියන්වහන්සේගේ ගෘහය) යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය. 20 යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමග සිට මා යන මේ මාර්ගයෙහි 21 මා ආරක්ෂාකොට මට කන්ට භෝජනද අඳින්ට වස්ත‍්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක, 22 කණුවක් කොට මා සිටෙවු මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.

උත්පත්ති 29

1 එකල යාකොබ් ගමන්කොට පෙරදිග ජනයන්ගේ දේශයට පැමුණුණේය. 2 ඔහු බලා, කෙතෙහි තිබෙන ළිඳක් සහ ඒ ළඟ ඉන්න බැටළු රැළවල් තුනක්ද දුටුවේය; මක්නිසාද ඒ ළිඳෙන් බැටළු රැළවලට වතුර දෙන ලදී. ළිං කට උඩ තිබුණු ගලද මහත්ය. 3 සියලු බැටළු රැළවල් එතැනට රැස් කර, ළිං කටින් ගල අහකට පෙරළා, බැටළුවන්ට වතුර පොවා ගල ළිං කටෙහි තිබුණු තැන්හිම නැවත තබති. 4 එවිට යාකොබ්: මාගේ සහෝදරයිනි, නුඹලා කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. අපි හාරාන් සිට ආවෙමුයයි ඔව්හු කීවෝය. 5 නාහොර්ගේ පුත‍්‍රවූ ලාබන් අඳුනවුදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. අඳුනමුයයි ඔව්හු කීවෝය. 6 6 ඔහු සුවසේ සිටීදැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. සුවසේ සිටියි. අන්න, බැටළුවන් සමග අර එන්නී ඔහුගේ දියණිය වූ රාඛෙල්යයි ඔව්හු කීවෝය. 7 ඔහුද: තවම දහවල්ය, ගවයන් රැස් කිරීමට කල් නොවෙයි. බැටළුවන්ට වතුර පොවාගෙන ගොස් උන්ට කවාපල්ලායයි කීය. 8 සියලු රැළවල් එක්වෙන තුරු අපට නුපුළුවන, එවිට ළිං කටින් ගල අහකට පෙරළුවාම අපි බැටළුවන්ට වතුර පොවමුයයි ඔව්හු කීවෝය. 9 ඔහු ඔවුන් සමග කථාකරද්දීම රාඛෙල් තම පියාගේ බැටළුවන් සමග ආවාය; මක්නිසාද ඈ බැටළු පාළියක් වූවාය. 10 තවද යාකොබ් තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ දුව වන රාඛෙල්ද තම මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළුවන්ද දැක ළඟට ගොස් ළිං කටින් ගල අහකට පෙරළා තමාගේ මෑණියන්ගේ සහෝදරවූ ලාබන්ගේ බැටළු රැළට වතුර පෙවුවේය. 11 යාකොබ් රාඛෙල් සිඹ ශබ්ද නගා හැඬුවේය. 12 තවද යාකොබ් තමා ඇගේ පියාගේ සහෝදරයා බවත් රෙබෙකාගේ පුත‍්‍රයා බවත් රාඛෙල්ට දැන්නුවේය. ඈ දිවගොස් ඇගේ පියාට දැන්නුවාය. 13 ලාබන් තමාගේ සහෝදරීගේ පුත‍්‍රවූ යාකොබ් ගැන ආරංචිය ඇසූ විට ඔහු සම්බවෙන්ට දිවගොස් ඔහු වැලඳගෙන සිඹ, ඔහු තමාගේ ගෙට කැඳවාගෙන ගියේය. ඔහු මේ සියලු කරුණු ලාබන්ට කීයේය. 14 සැබවින් නුඹ මාගේ ඇට සහ මාංසයත්යයි ලාබන් ඔහුට කීවේය. ඔහු මාසයක් ඔහු සමග විසුවේය. 15 නුඹ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩ කරන්ට යුතුද? නුඹේ කුලී කොපමණ වන්නේදැයි මට කියාපන්නැයි ලාබන් යාකොබ්ට කීය. 16 ලාබන්ට දුවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය. 17 ලෙයාගේ ඇස් සිව්මැළිව තිබුණේය; නුමුත් රාඛෙල් රූපත්ව ප‍්‍රසන්න පෙනීමකින් යුක්ත වූවාය. 18: යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය. 19 මා විසින් ඇය අන්‍ය පුරුෂයෙකුට දීමට වඩා නුඹට දීම හොඳය, මා සමග සිටින්නැයි ලාබන් කීය. 20 යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය. 21 තවද යාකොබ්: මාගේ දවස් සම්පූර්ණවූ බැවින් මාගේ භාර්යාව කරා එළඹෙන පිණිස ඈ මට පාවාදෙන්නැයි ලාබන්ට කීය. 22 ලාබන් ඒ ස්ථානයේ සියලු මිනිසුන් රැස්කොට මංගල්‍ය කෑමක් පිළියෙළිකර දුන්නේය. 23 තවද සවස් වූ කල ඔහු තමාගේ දියණිය වූ ලෙයා කැඳවා යාකොබ් ළඟට ගෙන ගියේය; ඔහු ඇය කරා පැමිණියේය. 24 ලාබන් තම දූවූ ලෙයාට තමාගේ දාසීවූ ශිල්පා දාසියක් කොට දුන්නේය. 25 තවද පහන්වූ කල ඒ ලෙයා බව ඔහු දැන ගත්තේය. එවිට ඔහු ලාබන්ට කථාකොට: නුඹ මට කළ මේ දෙය කුමක්ද? මා නුඹට මෙහෙකෙළේ රාඛෙල් උදෙසා නොවේද? කුමක්හෙයින් මට වංචා කෙළෙහිදැයි ලාබන්ට කීය. 26 එවිට ලාබන්: වැඩිමහල් තැනැත්තියට පළමුවෙන් බාල තැනැත්තිය සරණ පාවා දීම අපේ රටේ නොකෙරෙයි. 27 මැගේ සතිය සම්පූර්ණකරපන්න, එවිට තව සත් අවුරුද්දක් මා ලඟ කරන වැඩ නිසා අපි අනික් තැනැත්තියද නුඹට දෙන්නෙමුයයි කීවේය. 28 යාකොබ් එසේ කොට ඇගේ සතිය සම්පූර්ණ කෙළේය. එවිට ඔහු තමාගේ දුවූ රාඛෙල්ද ඔහුට භාර්යාවක් කොට දුන්නේය. 29 තවද ලාබන් තම දියණියවූ රාඛෙල්ට තමාගේ දාසීවූ බිල්හා දාසියක් කොට දුන්නේය. 30 යාකොබ් රාඛෙල් කරා පැමිණුණේය. ඔහු ලෙයාට වඩා රාඛෙල්ට ආදරේව තව සත් අවුරුද්දක් ලාබන් ළඟ වැඩකෙළේය. 31 ලෙයා අප‍්‍රියකරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ දැක ඈ ගර්භිණීවන්ට සැලැස්වූසේක. නුමුත් රාඛෙල් වඳව සිටියාය. 32 ලෙයා ගර්භිණීව පුත‍්‍රයෙකු වදා: ස්වාමීන්වහන්සේ මා‍ගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය. 33 නැවත ඈ ගර්භිණීව පුත‍්‍රයෙකු වදා: මා අප‍්‍රිය කරනු ලැබූ බව ස්වාමීන්වහන්සේ ඇසූ බැවින් මේ පුත‍්‍රයාත් මට දුන්සේකැයි කියා ඔහුට සිමියොන් යන නාමය තැබුවාය. 34 නැවත ඈ ගර්භිණීව පුත‍්‍රයෙකු වදා: ඉතින් මාගේ පුරුෂයා නිසා පුත‍්‍රයන් තුන්දෙනෙකු වැදූ බැවින් ඔහු මේ වතාවේ මට ඇලුම්වේයයි කීවාය. එබැවින් ලෙවී යන නාමය ඔහුට තබනලද්දේය. 35 ඈ නැවතද ගර්භිණීව පුත‍්‍රයෙකු වදා: මේ වතාවේ ස්වාමීන්වහන්සේට ප‍්‍රශංසා කරන්නෙමියි කීවාය. එබැවින් ඈ ඔහුට යූදා යන නාමය තැබුවාය; ඇගේ වැදීම නැවතුණේය.

උත්පත්ති 30

1 තමා යාකොබ්ට දරුවන් නොවැදු බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය. 2 එවිට යාකොබ් රාඛෙල් කෙරෙහි තරහවිය. ඔහු කථාකොට: ගර්භයේ ඵල නුඹෙන් වැලැක්වූ දෙවියන්වහන්සේ වෙනුවට මම සිටිම්දැයි කීය. 3 එවිට රාඛෙල්: මාගේ දාසීවූ බිල්හා බලන්න, ඈ මාගේ උකුළට දරුවන් වදා දෙන පිණිසද ඈ කරණකොටගෙන මටත් දරුවන් ලැබෙන 4 පිණිසද ඈ කරා එළඹෙන්න කියා තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය. 5 බිල්හා ගර්භිණීව යාකොබ් නිසා පුත‍්‍රයෙකු වැදුවාය. 6 රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත‍්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය. 7 රාඛෙල්ගේ දාසීවූ බිල්හා නැවත ගර්භිණීව යාකොබ් නිසා දෙවෙනි පුත‍්‍රයෙකු වැදුවාය. 8 එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමග පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය. 9 ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය. 10 ලෙයාගේ දාසීවූ ශිල්පාද යාකොබ් නිසා පුත‍්‍රයෙකු වැදුවාය. 11 ලෙයා: වාසනාවන්තයි! කියා ඔහුට ගාද් යන නාමය තැබුවාය. 12 ලෙයාගේ දාසීවූ ශිල්පා යාකොබ් නිසා දෙවෙනි පුත‍්‍රයෙකු වැදුවාය. 13 ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තියයි දුවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය. 14 තිරිඟු කපන කාලයේදී රූබෙන් කෙතට ගිය කල එහි දුදායිම් ගෙඩි සම්බවී, තමාගේ මවුවූ ලෙයාට ගෙනැවිත් දුන්නේය. එවිට රාඛෙල්: නුඹේ පුත‍්‍රයාගේ දුදායිම් ගෙඩිවලින් ටිකක් මට දියන්නැයි ලෙයාට කීවාය. 15 ඈ: නුඹ මාගේ පුරුෂයා පැහැරගත්තා මදිවාට මාගේ පුත‍්‍රයාගේ දුදායිම් ගෙඩිත් ගන්ට හදනවාදැයි කීවාය. එවිට: නුඹේ පුත‍්‍රයාගේ දුදායිම් දුන්නොත් හෙතෙමේ අද රාත‍්‍රියෙහි නුඹ සමග සයනය කරන්නේයයි රාඛෙල් කීවාය. 16 යාකොබ් සවස් වේලෙහි කෙතෙන් එද්දී ලෙයා ඔහු සම්බවෙන්ට ගොස්: ඔබ මා කරා පැමිණෙන්ට ඕනෑය; මක්නිසාද මාගේ පුත‍්‍රයාගේ දුදායිම්වලින් ඔබ සැබවින් කුලියට ගත්තෙමියි කීවාය. ඔහු එදා රාත‍්‍රියෙහි ඈ සමග සයනය කෙළේය. 17 දෙවියන්වහන්සේ ලෙයාට කන්දුන්සේක, ඈ ගර්භිණීව යාකොබ් නිසා පස්වෙනි පුත‍්‍රයෙකු වැදුවාය. 18 මාගේ දාසිය මාගේ පුරුෂයාට මා විසින් දුන් හෙයින් දෙවියන්වහන්සේ මාගේ කුලී මට දුන්සේක කියා ලෙයා ඔහුට ඉස්සාඛර් යන නාමය තැබුවාය. 19 ලෙයා නැවත ගර්භිණීව යාකොබ් නිසා හවෙනි පුත‍්‍රයෙකු වැදුවාය. 20 ඈ: දෙවියන්වහන්සේ උතුම් දායාදයක් මට දී තිබේ; මාගේ පුරුෂයා නිසා මා පුත‍්‍රයන් සදෙනෙකු වැදු බැවින් ඔහු මා සමග වසන්නේය කියා ඔහුට සාබුලොන් යන නාමය තැබුවාය. 21 ඉන්පසු ඈ දුවෙකු වදා ඈට දීනා යන නාමය තැබුවාය. 22 දෙවියන්වහන්සේ රාඛෙල් සිහිකොට ඈට කන්දී ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූසේක. 23 ඈ ගර්භිණීව පුත‍්‍රයෙකු වදා: දෙවියන්වහන්සේ මාගේ නින්දාව පහකළසේකැයි කීවාය. 24 තවද ඈ: ස්වාමීන්වහන්සේ තවත් පුත‍්‍රයෙකු මට එකතුකරනසේක්වයි කියා ඔහුට යෝසෙප් යන නාමය තැබුවාය. 25 රාඛෙල් යෝසෙප් වැදූ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න. 26 මා නුඹට වැඩකොට ලබාගත් මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මට දී යන්ට හැරපන්න. මක්නිසාද මා විසින් නුඹට කළ මෙහෙය නුඹ දන්නෙහියයි කීය. 27: එවිට ලාබන්: නුඹෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවතියන්න. නුඹ නිසා ස්වාමීන්වහන්සේ මට ආශීර්වාදකළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේයයි ඔහුට කීවේය. 28 තවද ඔහු: නුඹේ කුලී නියමකරපන්න, එය මම දෙන්නෙමියි කීවේය. 29 එවිට යාකොබ්: මා නුඹට වැඩකළ හැටිත් නුඹේ ගවයන් මා ළඟ සිටිය හැටිත් නුඹ දන්නෙහිය. 30 මක්නිසාද මා එන්ට පළමුවෙන් නුඹට තිබුණේ ස්වල්පයක්ය, දැන් එය බොහෝ සෙයින් වර්ධනයවී තිබේ; මා කොයි දෙසට හැරුණත් ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළසේක. ඉතින් මාගේම පවුලටත් මා සපයන්නේ කවදාදැයි ඔහුට කීය. 31 මා විසින් නුඹට කුමක් දිය යුතුදැයි ඔහු ඇසුවේය. එවිට යාකොබ්: නුඹ මට කිසිවක් දෙන්ට ඕනෑ නැත. ඉදින් මේක මට කරනවානම් මම නැවත නුඹේ රැළ පෝෂණය කොට බලාගන්නෙමි. 32 මම අද නුඹේ මුළු රැළ අතරට ගොස් තිත් සහ ලප ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළු පාට ඇති සියල්ලන්ද එළුවන් අතරෙහි තිත් සහ ලප ඇති සියල්ලන්ද වෙන්කරන්නෙමි. එයාකාර එවුන් මාගේ කුලිය වන්නේය. 33 මෙසේ, නුඹ ඉදිරියෙහි තිබෙන මාගේ කුලිය සඳහා නුඹ එන කල්හි, මාගේ ධර්මිෂ්ඨකම මින් පසු මා වෙනුවට උත්තර දෙනවා ඇත. එළුවන් අතරෙහි තිත් සහ ලප නැත්තාවූද බැටළුවන් අතරෙහි කළුපාට නොවූද එකෙක්වත් මා වෙත සම්බවීනම් ඌ සොරකම් කරනලදැයි ගණන්ගත යුතුයයි කීය. 34: බලව, නුඹේ වචන ලෙස වෙතොත් කැමැත්තෙමියි කියා ලාබන් ඒ දවසේම 35 රේඛාද ලපද ඇති එළුවන් සහ තිත්ද ලපද ඇති එළුදෙනුන්ද යන යම් තැනක සුදු පාට ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද වෙන් කොට තමාගේ පුත‍්‍රයන් අතට භාරදී, 36 තමාද යාකොබ්ද අතරෙහි තුන් දවසක ගමන් ප‍්‍රමාණ දුර තැබීය. යාකොබ් ලාබන්ගේ ඉතිරි රැළවල් පෝෂණය කෙළේය. 37 යාකොබ් වනාහි ලිබ්නෝ, ලූස්, ආර්මොන් යන ගස්වලින්, අමු කෝටු රැගෙන සුදු රේඛා වශයෙන් කොටුවල සුද පෙනෙන හැටියට ඒවායේ පොතු ඇර, 38 සිව්පාවුන් බොන්ට ආ කල පොතු ඇරිය කෝටු වතුර වත් කරන ඔරුවල උන් ඉදිරිපිට තැබුවේය; සිව්පාවෝ බොන්ට ආ කල ගැබ්ගත්හ. 39 එසේ කෝටු ඉදිරියේදී ගැබ්ගෙන රේඛා සහ තිත්ද ලපද ඇතිවුන් වැදුවෝය. 40 යාකොබ් බැටළුපැටවුන් වෙන් කොට රැළවල සිව්පාවන්ගේ මුහුණු ලාබන්ගේ රැළේ රේඛා ඇති සතුන්ද කළුපාට ඇති සියල්ලන්ද දෙසට හැරෙවුවේය; තමාගේම රංචු ලාබන්ගේ රැළ අතරෙහි නොසිටුවා වෙන් කොට සිටෙවුවේය. 41 තවද රැළේ වඩා ශක්තිමත් එවුන් ගැබ්ගන්න කල උන් කෝටු ඉදිරිපිටදී ගැබ්ගන්නා පිණිස ඔහු ඒ කෝටු උන්ගේ ඇස් ඉදිරිපිට වතුර ඔරුවල තැබුවේය. 42 එහෙත් රැළ දුර්වලව සිටිය කල ඔහු ලී නොතැබුවේය. මෙසේ දුර්වල එවුන් ලාබන්ගේද ශක්තිමත් එවුන් යාකොබ්ගේද වූහ. 43 ඒ මනුෂ්‍යයා අතිශයින් වර්ධනයවුණේය, ඔහුට රැළවල්ද දාසීහුද දාසයෝද ඔටුවෝද කොටළුවෝද වූවෝය.

උත්පත්ති 31

1 යාකොබ් අපේ පියා සන්තකවූ සියල්ලම පැහැරගත්තේය; අපේ පියාට තිබුණු දෙයින් මේ සියලු සම්පත ඔහු ලබාගත්තේයයි ලාබන්ගේ පුත‍්‍රයන් කී චචන යාකොබ්ට ඇසුණේය. 2 ලාබන්ගේ මුහුණ තමා කෙරෙහි ඉස්සර වාගේ ප‍්‍රිය නැති බව යාකොබ් දුටුවේය. 3 නුඹේ පියවරුන්ගේ දේශයටද නුඹේ නෑයන් වෙතටද හැරී පලයන්න; මම නුඹ සමග සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ට කීසේක. 4 යාකොබ් රාඛෙල් සහ ලෙයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන: 5 නුඹලාගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ; එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මා සමග සිටිසේක. 6 මා විසින් මාගේ මුළු ශක්තියෙන් නුඹලාගේ පියාට මෙහෙකළ බව නුඹලා දන්නහුය. 7 නුඹලාගේ පියා මා රවටා මාගේ කුලී දස වරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක. 8 ලප ඇතිවුන් නුඹේ කුලී වන්නේයයි ඔහු කී කල, මුලු රැළ ලප ඇතිවුන් වැදුවෝය. රේඛා ඇතිවුන් නුඹේ කුලී වන්නේයයි කී කල, මුලු රැළ රේඛා ඇතිවුන් වැදූහ. 9 මෙසේ දෙවියන්වහන්සේ නුඹලාගේ පියාගේ ගවයන් අරගන මට දුන්සේක. 10 තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි. 11 එවිට දෙවියන්වහන්සේගේ දූතයා: යාකොබ් කියා හීනයෙන් මට කීසේක. මම මෙහියයි කීයෙමි. 12 උන්වහන්සේ: දැන් නුඹේ ඇස් ඔසවා බලව, සිව්පා රැළ පිට නගින සියලු එළුවෝ රේඛාද ලපද තිත්ද ඇති සත්තුය. මක්නිසාද ලාබන් නුඹට කරන සියල්ල දුටුවෙමි. 13 මම වනාහි නුඹ කණුවක් ආලේපකර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප‍්‍රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව නුඹ උපන් රටට හැරී පලයන්නැයි කීසේකැයි කීය. 14 එවිට රාඛෙල්ද ලෙයාද උත්තරදෙමින්: තවත් අපගේ පියාගේ ගෙයි අපට කොටසක්වත් උරුමයක්වත් ඇද්ද? 15 ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවා නොවේද? මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකර දැම්මේය. 16 දෙවියන්වහන්සේ අපගේ පියාගෙන් පැහැරගත් සියලු වස්තුව අපටත් අපේ දරුවන්ටත් අයිතිය. ඉතින් දෙවියන්වහන්සේ ඔබට කී සියල්ල කරන්නැයි ඔහුට කීවෝය. 17 එකල යාකොබ් නැගිට තම පුත‍්‍රයන් සහ භාර්යාවන් ඔටුවන් පිට නංවා, 18 තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබා ගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය. 19 එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම් කරගත්තාය. 20 යාකොබ් තමා පලා යන බව අරාමියවූ ලාබන්ට නොකියා ඔහුට නොදන්වා සොරෙන් ගියේය. 21: මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය; ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලා ගියේය. 22 යාකොබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබන්ට දන්වනලද්දේය. 23: එවිට ඔහු තම සහෝදරයන් කැඳවාගෙන සත් දවසක ගමන් ඔහු ලුහුබඳවා ගොස් ගිලියාද් කන්දේදී ඔහු කිට්ටු කෙළේය. 24 දෙවියන්වහන්සේ රාත‍්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: නුඹ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගනින්නැයි කීසේක. 25 ලාබන් යාකොබ් ළඟට පැමුණුණේය. යාකොබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගන තිබුණේය. ලාබන්ද තම සහෝදරයන් සමග ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවාගත්තේය. 26 ලාබන් යාකොබ්ට කථාකොට: මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන, මා වෙතින් හොරෙන් පිටත්වී ගිය එක මොන ක‍්‍රියාවක්ද? 27 මාගේ පුත‍්‍රයන්ද දුවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප‍්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා, 28 සැඟවී රහසින් පලාගියේ මක්නිසාද? නුඹ අනුවණ ලෙස ක‍්‍රියාකෙළෙහිය. 29 නුඹලාට හිංසා කරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත‍්‍රියේදී නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට-යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගනින්නැයි කීසේක. 30 ඉතින් නුඹේ පියාගේ ගෙදරට යන්ට නුඹ අතිශයින් ආශා ඇති බැවින් නුඹ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය. 31 යාකොබ් උත්තරදෙමින්: නුඹ බලාත්කාරයෙන් නුඹේ දූවරුන් මා කෙරෙන් පැහැරගන්නෙහි දෝහෝයි සිතා මා භයවූ නිසාය. 32 කවරෙකු ළඟ නුමුත් නුඹේ දේවතාවෝ සම්බවෙත්ද ඔහු ජීවත් නොවේවා. නුඹේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගනින්නැයි කීවේය. මක්නිසාද රාඛෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදත්තේය. 33 එවිට ලාබන් යාකොබ්ගේ කූඩාරමටත් ලෙයාගේ කූඩාරමටත් දාසීන් දෙදෙනාගේ කූඩාරමටත් ඇතුල්වී සෙවූ නමුත් ඒවා සම්බනූණේය. ඔහු ලෙයාගේ කූඩාරමෙන් ගොස් රාඛෙල්ගේ කූඩාරමට ඇතුල් විය. 34 රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය. 35 ඈ පියාට කථාකොට: ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මාගේ ස්වාමියා කෝපනොවේවා; මක්නිසාද ස්ත‍්‍රීන්ගේ නියමය මට සිදුවී තිබේයයි කීවාය. මෙසේ ඔහු සෙවූ නුමුත් ඒ රූප සම්බනොවීය. 36 එවිට යාකොබ් කිපී ලාබන් සමග විවාදකොට උත්තරදෙමින්: නුඹ වේගයෙන් මා පස්සේ එළවාගන ආවේ මාගේ කුමන වරදක් නිසාද? මාගේ පාපය කිමෙක්ද? 37 නුඹ මාගේ බඩු සියල්ල අතගා බැලුයෙහිය; නුඹේ ගෙයි බඩු සියල්ලෙන් නුඹට සම්බවුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද නුඹේ සහෝදරයන්ද ඉදිරියේ තබාපන්න, ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා. 38 දැනට විසි අවුරුද්දක් නුඹ සමග සිටියෙමි; නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගස්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි. 39 වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් නුඹ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත‍්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් නුඹ මා අතින් අය කෙළෙහිය. 40 දවාලේ රස්නයෙන්ද රාත‍්‍රියේ ශීතලෙන්ද ක්ෂයවීමි; මාගේ ඇස්වලින් මාගේ නින්ද පහව ගියේය. 41 මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය. 42 ආබ‍්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමග නොසිටිසේක්නම් සැබවින් නුඹ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව හා මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත‍්‍රියේ නුඹට තරවටුකළසේකැයි ලාබන්ට කීය 43 ලාබන් උත්තරදෙමින්: දූවරු මාගේ දුවරුය, දරුවෝ මාගේ දරුවෝය, රැළවල් මාගේ රැළවල්ය, නුඹට පෙනෙන මේ සියල්ල මාගේය. මේ මාගේ දුවරුන්ට හෝ ඔවුන්ට වැදු දරුවන්ට හෝ අද කුමක් කළහැකි වෙම්ද? 44 ඉතින් දැන් වරෙන්න, මමත් නුඹත් ගිවිසුමක් කරගනිමු; ඒක මා සහ නුඹ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය. 45: යාකොබ් ගලක් රැගෙන කණුවක් කොට සිටුවා: 46 ගල් රැස්කරපල්ලායයි තමන් සහෝදරයන්ට කීය; ඔව්හු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔව්හු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය. 47 ලාබන් ඊට ඉගර්-සාහදූතා*(අරමේයික්-සාක්ෂි ගොඩ) යන නම තැබුවේය. එහෙත් යාකොබ් ඊට ගල්යේද්*(හෙබ්‍රෙව්-සාක්ෂි ගොඩ) යන නම තැබුවේය. 48 අද මේ ගොඩ මා සහ නුඹ අතරේ සාක්ෂියක්යයි ලාබන් කීවේය. එහෙයින් ඊට ගල්යේද් යන නම තබන ලද්දේය. 49 තවද එයට මිශ්පා *(මුරකොටුව) යයිද කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේ බලාඉන්නසේක්වා. 50 ඉඳින් නුඹ මාගේ දූවරුන්ට පීඩා කළොත්, මාගේ දුවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමග නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ නුඹ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය. 51 තවද ලාබන්: මා සහ නුඹ අතරේ මා සිටෙවු මේ ගොඩත් මේ කණුවත් බලාපන්න. 52 නපුරක් කරන පිණිස මා මේ ගොඩ පසුකර නුඹ වෙතට නේන බවටත් නුඹ මේ ගොඩ සහ මේ කණුව පසුකර මා වෙතට නේන බවටත් මේ ගොඩ සාක්ෂි වේවා, මේ කණුවද සාක්ෂි වේවා. 53 ආබ‍්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය. 54 ආබ‍්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය. 55 ලාබන් අලුයම නැගිට තම පුත‍්‍රයන්ද දුවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.

උත්පත්ති 32

1 යාකොබ් තමාගේ ගමන යන්ට ගියේය, දෙවියන්වහන්සේගේ දූතයෝ ඔහුට සම්බවුණෝය. 2 යාකොබ් ඔවුන් දුටු විට: මේ දෙවියන්වහන්සේගේ සේනාවය කියා ඒ ස්ථානයට මහනායිම්*(සේනා දෙක) යන නම තැබීය. 3 තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය. 4 ඔහු ඔවුන්ට අණකරමින්: නුඹලා මාගේ ස්වාමිවූ ඒසව්ට කථාකොට: ඔබගේ මෙහෙකරුවූ යාකොබ් මෙසේ කියන්නේය-මම ලාබන් වෙත මේ දක්වා නැවතී සිටියෙමි. 5 මට ගවයෝද කොටළුවෝද රැළවල්ද දාස දාසීහුද සිටිති. ඔබගෙන් කරුණාව ලැබෙන පිණිස මාගේ ස්වාමියාට දන්වන්ට එවීමියි කියාපල්ලායයි කීවේය. 6 පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමග ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය. 7 එවිට යාකොබ් අතිශයින්ම භයපත්ව කැලඹුණේය. ඔහු තමා කැටුව සිටි මිනිසුන්ද බැටළුවන්ද ගවයින්ද ඔටුවන්ද කණ්ඩායම් දෙකකට බෙදා: 8 ඒසව් අවුත් එක් කණ්ඩායමකට පහර දෙන්නේනම් ඉතිරි කණ්ඩායමට ගැළවෙන්ට පුළුවනැයි කීවේය. 9 තවද යාකොබ්: මාගේ පියා වන ආබ‍්‍රහම්ගේ දෙවියන්වහන්ස, මාගේ පියා වන ඊසාක්ගේ දෙවියන්වහන්ස, නුඹේ රටටත් නුඹේ නෑයන් වෙතටත් හැරී පලයන්න, මම නුඹට යහපත කරන්නෙමියි මට වදාළාවූ ස්වාමීන්වහන්ස, 10 ඔබගේ මෙහෙකරුවාට ඔබ දැක්වූ සියලු කරුණාවලින් ඉතා සුළු එකක්වත් ඔබගේ මුළු විශ්වාසකමවත් ලැබීමට නොවටිමි; මක්නිසාද මම මාගේ සැරයටිය පමණක් රැගෙන මේ යොර්දානෙන් මෙතර වුණෙමි; දැනුදු කණ්ඩායම් දෙකක්ව සිටිමි. 11 මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් මවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි. 12 ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය. 13 ඔහු ඒ රාත‍්‍රියේ එහි නැවතී සිට තමාගේ සහෝදරවූ ඒසව්ට තෑග්ගක් පිණිස තමාට තිබුණු දෙයින් 14 එළුදෙනුන් දෙසියයක් සහ එළුවන් විසිදෙනෙක්ද බැටළුදෙනුන් දෙසියයක් සහ බැටළුවන් විසිදෙනෙක්ද, 15 කිරිදෙන ඔටුදෙනුන් තිස්දෙනෙක් සහ උන්ගේ පැටියන්ද එළදෙනුන් සතලිස් දෙනෙක් සහ ගොන් දස දෙනෙක්ද කොටළුදෙනුන් විසිදෙනෙක් සහ පැටවුන් දස දෙනෙක්ද රැගෙන 16 තමාගේ වැඩකාරයන් අතට ඒ ඒ රංචු වෙන් වශයෙන් භාරදී: නුඹලා රංචුවෙන් රංචුව ඈත්කර මට පෙරටුව එතරට පලයල්ලායයි තමාගේ වැඩකාරයන්ට කීවේය. 17 තවද ඔහු ප‍්‍රථමයාට අණකරමින්: මාගේ සහෝදරවූ ඒසව් නුඹට සම්බව-නුඹ කාගේද? කොතැනට යන්නෙහිද? නුඹට ඉස්සරින් යන මුන් කාට අයිතිදැයි නුඹෙන් අසන කල: 18 උන් ඔබගේ මෙහෙකරුවූ යාකොබ්ගේය; උන් මාගේ ස්වාමිවූ ඒසව්ට එවන ලද තෑග්ගක්ය. ඔහුද අප පස්සෙන් එන්නේයයි කියාපන්නැයි කීවේය. 19 ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර-ඔබගේ මෙහෙකරුවූ 20 යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියාපල්ලායයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය. 21 මෙසේ ඒ තෑග්ග ඔහුට පෙරටුව ගියේය. ඔහු වනාහි ඒ රාත‍්‍රියේ අන්දායමෙහි නැවතුණේය. 22 ඔහු ඒ රාත‍්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත‍්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපළෙන් එගොඩ වුණේය. 23 ඔහු ඔවුන් කැඳවාගෙන ගොස් ඔයෙන් එතර යැවුවේය, ඔහුට තිබුණු දේත් එතර යැවුවේය, 24 යාකොබ් හුදකලාව සිටියේය; එවිට මනුෂ්‍යයෙක් පහන්වෙන තුරු ඔහු සමග පොරබැදුවේය. 25 ඒ තැනන්වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කළවා සන්ධියට ගැසූසේක; යාකොබ්ගේ කළවා සන්ධියද උන්වහන්සේ සමග පොර බදද්දී ඇදීගියේය. 26 උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හැරපන්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය. 27 නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. යාකොබ්යයි ඔහු කීය. 28: නුඹ දෙවියන්වහන්සේ සමගත් මනුෂ්‍යයන් සමගත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ‍්‍රායෙල්*(දෙවියන්වහන්සේ සමග පොර බදන්නා) වන්නේයයි උන්වහන්සේ කීසේක. 29 යාකොබ්ද: ඔබගේ නාමය මට කිව මැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක. 30 යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්*(දෙවියන්වහන්සේගෙ‍් මුහුණ) යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප‍්‍රාණය ඉතුරුවියයි ඔහු කීවේය. 31 ඔහු පෙනූයේල් පසුකර යන කල්හි ඉර උදාවිය, ඔහු තමාගේ කළවයේ රිදුම නිසා කොරගසමින් ගියේය. 32 උන්වහන්සේ යාකොබ්ගේ කළවා සන්ධියේ නහරයට ගැසූ බැවින් ඉ‍ශ‍්‍රායෙල් පුත‍්‍රයෝ අද දක්වා කළවා සන්ධිය පිට තිබෙන නහරය නොකති.

උත්පත්ති 33

උත්පත්ති 34

උත්පත්ති 35

උත්පත්ති 36

උත්පත්ති 37

උත්පත්ති 38

උත්පත්ති 39

උත්පත්ති 40

උත්පත්ති 41

උත්පත්ති 42

උත්පත්ති 43

උත්පත්ති 44

උත්පත්ති 45

උත්පත්ති 46

උත්පත්ති 47

උත්පත්ති 48

උත්පත්ති 49

උත්පත්ති 50

නික්මයාම 1

ලෙවී කථාව 1

ගණන් කථාව 1

ද්වීතීය කථාව 1

යෝෂුවා 1

විනිශ්චයකාරයන්ගේ පොත 1

රූත්ගේ කථාව 1

1 සාමුවෙල් 1

2 සාමුවෙල් 1

1 රාජාවලිය 1

2 රාජාවලිය 1

1 ලේකම් 1

2 ලේකම් 1

එස්රා 1

නෙහෙමියා 1

එස්තර් 1

යෝබ් 1

ගීතාවලිය 1

හිතෝපදේශ 1

දේශනාකාරයා 1

සාලමොන්ගේ ගීතිකාව 1

යෙසායා 1

යෙරෙමියා 1

විලාප ගී 1

එසකියෙල් 1

දානියෙල් 1

හොෂෙයා 1

යෝවෙල් 1

ආමොස් 1

ඔබදියා 1

යෝනා 1

මීකා 1

නාහුම් 1

හබක්කුක් 1

ශෙපනියා 1

හග්ගයි 1

සෙකරියා 1

මලාකී 1

The New Testament of our Lord and Saviour Jesus Christ

මතෙව් 1

මාර්ක් 1

ලූක් 1

යොහන් 1

ක්‍රියා 1

රෝම 1

1 කොරින්ති 1

2 කොරින්ති 1

ගලාති 1

1 මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොට ගෙනවත් නොව, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවූ පියවූ දෙවියන්වහන්සේ කරණකොට ගෙන පේ‍්‍රරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද, 2 මා සමග සිටින සියලු සහෝදරයන් විසින්ද ගලාතියේ සභා වලට ලියා එවන වග නම්: 3 පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. 4 උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවා දුන්සේක. 5 උන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ගෞරවය වේවා. අමෙන්. 6 ක‍්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොට ගෙන නුඹලා කැඳවූ තැනන්වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය සුභාරංචියකට හැරී යනවාට මවිත වෙමි. 7 සමහරු නුඹලා කලඹා, ක‍්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය පෙරළන්ට කැමතිවනවා මිස, ඒක වෙන සුභාරංචියක් නොවේ. 8 නුමුත් අප විසින් නුඹලාට ප‍්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදුතයෙක්වත් නුඹලාට ප‍්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. 9 නුඹලා පිළිගත් සුභාරංචිය හැර වෙන සුභාරංචියක් යමෙක් නුඹලාට දේශනා කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවයි අප වරක් කී හැටියට මම දැන් නැවතත් කියමි. 10 ඉතින් මා විසින් සතුටුකරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නැතහොත් දෙවියන්වහන්සේද? නැතහොත් මා මනුෂ්‍යයන් ප‍්‍රසන්න කරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප‍්‍රසන්න කරම් නම් ක‍්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි. 11 ඉතින් සහෝදරයෙනි, මා දේශනා කළාවූ සුභාරංචිය වනාහි මනුෂ්‍ය ප‍්‍රකාරවූ එකක් නොවන බව නුඹලාට දන්වමි. 12 මක්නිසාද යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමෙන් මිස මා එය මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත. 13 මක්නිසාද මා පසුගිය කාලයේ යුදෙව්වරුන්ගේ ආගමෙහි හැසුරුණු අන්දම, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අප‍්‍රමාණ ලෙස පීඩා කොට එය නාස්ති කළ හැටි, නුඹලා ඇසුවහුය. 14 මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රට වැසියන් අතරේ මාගේ වයසේ බොහෝ දෙනෙකුට වඩා යුදෙව් වරුන්ගේ ආගමේ වර්ධනය වුණෙමි. 15 නුමුත් මවු කුස පටන් මා වෙන්කළාවූද තමන්ගේ කරුණාව කරණකොට ගෙන මා කැඳෙවුවාවූද දෙවියන්වහන්සේ තමන්ගේ පුත‍්‍රයාණන්වහන්සේ ගැන අන්‍ය ජාතීන් අතරේ මා විසින් දේශනා කරන පිණිස, 16 උන්වහන්සේ මා තුළෙහි ප‍්‍රකාශ කරන්ට කැමතිවූ කෙණෙහිම, මාංසය හා රුධිරය සමග මන්ත‍්‍රණය නොකොට, 17 මට පළමුවෙන් පේ‍්‍රරිතව සිටියවුන් ළඟට යෙරුසලමට නොගොස්, අරාබියට පිටත්ව ගොස්, නැවත දමස්කයට හැරී ආවෙමි. 18 තවද තුන් අවුරුද්දකට පසු කේපස් දකින පිණිස යෙරුසලමට ගොස්, ඔහු සමග පසළොස් දවසක් නැවතී සිටියෙමි. 19 නුමුත් ස්වාමීන්වහන්සේගේ සහෝදරයා වන යාකොබ් හැර අනික් පේ‍්‍රරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටිමි. 20 මා නුඹලාට ලියා එවන මේ කාරණ සම්බන්ධව මා බොරු නොකියන බව, මෙන්න, දෙවියන්වහන්සේ ඉදිරිපිට කියා සිටිමි. 21 පසුව සිරිය, කිලිකිය යන පළාත් වලට ආවෙමි. 22 ක‍්‍රිස්තුස්වහන්සේ තුළවූ යුදයේ සභාවෝ ඒ තාක්ම මාගේ මුහුණ දැක ඇඳින ගෙන නොසිටියෝය. 23 වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්ති කළාවූ ඇදහිල්ල දැන් දේශනා කරන්නේය යන ප‍්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය. 24 ඔව්හු මා ගැන දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කළෝය.

ගලාති 2

1 තවද දස සතර අවුරුද්දකට පසු තීතස්ද මා කැටුව ගෙන බර්ණබස් සමග යෙරුසලමට නැවත ගියෙමි. 2 එහි ගියේ එළිදරව් වීමක් නිසාය. එහි ගොස් මම අන්‍ය ජාතීන් අතරෙහි ප‍්‍රකාශ කරන සුභාරංචිය ඔවුන් ඉදිරියෙහි තැබූවෙමි. නුමුත් මා දුවන්නාවූ නොහොත් දිවුවාවූ දිවීම යම් හෙයකින් නිෂ්ඵල නොවන පිණිස, ප‍්‍රධාන තැනැත්තන්ට එය දැන්නුවේ රහසින්ය. 3 එහෙත් මා සමග සිටියාවූ ග‍්‍රීකයෙක් වන තීතස්ට නුමුත් රහසින් ඇතුල් වුණ බොරු සහෝදරයන් නිසාවත් චර්මජේද්‍ය ලබන්ට බල කළේ නැත. 4 ඔව්හු ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට ඇත්තාවූ නිදහස් කම ගැන ඔත්තු බලා, අප වහල් කමට පමුණුවනු පිණිස රහසින් ඇතුල්වුණෝය. 5 ශුභාරංචියේ සත්‍යතාව නුඹලා අතරේ නොකඩවා පවතින පිණිස, යටත්වීමෙන් අප පැයකටවත් ඔවුන්ට ඉඩ නොදුනිමුව. 6 නුමුත් ප‍්‍රධානයන්ය කියා සිතන තැනැත්තන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත. (ඔවුන් කොහොම අයවල්ව සිටියත් මට කමක් නැත, දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ තරාතිරම නොබලන සේක.) එසේය, ඒ ප‍්‍රධානයන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත. 7 නුමුත් අනික් අතට පේත‍්‍රැස්ට චර්මජේද්‍යයේ සුභාරංචිය භාර දී තිබෙන්නාක් මෙන් මට අචර්මජේද්‍යයේ සුභාරංචිය තිබෙන බව ඔව්හු දුටුවෝය. 8 (මක්නිසාද චර්මජේද්‍යයේ පේ‍්‍රරිත කමට පේත‍්‍රැස් තුළෙහි ක‍්‍රියා කළාවූ තැනන්වහන්සේම අන්‍ය ජාතීන් උදෙසා මාතුළ ක‍්‍රියා කළ සේක.) 9 එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද, කේපස්ද, යොහාන්ද මට දෙන ලද අනුග‍්‍රහය දැනගත් කල, මටද බර්ණබස්ටද පංගුකාර කමේ දකුණත දුන්නෝය එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මජේදිතයන් වෙතටද යන පිණිසය. 10 අප විසින් දිළිඳුන් සිහිකරන ලෙස ඔවුන් ඉල්ලුවා පමණක්ය. එමදේ කරන්ට මමද ආශාවෙන් සිටියෙමි. 11 තවද කේපස් අන්තියෝකියට ආ කල ඔහු වරද කරලා සිටි බැවින් ඔහු ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව සිටියෙමි. 12 මක්නිසාද යාකොබ් වෙතින් සමහරුන් එන්ට පළමුවෙන් ඔහු අන්‍යජාතීන් සමග කෑවේය. නුමුත් ඔවුන් ආකල ඔහු චර්මජේද්‍ය වූවන්ට භයව පසු බැස වෙන්ව සිටියේය. 13 අනෙක් යුදෙව් වරුද ඔහු සමග වංක කම් කළෝය. එසේය, බර්ණබස් පවා ඔවුන්ගේ වංක කමට ඇදී ගියේය. 14 නුමුත් මම වනාහි ඔවුන් සුභාරංචියේ සැබෑවේ හැටියට ඇද නැති කමින් නොහැසුරුණු බව දැක, සියල්ලන් ඉදිරියෙහි කේපස්ට කතා කරමින්: නුඹ යුදෙව්වෙක්ව සිට යුදෙව් වරුන් ලෙස නොව අන්‍යජාතීන් ලෙස හැසිරෙනවා නම්, අන්‍ය ජාතීන්ට යුදෙව් වරුන් ලෙස හැසිරෙන්ට බල කරන්නේ කෙසේදැයි කීමි. 15 තවද අන්‍යජාතී පව්කාරයන් නොව ස්වභාවයෙන් යුදෙව් වරුන් වන අපි, 16 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන මිස ව්‍යවස්ථාවේ ක‍්‍රියා කරණකොට ගෙන මනුෂ්‍යයන් ධර්මිෂ්ඨ කරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක‍්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨ කරනු නොලබයි. 17 නුමුත් ක‍්‍රිස්තුස්වහන්සේ තුල ධර්මිෂ්ඨ කරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව් කාරයෝව පෙනෙමු නම්, ක‍්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක්ද? එසේ නොවේවා. 18 මක්නිසාද මා විසින් කඩා බිඳ දමන දේවල්ම මම නැවත ගොඩ නගන්නේ නම්, මා වරදකාරයෙකු බව මමම ඔප්පු කරමි. 19 ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වෙන පිණිස ව්‍යවස්ථාව කරණකොට ගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි. 20 මම ක‍්‍රිස්තුස්වහන්සේ සමග ඇණ ගසනු ලැබ සිටිමි, එසේ වී නුමුත් මම ජීවත් වෙමි, නුමුත් තවත් මා නොව ක‍්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත් වෙන ජීවිතය මට පේ‍්‍රම කළාවූ මා උදෙසා තමන්ම පාවා දුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. 21 දෙවියන්වහන්සේගේ කරුණාව නිෂ්ඵල නොකරමි. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරණකොට ගෙන වේ නම් ක‍්‍රිස්තුස්වහන්සේ නිකරුණේ මළ සේක.

ගලාති 3

1 අහෝ අඥාන ගලාති වරුනි කුරුසියෙහි ඇණ ගසන ලද යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප‍්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලූවේ කවුද? 2 නුඹලාගෙන් මේක පමණක් දැන ගන්ට කැමැත්තෙමි: එනම් නුඹලා ආත්මයාණන්වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක‍්‍රියා කරණකොට ගෙනද? නැතහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොට ගෙනද? නුඹලා මෙපමණ අඥානද? 3 ආත්මයාණන් තුළ පටන් ගත් නුඹලා දැන් මාංසයෙහි සම්පූර්ණව සිටිහුද? 4 නුඹලා එපමණ දේ නිෂ්ඵල ලෙස වින්දහුද? ඇත්තටම එය නිෂ්ඵලද? 5 ඉඳින් නුඹලාට ආත්මයාණන්වහන්සේ දෙන්නාවූ, නුඹලා අතරේ ආශ්චර්යයන් කරන්නාවූ තැනන්වහන්සේ එසේ කරන්නේ ව්‍යවස්ථාවේ ක‍්‍රියා වලින්ද? නැතහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොට ගෙනද? 6 මෙසේ ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේය. එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබුවේය. 7 එබැවින් ඇදහිල්ලෙහි පිහිටෙන්නෝම ආබ්‍රහම්ගේ පුත‍්‍රයන් බව දැනගනිල්ලා. 8 තවද දෙවියන්වහන්සේ ඇදහිල්ල කරණකොට ගෙන අන්‍යජාතීන් ධර්මිෂ්ඨ කරන බව ලියවිල්ල කල් මත්තෙන් දැක: නුඹලා තුළ සියලු ජාතීහු ආශිර්වාද ලබන්නෝය කියා සුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප‍්‍රකාශ කළේය. 9 මෙසේ ඇදහිල්ලෙහි පිහිටන්නෝ ඇදහිලිවන්තවූ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. 10 මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක‍්‍රියාවල පිහිටන්නෝද එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද: ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාප ලද්දෝ යයි ලියා තිබේ. 11 ඉදින් ව්‍යවස්ථාව කරණකොට ගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොට ගෙන ජීවත්වන්නේය. 12 ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ, නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත් වන්නේය. 13 ගසක එල්ලෙන සියල්ලෝ ශාප ලද්දෝ යයි ලියා තිබෙන ලෙස, ක‍්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක් වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත් සේක. 14 මෙසේ කළේ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොට ගෙන අප විසින් ආත්මයාණන් වහන්සේ නැමති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය. 15 සහෝදරයෙනි, මම මනුෂ්‍යාකාරයෙන් කතා කරමි. මනුෂ්‍යයෙකුගේ ගිවිසුම් පත‍්‍රයක් වුවත් ස්ථිරවී නම්, කිසිවෙක් එය අවලංගු කරන්නේ වත් ඊට කිසිවක් එකතු කරන්නේ වත් නැත. 16 ඉතින් පොරොන්දු දෙන ලද්දේ ආබ‍්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝ දෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයට යයි උන්වහන්සේ කියන සේක. ඒ වංශය නම් ක‍්‍රිස්තුස්වහන්සේය. 17 ඉදින් මා කියන්නේ නම්: දෙවියන්වහන්සේ විසින් කලින් ස්ථිර කරන ලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව්‍යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵල වන ලෙස, අවලංගු කරන්ට නුපුළුවන් බවය. 18 මක්නිසාද උරුමය ව්‍යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවෙන් නොවේ. 19 එසේවී නම් ව්‍යවස්ථාව කිමෙක්ද? ඒක වනාහි පොරොන්දුව ලැබූ දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියම කරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතු කරවන ලද්දේය. 20 තවද මැදහත් කාරයෙක් සිටින්නේ එක්කෙනෙකු පිළිබඳ නොවේය, නුමුත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ය. 21 එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දු වලට විරුද්ධද? එසේ නොවේවා මක්නිසාද ජීවත් කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනු ඇත. 22 එසේවී නම් අදහන්නාට යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන්වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපයට වසා තැබුවේය. 23 මුත් එළිදරව් වෙන්ට තිබුණු ඇදහීම පිණිස, ඒ ඇදහීම පැමිණෙන්ට පළමුවෙන්, අපි හිරඅඩස්සිවී ව්‍යවස්ථාව යටතේ ආරක්ෂා කරනු ලැබුවෙමුව. 24 මෙසේ අපි ඇදහිල්ල කරණකොට ගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක‍්‍රිස්තුස්වහන්සේ ලඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ. 25 නුමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් ගුරුවරයෙකු යටතේ නොවමුව. 26 මක්නිසාද නුඹලා සියල්ලෝම ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොට ගෙන දෙවියන්වහන්සේගේ පුත‍්‍රයෝය. 27 මක්නිසාද නුඹලාගෙන් ක‍්‍රිස්තුස්වහන්සේ තුළට බෞතීස්ම කරනු ලැබූ සියල්ලෝ ක‍්‍රිස්තුස්වහන්සේ පැළඳ ගත්තෝය. 28 නුඹලා සියල්ලන් ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග‍්‍රීකයෙක් නැත්තේය. දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත‍්‍රියෙක් නැත්තාහ. 29 ඉදින් නුඹලා ක‍්‍රිස්තුස් වහන්සේගේ නම්, නුඹලා අබ‍්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.

ගලාති 4

1 උරුමක්කාරයා සියල්ලටම ස්වාමියා නුමුත්, ඔහු බාලයෙක්ව සිටිනතුරු දාසයෙකුට වඩා වෙනසක් නැතුව, 2 පියා විසින් නියම කළ කාලය දක්වා, ප‍්‍රවේශම් කරන්නන් හා ගබඩා කාරයන් යටතේ සිටින්නේ යයි කියමි. 3 එසේම අපිත් බාලයන්ව සිටියදී, ලෝකයේ ගුරුකම් යටතේ දාසව සිටියෙමුව. 4 නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත‍්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත‍්‍රයාණන්වහන්සේ එවූ සේක. 5 එසේ කළේ අප විසින්ම පුත‍්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහිවූවන් මුදා ගැනීමටය. 6 තවද නුඹලා පුත‍්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනි, කියා හඬ ගසන්නාවූ තමන් පුත‍්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත් වලට එවූ සේක. 7 මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත‍්‍රයෙක්ය, පුත‍්‍රයෙක් නම් දෙවියන්වහන්සේ කරණකොට ගෙන උරුමක්කාරයෙක්ය. 8 එසේ වී නුමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවයෙන් දෙවිවරු නොවන්නන්ට වහල්ව සිටියහුය. 9 මුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳින ගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම් වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද? 10 නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය. 11 සමහරවිට නුඹලා උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වේදෝ කියා නුඹලා ගැන භය වෙමි. 12 සහෝදරයෙනි, මා නුඹලා මෙන් සිටින බැවින්, නුඹලාත් මාලෙස සිටින මෙන් නුඹලාගෙන් ඉල්ලමි. නුඹලා මට කිසි වැරැද්දක් කළේ නැත. 13 මාංසයේ දුර්වල කමක් නිසා පළමුකොට මා නුඹලාට සුභාරංචිය ප‍්‍රකාශ කළ හැටි නුඹලා දන්නහුය. 14 මාගේ මාංසය සම්බන්ධයෙන් නුඹලාට පරීක්ෂාවක්ව තිබුණු දේ නුඹලා සුළු කළේවත් එපා කළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දුතයෙකු මෙන්ද, එසේය, ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නහුය. 15 එසේවී නම් නුඹලාට තිබුණු ඒ ප‍්‍රීතිය කොයිද? මක්නිසාද පුළුවන් නම් නුඹලාගේ ඇස් උගුලා මට දෙන්ට පවා නුඹලා කැමතිව සිටිය බව නුඹලා ගැන සාක්ෂි දෙමි. 16 එසේවී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිම්ද? 17 ඔවුන් නුඹලා ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට නුඹලා ඔවුන් ගැන ජ්වලිත වන පිණිස නුඹලා අපෙන් වෙන් කරගන්ට ඔව්හු ආශා වෙති. 18 නුමුත් මා නුඹලා ලඟ සිටින කල පමණක් නොව නිතරම, යහපත් කාරණයකදී ජ්වලිත ලෙස සොයනු ලැබීම යහපත. 19 මාගේ දරුවෙනි, ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප‍්‍රසව වේදනා විඳිමි. 20 එසේය, පුළුවන් නම් දැන් නුඹලා ලඟ සිටින්ටද වෙන ආකාරයකින් කතා කරන්ටද කැමැත්තෙමි, මක්නිසාද නුඹලා ගැන වියවුල්ව සිටිමි. 21 ව්‍යවස්ථව යටතෙහි සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියාපල්ලා. 22 මක්නිසාද ආබ‍්‍රහම්ට පුත‍්‍රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය. 23 නුමුත් දාසියගේ පුත‍්‍රයා මාංසික ලෙසද නිර්දාසියගේ පුත‍්‍රයා පොරොන්දුව කරණකොට ගෙනද උපන්නේ යයි ලියා තිබේ. 24 මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත‍්‍රීහු ගිවිසුම් දෙකක්ය, සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාස කමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය. 25 මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාල වේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමග දාස කමෙහි සිටින්නීය. 26 නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය. 27 මක්නිසාද: දරුවන් නොවදන වඳ තැනැත්තිය, ප‍්‍රීතිවෙව, වදන වේදනා නොවිඳින තැනැත්තිය, ශබ්ද නගා මොරගසව. මක්නිසාද පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත් හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝ යයි ලියා තිබේ. 28 ඉදින් සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය. 29 නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොට ගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩා කලා සේම දැනුත් වන්නේය. 30 එසේවී නුමුත් ලියවිල්ලේ කුමක් කියා තිබේද? දාසිය සහ ඇගේ පුත‍්‍රයාත් පිටත දමාපන්න. මක්නිසාද දාසියගේ පුත‍්‍රයාට නිර්දාසියගේ පුත‍්‍රයා සමග උරුමය නොලැබෙන්නේය යනුයි. 31 එබැවින්, සහෝදරයෙනි, අපි දාසියෙකුගේ නොව නිර්දාසියෙකුගේ දරුවෝය.

ගලාති 5

1 ක‍්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස් කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටපල්ලා. 2 ඉදින් නුඹලා චර්මජේද්‍ය ලබන්නහු නම්, ක‍්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප‍්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි. 3 එසේය, චර්මජේද්‍ය ලබන සැමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණය කාරයෝව සිටින්නෝ යයි නැවත සාක්ෂි දෙමි. 4 ව්‍යවස්ථාව කරණ කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන්ට සතුටුවූ නුඹලා ක‍්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනලද්දහුය. නුඹලා අනුග‍්‍රහයෙන් වැටී සිටින්නහුය. 5 මක්නිසාද අපි ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමේ බලා පොරොත්තුව ගැන බලා සිටිමුව. 6 මක්නිසාද යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ පේ‍්‍රමය කරණ කොට ගෙන ක‍්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මජේද්‍යයෙන්වත් අචර්මජේද්‍යයෙන්වත් ප‍්‍රයෝජනයක් නැත. 7 නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධා කළේ කවුද? 8 ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය. 9 මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය. 10 නුඹලා වෙන කල්පනාවකින් යුක්තව සිටින්නේ නැත කියා ස්වාමීන්වහන්සේ තුළ මම නුඹලා ගැන විශ්වාස කරමි. නුමුත් නුඹලාව වියවුල් කරන තැනැත්තේ කවරෙක් නුමුත් ඔහු තමාගේ දඬුවම විඳිනවා ඇත. 11 නුමුත් සහෝදරයෙනි, මම තවම චර්මජේද්‍ය ප‍්‍රකාශ කරම් නම් මක්නිසා තවම පීඩා කරනු ලබම්ද? එසේවී නම් කුරුසියේ බාධාව පහ කරන ලද්දේය. 12 නුඹලාව වියවුල් කරන්නෝ තමුන්ම සිඳගන්නෝ නම් කැමැත්තෙමි. 13 මක්නිසාද සහෝදරයෙනි, නුඹලා නිදහස් කමට කැඳවනු ලැබුවහුය, එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප‍්‍රස්ථාවක් කොට ව්‍යවහාර නොකොට, පේ‍්‍රමයෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙයල්ලා. 14 මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට පේ‍්‍රම කරපන්න. යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ. 15 නුමුත් නුඹලා එකිනෙකා විකා කන්නහු නම්, නුඹලා එක්නෙකාගෙන් විනාශ නොවන හැටියට බලා ගනිල්ලා. 16 නුමුත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරියල්ලා, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතැයි කියමි. 17 මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශා කරයි. නුඹලා කැමති වන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධ වෙති. 18 නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙන යනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය. 19 ඉදින් මාංසයේ ක‍්‍රියා ප‍්‍රකාශව තිබේ, එනම් වේශ්‍යා කම, 20 අපවිත‍්‍රකම, සල්ලාලකම, රූපවැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, 21 වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා, සහ වෙනත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප‍්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි. 22 නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-පේ‍්‍රමය, ප‍්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, 23 විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක‍්‍රියා කිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. 24 තවද ක‍්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමග කුරුසියෙහි ඇණ ගැසුවෝය. 25 අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු. 26 නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.

ගලාති 6

1 සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුනත්, ආත්මිකවූ නුඹලා මෘදු කමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවා ගනිල්ලා. නුමුත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලා ගනින්න. 2 එකිනෙකාගේ බර උසුලා, එසේ ක‍්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පුර්ණ කරපල්ලා. 3 මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙකු යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටා ගනියි. 4 නුමුත් එකිනෙකා තමතමාගේ වැඩය සෝදිසි කෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ. 5 මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය. 6 වාක්‍ය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. 7 නොරැවටෙල්ලා, දෙවියන්වහන්සේට සරදම් කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරනදේම කපාගන්නේය. 8 ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපා ගන්නේය, ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන් වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. 9 තවද යහපත් කිරීමට මැළි නොවෙමු, මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපා ගන්නෙමුව. 10 එබැවින් අපට ප‍්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ටම, ප‍්‍රධාන කොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම් කරමු. 11 කොපමණ ලොකු අකුරු වලින් මාගේ අතින් නුඹලාට ලිවීම්දැයි බලාපල්ලා. 12 මාංසාකාරයෙන් උතුම්ව පෙනෙන්ට කැමති සියල්ලෝ චර්මජේද්‍ය ලබන්ට නුඹලාට බල කරති. එසේ කරන්නේ ක‍්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන පීඩා නොලබන පිණිස පමණක්ය. 13 මක්නිසාද චර්මජේද්‍ය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපවත්වති, නුමුත් නුඹලාගේ මාංසය ගැන ඔවුන් පාරට්ටු කරන පිණිස නුඹලා චර්මජේද්‍ය කරවා ගන්ට කැමති වෙති. 14 නුමුත් අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටු කර ගන්ට මට නම් සිද්ධ නොවේවා, ඒ කරණකොට ගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසියෙහි ඇණ ගසනු ලද්දේවිය. 15 මක්නිසාද අලුත් මැවිල්ල මිස, චර්මජේද්‍යවත් අචර්මජේද්‍යවත් කිසිවක් නොවේ. 16 තවද යම් පමණ දෙනෙක් මේ විධිය ප‍්‍රකාර හැසිරෙන්නෝද, ඔවුන්ට, දෙවියන්වහන්සේගේ ඉශ‍්‍රායෙල්ට, සමාදානයත් දයාවත් වේවා. 17 මින් මතු කිසිවෙක් මට කරදර නොකෙරේවා. මක්නිසාද මම යේසුස්වහන්සේගේ නිවරණ මාගේ ශරීරයෙහි දරමි. 18 සහෝදරයෙනි, අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මයන් සමග වේවා. ආමෙන්.

එපීස 1

1 දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොට ගෙන ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ පේ‍්‍රරිතයෙක්ව සිටින පාවුල්, එපීසයෙහි සිටින ශුද්ධ වන්තයන්ව, ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වග නම්: 2 අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. 3 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප‍්‍රසංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට පේ‍්‍රමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස. 4 ලෝකය මැවීමට ප‍්‍රථමයෙන් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අප තෝරා ගත් ලෙසම, උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථාන වල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළ සේක. 5 උන්වහන්සේ විසින් පේ‍්‍රමවන්තයාණන් තුළ අපට නොමිලේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප‍්‍රසංසාව සඳහා 6 තමන්වහන්සේගේ කැමැත්තේ ප‍්‍රසන්න කමේ හැටියට යේසුස්ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන පුත‍්‍රයන් වීමට අප පෙර නියම කළ සේක. 7 ඒ පේ‍්‍රමවන්තයාණන් වනහන්සේ තුළ උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප‍්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොට ගෙන අපේ මිදීම වන අපේ වරද වලට කමාව අපට ඇත්තේය. 8 ඒ කරුණාව සියලු ප‍්‍රඥාව හා නුවණැති කමින් අප කෙරෙහි බොහෝ වන්ට සැලැස්සූ සේක. 9 එසේ කළේ කාල වල සම්පූර්ණ කමේ නියමය ලෙස ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක‍්‍රිස්තුස්වහන්සේ තුළ එක් රාශි කරන්ට, 10 තමන් වහන්සේ තුළ අදහස් කළ තමන්ගේ ප‍්‍රසන්න කමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වා දීමෙන්ය. 11 එසේය, තමන්ගේ කැමැත්තේ මණ්ත‍්‍රණය හැටියට සියල්ල සිද්ධ කරන්නාවූ තැනන්වහන්සේගේ නියමයේ ප‍්‍රකාරයට, අපි පෙර නියම කරනු ලැබ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ උරුමයක්වී සිටිමුව. 12 එසේවුනේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තු වුනාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප‍්‍රසංසාව සඳහා සිටින පිණිසය. 13 උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප‍්‍රසංසාවේ හැටියට දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස, 14 අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රා කරනු ලැබුවහුය. 15 මේ නිසා මමත් ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ නුඹලා අතරේ ඇත්තාවූ , නුඹලා සියලු ශුද්ධවන්තයන්ට දක්වන්නාවූ ඇදහිල්ල ගැන අසා, නුඹලා මාගේ යාච්ඤා වලදී සඳහන් කරමින්, 16 නුඹලා ගැන නොකඩවා ස්තුති කරමි. 17 එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැන ගැනීමට ප‍්‍රඥාවේද එළිදව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්, 18 උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්, 19 අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය. 20 උන්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඉෂ්ට කළාවූ ස්වකීය පරාක‍්‍රමයේ ශක්තිමත් කමේ ඒ ක‍්‍රියා කිරීමේ ප‍්‍රකාරයට ක‍්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටුවා, 21 සියලු අධිපති කමටත් බලයටත් පරාක‍්‍රමයටත් ස්වාමි කමටත් මේ ලෝකයෙහි පමණක් නොව පරලෝකයෙහිත් සඳහන් කරන ලද සියලු නම් වලටත් වඩා උසස් කොට ස්වර්ගීය ස්ථාන වල තමන් දකුණු පැත්තෙහි හිඳුවා, 22 සියලු දේවල් උන්වහන්සේගේ පාද වලට යටත් කොට, සභාව උදෙසා සියල්ලට ප‍්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළ සේක. 23 ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණ කරණ තැනන්වහන්සේගේ පූර්ණ කම වන උන්වහන්සේගේ ශරීරයය.

එපීස 2

1 නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොට ගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළ සේක. 2 පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත‍්‍රයන් තුළ දැන් ක‍්‍රියා කරන්නාවූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය. 3 ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමති දේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව. 4 නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටින සේක්, අපට පේ‍්‍රම කළාවූ තමන් වහන්සේගේ මහත් පේ‍්‍රමයෙන්, 5 අපෙගේ වරද කරණකොට ගෙන අප මැරී සිටින කල්හි පවා, ක‍්‍රිස්තුස්වහන්සේ සමග අප ජීවත් කර - නුඹලා ගැළවී සිටින්නේ අනුග‍්‍රහයෙන්ය- උන්වහන්සේ සමග අප නැගිටුවා, 6 ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ස්වර්ගීය ස්ථාන වල උන්වහන්සේ සමග අප හිඳවූ සේක. 7 එසේ කළේ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග‍්‍රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නාවූ කාලවලදී පෙන්වන පිණිසය. 8 මක්නිසාද ඇදහිල්ල කරණකොට ගෙන ඒ අනුග‍්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය. 9 කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක‍්‍රියා වලින් නොවේ. 10 මක්නිසාද අපි වනාහි යහපත් ක‍්‍රියා කරණ පිණිස ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක‍්‍රියාවල හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම් කළ සේක. 11 එහෙයින් පෙර කාලයේදී අන්‍ය ජාතිකයින්ව සිටියාවූ, අතින් මාංසයෙහි කරන ලද චර්මජේද්‍ය ඇත්තන් විසින් අචර්මජේදිතයෝ යයි කියන ලද්දාවූ නුඹලා, 12 ඒ කාලයෙහි ක‍්‍රිස්තුස්වහන්සේ ගෙන් වෙන්ව, ඉශ‍්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම් වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සේත් නැතුව සිටිය බව සිහිකරපල්ලා. 13 නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක‍්‍රිස්වහන්සේ තුල උන්වහන්සේගේ ලේ කරණකොට ගෙන, ළං කරනු ලැබුවහුය. 14 මක්නිසාද වෙන් කිරිමේ මැද බිත්තිය බිඳදමා, ඒ සතුරුකම නැමති නියෝග වල අන්තර්ගතවූ ආඥා වල ව්‍යවස්ථාව තමන්ගේ මාංසයෙන් නැති කොට, 15 දෙගොල්ල එක්කළ උන්වහන්සේම අපේ සමාදානයව සිටින සේක, එසේ කළේ සමාදාන කරමින් තමන් තුල දෙගොල්ල එක අලුත් මනුෂ්‍යයෙක් කොට මවන පිණිසත්, 16 කුරුසියෙන් සතුරුකම නැසූ බැවින් දෙගොල්ලම එක ශරීරයක් කොට, කුරුසිය කරණකොට ගෙන දෙවියන්වහන්සේට සමගි කර දෙන පිණිසත්ය. 17 උන්වහන්සේ ඇවිත් දුර සිටියාවූ නුඹලාට සමාදානයද, ලඟ සිටියවුන්ට සමාදානයද දේශනා කළසේක. 18 මක්නිසාද උන්වහන්සේ කරණකොට ගෙන අප දෙගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුල පියාණන්වහන්සේ ලඟට පැමිණීමේ පුළුවන්කම තිබේ. 19 ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආගන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. 20 නුඹලා පේ‍්‍රරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉඳි කරනු ලැබ සිටින්නහුය. ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොනේ ප‍්‍රධාන ගලව සිටින සේක. 21 උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතු කරන ලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගන යන්නේය. 22 උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩ නගන ලද්දහුය.

එපීස 3

1 මේ කාරණය නිසා අන්‍ය ජාතිකයන්වූ නුඹලා නිසා ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හිරකාරවූ පාවුල් නම් මම (යාච්ඤා කරමි). 2 නුඹලා උදෙසා මට දෙන ලද දෙවියන්වහන්සේගේ ඒ කරුණාවේ ගබඩාකාර කම ගැන නුඹලා අසන්ට ඇත, 3 එනම්, මා විසින් ඉහත ලුහුඬින් ලියා තිබෙන ලෙස එළිදරව් කිරීම කරණකොට ගෙන ඒ රහස මට ප‍්‍රකාශවූ බවය. 4 ඒ ප‍්‍රකාරයට නුඹලා එය කියවන විට ක‍්‍රිස්තුස්වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම් ගන්ට පුළුවන, 5 එය උන්වහන්සේගේ ශුද්ධ පේ‍්‍රරිතයන්ටත් ප්‍රොපේතවරුන්ටත් ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන දැන් එළිදරව් කර තිබෙන ලෙස වෙන පරම්පරා වලදී මනුෂ්‍ය පුත‍්‍රයන්ට දන්වනු නොලැබුවේය. 6 එනම් සුභාරංචිය කරණකොට ගෙන ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල, අන්‍ය ජාතීන් හවුල් උරුමක්කාරයන් බවත්, ශරීරයේ හවුල් අවයවයන් බවත්, පොරොන්දුවට හවුල් කාරයන් බවත්ය. 7 දෙවියන්වහන්සේගේ බලයේ ක‍්‍රියා කිරීමේ ප‍්‍රකාරයට මට දෙන ලද උන්වහන්සේගේ හැටියට ඒ සුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි. 8 සියලු ශුද්ධවන්තයන්ගේ ඉතා කුඩා තැනැත්තා වූ මට මේ අනුග‍්‍රහය දෙන ලද්දේ ක‍්‍රිස්තුස්වහන්සේගේ සොයා දැන ගත නොහැකි සම්පත ගැන අන්‍ය ජාතීන්ට දේශනා කරන්ටත්, 9 සියල්ල මැවුවාවූ දෙවියන්වහන්සේ තුළ සියලු කාල වල පටන් සැඟවී තිබුණාවූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය. 10 එසේ කළේ අපගේ ස්වාමීවූ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල දෙවියන්වහන්සේ විසින් අභිප‍්‍රාය කරන ලද සදාකාල අභිප‍්‍රායේ ප‍්‍රකාරයට, 11 ස්වර්ගීය ස්ථාන වල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයේ සභාව කරණකොට ගෙන උන්වහන්සේගේ අනේක විධ ප‍්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය. 12 ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල කරණකොට ගෙන නිර්භීත කමත්, සැක නැතුව ළං වෙන්ට පුළුවන් කමත්, උන්වහන්සේ තුල අපට තිබේ. 13 එහෙයින් නුඹලාගේ ගෞරවයට හේතුවූ නුඹලා නිසා මා විඳින්නාවූ දුක් ගැන ක්ලාන්ත නොවෙන ලෙස ඉල්ලමි. 14 මේ නිසා ස්වර්ගයෙහිද, පොළොවෙහිද, 15 ඒ ඒ ගෝත‍්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණ නමා, 16 උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොට ගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්, 17 ඇදහිල්ල කරණකොට ගෙන, ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුල වාසය කරණ පිණිසත් නුඹලා පේ‍්‍රමයෙහි මුල් ඇද පිහිටා සිට, 18 දෙවියන්වහන්සේගේ මුළු පූර්ණ කමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක‍්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි පේ‍්‍රමය දැනගෙන, 19 එහි පළළ, දිග උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්ට නුඹලාට පුළුවන් වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤා කරමි. 20 ඉතින් අප තුල ක‍්‍රියා කරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධික ලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, 21 සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක‍්‍රිස්තුස්වහන්සේ තුල සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්.

එපීස 4

1 එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබින ලෙස, 2 සියලු ආකාර යටහත් කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්ත කමෙන්ද හැසිර, එකිනෙකා ගැන පේ‍්‍රමයෙන් ඉවසා, 3 සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සහා කරන මෙන්, ස්වාමීන්වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි. 4 නුඹලාගේ කැඳවීමේ එක බලා පොරොත්තුවට නුඹලා කැඳවනු ලැබූ ලෙසම, ඇත්තේ එක ශරීරයත්, එක ආත්මයාණන්වහන්සේත්, 5 එක ස්වාමීන්වහන්සේත්, එක ඇදහිල්ලත්, එක බෞතීස්මයත්, 6 සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොට ගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ටම එකම පියවූ දෙවියන්වහන්සේත්ය. 7 නුමුත් අපෙන් එක් එක්කෙනාට ක‍්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප‍්‍රමාණයේ හැටියට අනුග‍්‍රහය දෙන ලද්දේය. 8 එහෙයින් උන්වහන්සේ කතාකොට: උන්වහන්සේ උසස් තැනට නැගුණු කල්හි වහල් කමට ගත්තවුන් වහල් කොට ගෙන ගොස්, මනුෂ්‍යයන්ට තෑගි දුන් සේකැයි කීසේක. 9 (ඉතින්: නැගුටුණු සේකැයි කී බැවින් උන්වහන්සේ පොළොවේ පහත් තැන් වලට බැස්ස බවක් මිස වෙන කුමක් හැ‍‍ඟේද? 10 බැස්සාවූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණ කරණ පිණිස සියලු ස්වර්ග වලින් ඉහළට නැගුණාවූ තැනන්වහන්සේමය). 11 උන්වහන්සේ සමහරුන් පේ‍්‍රරිතයන්ද සමහරුන් අනාගත වක්තෘවරුන්ද සමහරුන් සුභාරංචිය ප‍්‍රකාශ කරන්නන්ද සමහරුන් සභා පාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන් සේක. 12 එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා දැනගැනීමේද එකමුතු කමටත්, සම්පුර්ණ පුරුෂ කමටත් ක‍්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණ උස මහතේ ප‍්‍රමාණයට අප සියල්ලන් පැමිණෙන තෙක්, 13 ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක‍්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. 14 තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප‍්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපා මාරුවෙන්ද හටගන්න සියලු ආකාර සුළඟින් ඈත මෑත විසි වෙමින් ගෙන යනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්, 15 පේ‍්‍රමයෙන් යුක්තව ඇත්ත කතා කරමින්, හිසව සිටින ක‍්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේ වලදී වැඩෙන පිණිසත්ය. 16 උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධි කරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප‍්‍රමාණයේ ක‍්‍රියා කිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොට ගෙන පේ‍්‍රමයෙන් වර්ධනය වන ශරීරය වැඩෙන්නේය. 17 එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵල කමින් හැසිරෙන්නාක් මෙන්, නුඹලා තවත් නොහැසිරෙල්ලා යයි ස්වාමීන්වහන්සේ තුල සාක්ෂි දෙමින් කියමි. 18 ඔව්හු තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව, තමුන් තුල ඇත්තාවූ අඥාන කම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති. 19 ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත‍්‍ර කම් ගිජු ලෙස කරන පිණිස සල්ලාල කමට භාර වුණෝය. 20 නුමුත් නුඹලා ක‍්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත, එනම්, 21 සැබෑව යේසුස්වහන්සේ තුල තිබෙන ප‍්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුල උගන්වනු ලැබුවහුය. 22 (එසේ ඉගෙන ගත්තේ) නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දුෂ්‍ය වන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා, 23 නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ, 24 සැබෑවේ ධර්මිෂ්ඨ කමින්ද දෙවියන්වහන්සේට සමානව මවන ලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නා ලෙසය. 25 එහෙයින් බොරුකීම අත්හැර දමා එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමග සැබෑව කතා කරපල්ලා. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය. 26 කෝප වුනත් පව් නොකරල්ලා. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරිල්ලා. 27 යක්ෂයාට ඉඩනොදෙල්ලා. 28 සොරකම් කරාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන් වන පිණිස, තමාගේ අත් වලින් යහපත් වැඩක් කරමින් වීර්ය කෙරේවා. 29 නුඹලාගේ මුඛයෙන් කිසි දුෂ්‍ය කතාවක් නික්මෙන්ට ඉඩ නෑර අසන්නන්ට ප‍්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේම කියාපල්ලා. 30 දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙල්ලා, මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය. 31 සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා. 32 නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක‍්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙයල්ලා.

එපීස 5

1 එබැවින් නුඹලා පි‍්‍රය දරුවන් මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා. 2 ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලාට පේ‍්‍රමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක් මෙන්ම, නුඹලාත් පේ‍්‍රමයෙන් හැසිරියල්ලා. 3 නුමුත් වේශ්‍යාකමද සියලු ආකාර අපවිත‍්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා, එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. 4 කැතකම්ද මෝඩ කතාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුති කිරීම් පවත්වාපල්ලා. 5 මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් රූප වඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක‍්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තක ලෙස දැන සිටින්නහුය. 6 හිස් වචන වලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙල්ලා. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරු කමේ පුත‍්‍රයන් පිටට පැමිණෙන්නේය. 7 එබැවින් ඔවුන් සමග පංගු කාරයෝ නොවෙල්ලා. 8 මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරියල්ලා. 9 ආලෝකයේ ඵල නම්, සියලු ආකාරයේ යහපත් කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය. 10 ස්වාමීන්වහන්සේට ප‍්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරපල්ලා. 11 අන්ධකාරයේ ඵල නැති ක‍්‍රියාවලට හවුල් නොවී ඒවාට දොස් තබාපල්ලා, 12 මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කතා කිරීම පවා ලජ්ජාවක්ය. 13 නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොට ගෙන ප‍්‍රකාශ වන්නේය. මක්නිසාද ප‍්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ. 14 එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටපන්න, එවිට ක‍්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවන සේකැයි උන්වහන්සේ කියනසේක. 15 ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප‍්‍රවේශමෙන් හැසිරෙන්ට බලාගෙන, 16 දවස් නපුරු බැවින් ප‍්‍රස්ථාව අල්ලා ගනිල්ලා. 17 මේ නිසා නුඹලා අණුවනයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම් ගනිල්ලා. 18 මුද්‍රික පානයෙන් මත් නොවෙල්ලා. එයින් අනාචාරකම් හටගන්නේය. 19 නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකා වලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කතා කොට, නුඹලාගේ සිත් වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, 20 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුති කරපල්ලා. 21 ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත් වෙයල්ලා. 22 භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. 23 මක්නිසාද ක‍්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. 24 එබැවින් සභාව ක‍්‍රිස්තුස්වහන්සේට යටත් වෙන්නාක් මෙන් භාර්යාව සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත් වෙත්වා. 25 පුරුෂයෙනි, ක‍්‍රිස්තුස්වහන්සේ සභාවට පේ‍්‍රම කොට, ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක් මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට පේ‍්‍රම කරපල්ලා. 26 එසේ කළේ සභාවට ශුද්ධව කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව, 27 තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකර ගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත‍්‍ර කොට පිරිසිදු කරන පිණිසය. 28 එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීර මෙන් පේ‍්‍රම කට යුතුය. තමාගේ භාර්යාවට පේ‍්‍රම කරන තැනැත්තේ තමාටම පේ‍්‍රම කරන්නේය. 29 කිසිවෙක් කිසි කලක තමාගේම මාංසයට වෛර කලේ නැත. ක‍්‍රිස්තුස්වහන්සේ සභාව ගැන කරන්නාක් මෙන් එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණය කොට රක්ෂා කරගන්නේය. 30 මක්නිසාද අප උන්වහන්සේගේ ශරීරයේ අවයවයෝය. 31 මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය, ඔවුන් දෙදෙනා එක මාංසය වන්නෝය. 32 මේ රහස මහත්ය. නුමුත් මම ක‍්‍රිස්තුස්වහන්සේ ගැනත් සභාව ගැනත් කතා කරමි. 33 එසේ වී නුමුත් නුඹලා එක් එක්කෙනාත් තමතමාට මෙන් තම තමාගේ භාර්යාවට පේ‍්‍රම කරපල්ලා, භාර්යාවද පුරුෂයාට භය පක්ෂව සිටින්ට බලාගනිල්ලා.

එපීස 6

1 දරුවෙනි, නුඹලාගේ දෙමව්පියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙයල්ලා. මක්නිසාද එසේ කරන්ට යුතුය. 2 නුඹට වැඩ සිද්ධ වෙන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත් වෙන පිණිසද, 3 නුඹේ පියාටත් මවුටත් ගෞරව කරපන්න. එය පොරොන්දුවක් ඇති පළමු වෙනි ආඥාවය. 4 පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇති කරපල්ලා. 5 දාසයෙනි, ක‍්‍රිස්තුස්වහන්සේට මෙන් මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමි වරුන්ව සිටින්නන්ට භයෙනුත් වෙවුලූමෙනුත් නුඹලාගේ සිත්වල ඒකාන්ත කමින් කීකරු වෙයල්ලා, 6 මනුෂ්‍යයන් සතුටු කරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට, ක‍්‍රිස්තුස්වහන්සේගේ මෙන් සිතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරපල්ලා. 7 දාසයෙක් වේවා, නිර්දාසයෙක් වේවා, එක් එක් අය කරන්නාවූ යම් යහපතක් ඇද්ද, ඊට ස්වාමීන්වහන්සේගෙන් නැවත විපාක ලැබෙන බව දැන, 8 මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙකරපල්ලා. 9 ස්වාමිවරුනි, නුඹලාගෙත් ඔවුන්ගෙත් ස්වාමීන්වහන්සේ ස්වර්ගයෙහි සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන තර්ජන කිරීමෙන් වැලකී, ඔවුන්ට එම දේවල් කරපල්ලා. 10 ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත් කමෙහිද බලවත් වෙයල්ලා. 11 යක්ෂයාගේ උපාය මාර්ග වලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගනිල්ලා. 12 මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම් වලටත් පරාක‍්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුළාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථාන වල සිටින දුෂ්ට කමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. 13 එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථිරව සිටින්ටත් පුළුවන් වන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගනිල්ලා. 14 එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ලය වැස්ම පැළඳගෙන, 15 සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පයලා සිටපල්ලා. 16 ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගනිල්ලා. එයින් නපුරාගේ සියලු ගිනි හෙල්ල නිවන්ට නුඹලාට පුළුවන් වන්නේය. 17 ගැළවීම නැමති ආරක්ෂක තොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගනිල්ලා. 18 සියලු යාච්ඤා වලින්ද ඉල්ලීම් වලින්ද සියලු කාල වලදී ආත්මයාණන් කරණකොට ගෙන යාච්ඤා කරපල්ලා. 19 යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්, 20 මා විසින් කථා කරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථා කරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම් වලින් අවදිව සිටපල්ලා. 21 නුමුත් මාගේ කාරණත් මා සිටින්නේ කෙළෙසද කියාත් නුඹලා දැනගන්නා පිණිස, ස්වාමීන්වහන්සේ තුල පේ‍්‍රමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද වූ තුඛිකස් සියල්ල නුඹලාට දන්වනවා ඇත. 22 මේ අදහස පිණිසම, එනම් නුඹලා අපේ කාරණ දැනගන්න පිණිසත් ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත් ඔහු නුඹලා වෙත එවීමි. 23 පියවූ දෙවියන්වහන්සේ ගෙන්ද ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමග පේ‍්‍රමයත් සහෝදරයන්ට වේවා. 24 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේට අවංක කමින් පේ‍්‍රම කරන්නාවූ සියල්ලන්ට අනුග‍්‍රහය වේවා.

පිලිප්පි 1

1 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමොතියස්ද ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්: 2 අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ගෙන්ද කරුණාවත් සමදානයත් නුඹලාට වේවා. 3 නුඹලා මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤා වලදී නුඹලා සියල්ලන් උදෙසා ප‍්‍රීතියෙන් යාච්ඤාව ඔප්පු කරමින්, 4 පළමු වෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන, 5 නුඹලාගේ පංගුකාර කම ගැන මාගේ දෙවියන්වහන්සේට ස්තුති කරමි. 6 නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකැයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි. 7 නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනා කරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම් වලදීද ශුභාරංචිය ගැන උත්තර දීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමග අනුග‍්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි. 8 එසේය, ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ඇලුම් කමින් මට නුඹලා සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තෙම්ද කියා දෙවියන්වහන්සේ මට සාක්ෂි වනසේක. 9 යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප‍්‍රසංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵල වලින් පූර්ණව, 10 උතුම්වූ දේවල් ඒත්තු ගන්ට නුඹලාට පුළුවන් වෙන්ටත්, ක‍්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්, 11 නුඹලාගේ පේ‍්‍රමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤා කරමි. 12 සහෝදරයෙනි, මට සිදුවූ කාරණ වැඩි වශයෙන් ශුභාරංචිය දියුණුවීමටම හැරී තිබෙන බව නුඹලා දැන ගන්නවාට කැමැත්තෙමි. 13 මෙසේ මාගේ බැඳුම් ක‍්‍රිස්තුස් වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජ ගෙදරද අනිකුත් සියල්ලන්ටද ප‍්‍රකාශවී තිබේ. 14 ස්වාමීන්වහන්සේ තුළවූ සහෝදරයන්ගෙන් වැඩි දෙනාද මාගේ බැඳුම් නිසා ධෛර්ය ලැබ, දෙවියන්වහන්සේගේ වචනය භය නැතුව කියා දෙන්ට ඉතා වැඩි ලෙස නිර්භීත වී සිටිති. 15 සමහරු ඊර්ෂ්‍යාවෙන්ද විවාදයෙන්ද සමහරු හොඳ සිතින්ද ක‍්‍රිස්තුස්වහන්සේ දේශනා කරති. 16 එක පක්ෂයක් මා ශුභාරංචිය ගැන උත්තර දෙන්ට සිටින බව දැන පේ‍්‍රමයෙන්ද, 17 අනික් පක්ෂය මාගේ බැඳුම් වලදී මට පීඩා උපදවන්ට සිතා පිරිසිදු ලෙස නොව පක්ෂවාදී කමෙන්ද, ක‍්‍රිස්තුස්වහන්සේව ප‍්‍රකාශ කරති. 18 ඉතින් කිමෙක්ද? වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක‍්‍රිස්තුස්වහන්සේ ප‍්‍රකාශ කරනු ලබන සේක. ඊට ප‍්‍රීති වෙමි. එසේය, තවත් ප‍්‍රීතිවන්නෙමි. 19 මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක‍්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි. 20 ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොට ගෙන, ජීවිතයෙන් වේවා මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක‍්‍රිස්තුස් වහන්සේ ගෞරවයට පැමිණේ යයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප‍්‍රාර්ථනාවක්ද ඇත්තේය. 21 මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක‍්‍රිස්තුස්වහන්සේ(උදෙසා)ය, මරණයද මට ලාභයක්ය. 22 මාංසයෙහි ජීවත්වීම (මාගේ කොටස නම්), මාගේ වැඩ වලින් ප‍්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරා ගනිම්දැයි නොදනිමි. 23 නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි, මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක‍්‍රිස්තුස්වහන්සේ සමග විසීමටය, මක්නිසාද ඒක බොහෝ සෙයින් වඩා හොඳය. 24 නුමුත් මාංසයේ සිටීම නුඹලා නිසා වඩා ඕනෑ කෙරේ. 25 මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි නුඹලාගේ දියුණුවීමද ප‍්‍රීතියද සඳහා නුඹලා සියල්ලන් සමග සිටින්ට යෙදෙන බව දනිමි. 26 මෙසේ වන්නේ, මා ගැන නුඹලාගේ පාරට්ටු කර ගැන්ම නැවත නුඹලා වෙතට මාගේ ඊමෙන් ක‍්‍රිස්තුස් වහන්සේ තුළ වැඩි වෙන පිණිසය. 27 මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්ය කරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන් වන පිණිස, ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබින ලෙසම හැසිරියල්ලා. 28 ඒ (නිර්භිත කම) ඔවුන්ට විනාශයේද නුඹලාට ගැළවීමේද ලකුණක්ව තිබේ. එය දෙවියන්වහන්සේ ගෙන්ම පැමිණෙන්නේය. 29 මක්නිසාද ක‍්‍රිස්තුස් වහන්සේ ගැන අදහන්ට පමණක් නොව, උන්වහන්සේ උදෙසා දුක් විඳින්ටත් ක‍්‍රිස්තුස් වහන්සේ උදෙසා නුඹලාට වරප‍්‍රසාදය දෙන ලද්දේය. 30 මා කෙරෙහි තිබෙන බව නුඹලා දුටුවාවූ, දැන් මට ඇතැයි නුඹලා අසන්නාවු එම සටනම නුඹලාටත් ඇත්තේය.

පිලිප්පි 2

1 ඉතින් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, පේ‍්‍රමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන්වහන්සේගේ යම් පංගුකාර කමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබර කමක් ඇත්නම්, 2 නුඹලා එක පේ‍්‍රමය ඇතුව එකඟව සිට එක කාරණයම අභිප‍්‍රාය කරගෙන, එක් සිත්ව සිටීමෙන්, මාගේ ප‍්‍රීතිය සම්පූර්ණ කරපල්ලා. 3 පක්ෂවාදී කමෙන්වත් නිෂ්ඵල පාරට්ටු කමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත් කමින් සිතාවා. 4 නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලාපල්ලා. 5 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. 6 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරණසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, 7 දාසයකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණි සේක. 8 මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරු වූසේක. 9 එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට, සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. 10 එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, 11 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව් වලින් ඒත්තු ගන්න පිණිසත්ය. 12 එබැවින්, මාගේ පේ‍්‍රමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක් මෙන්ම, මා ලඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, භයෙනුත් වෙවුලූමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ඨ කරගනිල්ලා, 13 මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමති වෙන්ටත් වැඩ කරන්ටත් නුඹලා තුළ ක‍්‍රියා කරන්නේ දෙවියන්වහන්සේමය. 14 වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා. 15 ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය. 16 මෙසේ, මම නිෂ්ඵල ලෙස නොදිවීමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමියි කියා ක‍්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇති වන්නේය. 17 එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පාන පූජාවක් මෙන් වත්කරවනු ලබන නුමුත් සන්තෝෂ වෙමි. නුඹලා සියල්ලන් සමග ප‍්‍රීතිවෙමි. 18 එසේම නුඹලාත් සන්තෝෂ වෙයල්ලා, මා සමග ප‍්‍රීති වෙයල්ලා. 19 මමත් නුඹලාගේ කාරණ දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ලඟට තිමොතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තු වෙමි. 20 මක්නිසාද නුඹලාගේ කාරණ ගැන ඔහු වාගේ සැබෑ ලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත. 21 මක්නිසාද සියල්ල යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ කාරණ නොව තම තමුන්ගේම කාරණ සොයන්නේය. 22 ඔහු නම් දරුවෙක් පියෙකුට සේවය කරන්නාක් මෙන් සුභාරංචියේ වර්ධනය සඳහා මා සමග සේවය කළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය. 23 එබැවින් මාගේ කාරණ කොයි ආකාර වේද කියා මම දුටු කෙනෙහිම, ඔහු එවන්ට බලාපොරොත්තු වෙමි. 24 මටත් නොබෝ කලකින් එන්ට ලැබේය කියා ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමි. 25 එහෙත් මාගේ සහෝදරයාවූ, හවුල් සේවකයෙක්වූ, හවුල් හේවායෙක්වූ, නුඹලාගේ පේ‍්‍රරිතයෙක්ද මාගේ වුවමනා වලට උපස්ථාන කරන්නාදවූ එපප්‍රොදිතෙස් නුඹලා වෙතට එවන්ට ඕනෑ යයි සිතුවෙමි. 26 මක්නිසාද ඔහු නුඹලා හැම දෙනාම දකින්ට බොහෝ ආශාවක් ඇතුව, තමා ලෙඩින් සිටිය බව නුඹලා ඇසූ බැවින් ඉතා කණගාටුවෙන් සිටියේය. 27 එසේය, මරණාසන්න වෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කරුණා කළසේක. ඔහුට පමණක් නොව ශෝකය පිට ශෝකය මට නොපැමිණෙන පිණිස මටත් කරුණා කළසේක. 28 එබැවින් නුඹලා ඔහු නැවත දැක ප‍්‍රීති වෙන පිණිසත් මාගේ ශෝකයද අඩුවෙන පිණිසත් ඔහු වඩා ඉක්මන් කොට එවීමි. 29 එබැවින් ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප‍්‍රීතියෙන් ඔහු පිළිගනිල්ලා, එබඳු අය ගරු කොට සලකාපල්ලා. 30 මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක‍්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්න වුණේය.

පිලිප්පි 3

1 ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප‍්‍රීතිවෙයල්ලා. එම කාරණා නුඹලාට ලියා එවීමට වෙහෙස නැත. නුඹලාගේ ප‍්‍රවේශම පිණිසත් ඒක හොඳය. 2 බල්ලන්ගෙන් ප‍්‍රවේශම් වෙයල්ලා, නපුරු ක‍්‍රියා කාරයන්ගෙන් ප‍්‍රවේශම් වෙයල්ලා. චර්මජේද්‍ය කරන්නන්ගෙන් ප‍්‍රවේශම් වෙයල්ලා. 3 මක්නිසාද චර්මජේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොට ගෙන නමස්කාර කරන්නාවූ, ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය. 4 ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය තුළ තමන්ට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම් මට ඊට වඩා පුළුවන. 5 අට වෙනිදා චර්මජේදිතවූ යෙමි, ඉශ‍්‍රායෙල් වංශයේ, බෙන්යමින්ගේ ගෝත‍්‍රයේ කෙනෙක්මි, හබේ‍්‍රව් වරුන්ගෙන් හෙබ්‍රෙව්වෙක්මි, ව්‍යවස්ථාව ගැන නම් ඵරිසියෙක්මි, 6 ජ්වලිත කම ගැන නම් සභාවට පීඩා කළෙමි. ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි. 7 එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක‍්‍රිස්තුස්වහන්සේ නිසා අලාභ යයි සිතීමට පැමිණියෙමි. 8 එසේය, මා ස්වාමීවූ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභ යයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව, ඒවා කුණු යයි සලකමි. එසේ කරන්නේ මම ක‍්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්, 9 ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ඨකම නොව, ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්, 10 යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස, 11 උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත-නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාර කමත් දැනගන්නා පිණිසත්ය. 12 මා දැනටම ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නුමුත් යමක් පිණිස ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත් සේක්ද, ඒක අල්ලාගන්ට මමත් වීර්ය කරමින් දුවගෙන යමි. 13 සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමි යයි නොසිතමි. නුමුත් ඒකත් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැති කොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, 14 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම් පළ කරා දුවමි. 15 එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිත්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. නුඹලා යම් කාරණාවක් ගැන වෙන අභිප‍්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව් කරනවා ඇත. 16 නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප‍්‍රකාරයට හැසිරෙමු. 17 සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙයල්ලා. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද එසේ හැසිරෙන්නන් බලා ගනිල්ලා. 18 මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්. බොහෝ දෙනෙක් ක‍්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති. 19 ඔවුන්ගේ කෙළවර ව්නාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය. 20 නුමුත් අපේ පුරවැසිකම ස්වර්ගයෙහිය, එතැනින් ගැළවුම් කාරයෙක් වන ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ එනවා අපි බලා සිටිමුව. 21 සියලු දේ පවා තමාට යටත් කරන්ට පුළුවන්වූ බලය ලෙස උන්වහන්සේ අපේ පහත් කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත.

පිලිප්පි 4

1 එහෙයින් මාගේ පේ‍්‍රමවන්තවූ මා ඉතා ඇලුම් වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ පී‍්‍රතියත් ඔටුන්නත්වූ මාගේ පේ‍්‍රමවන්තයෙනි මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටපල්ලා. 2 ස්වාමීන්වහන්සේ තුළ එක් සිත් වෙන මෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකී ගෙන්ද ඉල්ලමි. එසේය, 3 මේ ස්ත‍්‍රීන්ට උපකාර කරන ලෙස සැබෑ හවුල් වැඩ කරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල්කාර සේවකයන් ඇතුළුව මා සමග සුභාරංචියෙහි වැඩ කළෝය, ඔවුන්ගේ නාම ජීවන පොතෙහි තිබේ. 4 ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප‍්‍රීතිවෙයල්ලා ප‍්‍රීතිවෙයල්ලා යයි නැවතත් කියමි. 5 නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටින සේක. 6 නුඹලා කිසිවක් ගැන කණගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. 7 එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත. 8 ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණදේ ගරුකටයුතුද, යම් පමණදේ සාධාරණද, යම් පමණදේ පිරිසිදුද, යම් පමණදේ ආදරණීයද, යම් පමණදේ යහපත් කිර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප‍්‍රසංශාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරපල්ලා. 9 නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මාතුළ තිබෙන බව ඇසූ දුටුවාවූ දේවලූත් කරපල්ලා. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමග සිටිනවා ඇත. 10 මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනා කිරීමට නුඹලා නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බෙහෝ සෙයින් ප‍්‍රීතිවෙමි. ඒ ගැන නුඹලා ඇත්තටම කල්පනා කළහුය, නුමුත් ප‍්‍රස්ථාවක් ලැබුනේ නැත. 11 Nහිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවයක සිටිම් නුමුත්, ඊට සතුටු වෙන්ට මම ඉගෙන ගෙන සිටිමි. 12 පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණ වලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිගව සිටින්ටත් පුළුවන් රහස ඉගෙගෙන සිටිමි. 13 මා බලවත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන. 14 එසේවී නුමුත් නුඹලා මාගේ පීඩාවට හවුල්වුණා හොඳය. 15 පිලිප්පිවරුනි, සුභාරංචියේ පටන් ගැන්මේද මා මකිදෝනියෙන් ගිය කල, නුඹලා මිස වෙන කිසි සභාවක්, දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල් නුවූ බව නුඹලා දනිහුය. 16 මක්නිසාද තෙසලෝනියට පවා නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය. 17 මා තෑග්ග සොයනවා නොව, නුඹලාගේ ගණනට වැඩිවන්නාවූ ඵල සොයමි. 18 නුමුත් මට සියල්ල ලැබී පුර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප‍්‍රියවූ ප‍්‍රසන්නවූ පූජාවක්ව තිබේ. 19 මාගේ දෙවියන්වහන්සේ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප‍්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරණ සේක. 20 ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේට සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්. 21 ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ශුද්ධවන්තයන් සෑම දෙනාට ආචාර කරපල්ලා. මා සමග සිටින සහෝදරයෝ නුඹලාට ආචාර කරති. 22 සියලු ශුද්ධවන්තයෝද ප‍්‍රධාන කොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාර කරති. 23 ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මය සමග වේවා.

කොලොස්සි 1

1 දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොට ගෙන ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රරිතයෙක් වන පාවුල්ද සහෝදරයා වන තිමොතියස්ද විසින්, 2 ක‍්‍රිස්තුස් වහන්සේ තුළ කොළොස්සේ සිටින ශුද්ධ වන්තයන් වූ විශ්වාස සහෝදරයන්ට ලියා එවන වග නම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන් කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. 3 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ පේ‍්‍රමයත් ගැන අප ඇසූ බැවින්, ස්වර්ගයෙහි නුඹලාටත් තබා තිබෙන්නාවූ බලා පොරොත්තුව නිසා, 4 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට අපි ස්තුති කර, නිතරම නුඹලා ගැන යාච්ඤා කරමුව. 5 ඒ බලාපොරොත්තුව ගැන ශුභාරංචියේ සැබෑවේ වචනයෙන් නුඹලා පළමු ඇසුවහුය. 6 ඒ ශුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතටත් පැමිණ තිබේ, නුඹලා ඒ අසා දෙවියන්වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත්දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකයෙහිත් ඵල දරමින් වර්ධනය වන්නේය. 7 එසේ අප උදෙසා ක‍්‍රිස්තුස්වහන්සේගේ විශ්වාස සේවකයෙක්ව සිටින අපේ පේ‍්‍රමවන්ත හවුල් වැඩකාරවූ එපප‍්‍රස්ගෙන් නුඹලා ඉගෙනගත්තහුය. 8 ඔහු ආත්මයාණන්වහන්සේ තුල තිබෙන නුඹලාගේ පේ‍්‍රමයත් අපට දැන්නුවේය. 9 එබැවින් අපිත් ඒ ඇසූදා පටන් නුඹලා උදෙසා නොකඩවම යාච්ඤා කරමින්, නුඹලා සියලු ආකාර ප‍්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී, 10 සියලු යහපත් ක‍්‍රියා වලින් ඵල දරමින්ද, දෙවියන්වහන්සේ දැනගැන්මෙහි වර්ධනය වෙමින්ද, 11 ප‍්‍රීතිය ඇතුව සියලු ආකාර සහභාගි කමටත් ඉවසිලිවන්ත කමටත් උන්වහන්සේගේ තේජසේ පරාක‍්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද, 12 ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුති කරමින්ද, නුඹලා ස්වාමීන්වහන්සේට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප‍්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව. 13 පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් පේ‍්‍රමයේ පුත‍්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවා ගත්සේක. 14 උන්වහන්සේ තුළ අපගේ මිදීම වන පව් වලට කමාව අපට තිබේ. 15 උන්වහන්සේ අදෘෂ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය. 16 මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම වේවා, අධිපතිකම් වේවා, බල පරාක‍්‍රම වේවා, ස්වර්ග වල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය, සියලු දේ උන්වහන්සේ කරණ කොට ගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ, 17 උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටින සේක. සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය. 18 උන්වහන්සේ සභාව නැමති ශරීරයට හිසව සිටින සේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටින සේක. එසේ සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප‍්‍රධානව සිටින පිණිසය. 19 මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා, 20 උන්වහන්සේ කරණකොට ගෙන, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ග වල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොට ගෙන තමන්ට සමගි කර ගැනීමටත් පියාණන්වහන්සේ ප‍්‍රසන්නවූසේක. 21 පසුගිය කාලයේදී අන්‍යයන්ව, නුඹලාගේ නපුරු ක‍්‍රියා වලින් සිතින් සතුරුව සිටියාවූ නුඹලා, 22 ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරගන්නා පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොට ගෙන සමගි කර ගත් සේක. 23 නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප‍්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි. 24 දැන් මම නුඹලා නිසා විඳින දුක් ගැන ප‍්‍රීතිව, ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා, උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංසයෙන් සම්පූර්ණ කරමි. 25 පූර්ව කාලවල පරම්පරාවලද සැඟව තිබී, දැන් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප‍්‍රකාශවුණාවූ රහස වන, 26 දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට, නුඹලා උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාර කමේ හැටියට, සභාවේ සේවකයෙක් කරනු ලැබීමි. 27 අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූ සේක, ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක‍්‍රිස්තුස්වහන්සේය. 28 අපි නම් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සිටින සියලු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතු කම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප‍්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප‍්‍රකාශ කරමුව. 29 ඒ ඇර, මා තුළ බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක‍්‍රියා කිරීමේ ප‍්‍රකාරයට ඒ සඳහා මම පොර අල්ලමින් වීර්ය කරමි.

කොලොස්සි 2

1 එසේය, නුඹලා උදෙසාත් ලවෝදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොර ඇල්ලිල්ලක් මට තිබේද කියා නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි. 2 ඒ වනාහි ඔවුන් පේ‍්‍රමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නැමති සියලු සම්පත භුක්ති විඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක‍්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය. 3 ඒ තැනන්වහන්සේ තුළ ප‍්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධාන කර ඇත්තේමය. 4 මෙසේ මා කියන්නේ සිත් ප‍්‍රසන්න කරන කතාවෙන් කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන පිණිසය. 5 මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමග සිට, නුඹලාගේ පිළිවෙළත් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිර කමත් බලමින් ප‍්‍රීති වෙමි. 6 එබැවින් නුඹලා ස්වාමීවූ ක‍්‍රීස්තුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල් ඇද ගොඩ නගන ලදුව. 7 නුඹලාට ඉගැන්වූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බෙහෝ සෙයින් ස්තුති දෙමින් උන්වහන්සේ තුළ හැසිරියල්ලා. 8 ක‍්‍රිස්තුස්වහන්සේට එකඟ තැනැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරා ගත නියෝග වලත් ලෝකයේ ගුරුකම් වලත් ප‍්‍රකාරයට තිබෙන පණ්ඩිත කමද හිස්වූ රැවටිලිකාර කමද කරණකොට ගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලා ගනිල්ලා. 9 මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණ කම ශරීරාකාරයෙන් වාසය කරන්නේය. 10 සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය. 11 අතින් නොකළ චර්මජේද්‍යක් වන මාංසයේ ශරීරය පහකිරීම නැමති ක‍්‍රිස්තුස් වහන්සේගේ චර්මජේද්‍යයෙන් උන්වහන්සේ තුළ නුඹලා චර්මජේද්‍ය කරනු ලැබුවහුය. 12 නුඹලා උන්වහන්සේ සමග බෞතීස්මයෙහි තැන්පත් කරනු ලැබ, උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුවාවූ දෙවියන්වහන්සේගේ ක‍්‍රියා කිරීම කෙරෙහි ඇදහීම කරණ කොට ගෙන, උන්වහන්සේ සමග නැගුටුවනු ලැබුවහුය. 13 නුඹලාගේ වරද වල මාංසයෙහි අචර්මජේද්‍යයෙහිද මැරී සිටියාවූ නුඹලා, උන්වහන්සේ සමග ජීවත් කරවූ සේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමා කළසේක, 14 අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ ලියවිල්ල මකා දමා, ඒක කුරුසියෙහි ඇණ ගසා අහක් කළ සේක. 15 උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහ කොට, ප‍්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණ කොට ගෙන ඔවුන්ගෙන් ජය ගත් බව ප‍්‍රකාශ කළ සේක. 16 එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවස් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චය කරන්ට කිසිවෙකුට ඉඩ නාරිල්ලා. 17 ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ජායාවක්ය. නුමුත් සිරුර ක‍්‍රිස්තුස්වහන්සේගේය. 18 පහත්වීමටද දේව දූතයන්ට නමස්කාර කිරීමටද කැමති වීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරිල්ලා. එබඳු තැනැත්තා තමන් දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථක ලෙස උඩඟුවී, 19 මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොට ගෙන උපකාර කොට, එය සම්බන්ධ කර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනය කරන්නාවූ හිසට නොබැඳී සිටින්නේය. 20 නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක‍්‍රිස්තුස්වහන්සේ සමග මැරුණහු නම්, ලෝකයෙහි ජීවත් වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව: 21 අල්ලන්ටවත් රස බලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝග වලට යටත්වන්නේ මක්නිසාද? 22 මේ සියල්ල පාවිචිචි කිරීමෙන් දිරා යන්ට තිබේ. 23 ඒ දේවල් වනාහි කැමති ලෙස නමස්කාර කිරිමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසා කර ගැනීමෙන්ද ඥානවන්ත කමක් මෙන් පෙනේ, නුමුත් මාංසයේ තෘෂ්ණා වැළැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.

කොලොස්සි 3

1 ඉදින් නුඹලා ක‍්‍රිස්තුස්වහන්සේ සමග නැගුටුවන ලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාපල්ලා. එහි ක‍්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳින සේක. 2 පොළොවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකාපල්ලා. 3 මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක‍්‍රිස්තුස්වහන්සේ සමග දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ. 4 අපේ ජීවනය වන ක‍්‍රිස්තුස්වහන්සේ ප‍්‍රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමග තේජසින් ප‍්‍රකාශවන්නහුය. 5 එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යා කමත් අපිරිසිදු කමත් කාම රාගයත් නපුරු තෘෂ්ණාවත් රූප වැඳීම වූ තණ්හාවත් නසාපල්ලා. 6 මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත‍්‍රයන් පිටට පැමිණෙන්නේය. 7 නුඹලාත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය. 8 නුමුත් දැන් නුඹලා ඒ සියල්ල - කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කතාව - පහකරපල්ලා. 9 එකිනෙකාට බොරු නොකියල්ලා. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක‍්‍රියා සමග අහකදමා, 10 අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත් කරනු ලබන ඒ අළුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය. 11 එහි ග‍්‍රීකයෙක්වත්, යුදෙව්වෙක්වත්, චර්මජේද්‍යයෙක් වත් අචර්මජේද්‍යයෙක්වත් මෙලේචිජයෙක්වත් සකිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක‍්‍රිස්කුස්වහන්සේ සියල්ලව, සියල්ලන්තුල සිටිනසේක. 12 එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ පේ‍්‍රමවන්තවූ තෝරා ගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්ත කමද යටත් කමද මෘදු කමද ඉවසිලිවන්ත කමද පැළඳගෙන, 13 එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමා වෙයල්ලා, ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුනාක් මෙන් නුඹලාත් කරපල්ලා. 14 මේ සියල්ලට උඩින් පේ‍්‍රමය නැමති සම්පූර්ණ කමේ බැම්ම බැඳගනිල්ලා. 15 ක‍්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවනු ලැබුවහුය, ස්තුතිවන්තවද සිටපල්ලා. 16 ක‍්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප‍්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින් නුඹලාගේ සිත්වල අනුග‍්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකා කරපල්ලා. 17 තවද නුඹලා වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමීවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොට ගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුති කරපල්ලා. 18 භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. 19 පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කශ නොවී ඔවුන්ට පේ‍්‍රම කරපල්ලා. 20 දරුවෙනි, සියලු කාරණ වලදී මවුපියන්ට කීකරුවෙයල්ලා. මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප‍්‍රසන්නය. 21 පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා. 22 දාසයෙනි, මනුෂ්‍යයන් සතුටු කරන්නාක් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංක කමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරු වෙයල්ලා. 23 නුඹලාට නුඹලාගේ විපාකය වූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, 24 නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරපල්ලා. 25 මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය.

කොලොස්සි 4

1 ස්වාමිවරුනි, ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන, නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ දීපල්ලා. 2 ස්තුති දීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩවා එහි පැවතියල්ලා, 3 තවද මා විසින් කතා කළ යුතුව තිබෙන අන්දමට ක‍්‍රිස්තුස්වහන්සේගේ රහස එළිදරව් කරන පිණිස, 4 එය කියාදීමට දෙවියන්වහන්සේ අපට වචනයේ දොරක් අරින ලෙස අප උදෙසාත් යාච්ඤා කරපල්ලා. ඒ රහස නිසා මම බැඳුම් ලැබ සිටිමි. 5 නුඹලා ප‍්‍රස්ථාව අල්ලා ගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප‍්‍රඥාවෙන් ක‍්‍රියා කරපල්ලා. 6 නුඹලා එකිනෙකාට උත්තර දිය යුත්තේ කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කතාව නිතරම ලූණෙන් රසවත්ව, අනුග‍්‍රහයෙන් යුක්තව තිබේවා. 7 ස්වාමීන්වහන්සේ තුළ පේ‍්‍රමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාදවූ තුබීකස් මාගේ සියලු කාරණා නුඹලාට දන්වනවා ඇත. 8 ඒ පිණිසම එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත්, ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත්, 9 නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස පේ‍්‍රමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමග ඔහු නුඹලා ලඟට එවමි. මෙහි සියලු කාරණ ඔවුන් නුඹලාට දන්වනවා ඇත. 10 මාගේ හවුල්කාර හිරකාරයාවූ අර්ිස්තාර්කස්ද බර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාර කරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගනිල්ලා. 11 චර්මජේදිතයන්ගෙන් මොව්හු පමණක් මට සැනසිල්ලක් වූවෝය, මොව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍ය උදෙසා මාගේ හවුල් සේවකයෝවද සිටිති. 12 නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයෙක්වූ එපප‍්‍රස් නුඹලාට ආචාර කරන්නේය, නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්ය කරන්නේය. 13 මක්නිසාද නුඹලා උදෙසාත් ලවෝදිකයෙහිද හියරපොලිසයෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂි දරමි. 14 ලූක් නම් පේ‍්‍රමවන්ත වෛද්‍යාචාරි තැනද දේමස්ද නුඹලාට ආචාර කරති. 15 ලවෝදිකයෙහි සිටින සහෝදරයන්ටත් නිම්පස්ටත් ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාර කරපල්ලා. 16 මේ ලියුම නුඹලා අතරෙහි කියවූ පසු, මේක ලවෝදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වාපල්ලා, ලවෝදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලා ගනිල්ලා. 17 ස්වාමීන්වහන්සේ තුල නුඹ ලැබූ සේවය සම්පූර්ණ කරන පිණිස ඒ ගැන බලාගනින්නැයි ආර්කිපස්ට කියාපල්ලා. 18 පාවුල් නම් මාගේම අතින්ම ලියන ආචාරයය. මාගේ බැඳුම් සිහිකරපල්ලා. අනුග‍්‍රහය නුඹලා සමග වේවා.

1 තෙසලෝනික 1

1 පාවුල්ද සිල්වානස්ද තිමොතියස්ද යන අප විසින් පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනික වරුන්ගේ සභාවට ලියා එවන වග නම්: නුඹලාට අනුග‍්‍රහයත් සමාදානයත් වේවා. 2 අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක‍්‍රියාවද පේ‍්‍රමයේ වීර්යද අපේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩවා සිහිකරමින්, 3 අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක් කරමින්, නුඹලා සියල්ලන් ගැන සැම වේලේම දෙවියන්වහන්සේට ස්තුති කරමුව. 4 එසේය, දෙවියන්වහන්සේ පේ‍්‍රම කරන්නාවූ සහෝදරයෙනි, උන්වහන්සේ නුඹලා තෝරාගත් බව අපි දනිමුව. 5 මක්නිසාද අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැක කමත් ඇතුවය. එසේය, නුඹලා නිසා අපි නුඹලා අතරේ කොයි ආකාර වීමුදැයි නුඹලා දන්නහුය. 6 නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප‍්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද, ස්වාමීන්වහන්සේද අනුව යන්නෝ වූහ. 7 මෙසේ නුඹලා මකිදෝනියෙහි සහ අකායෙහි සිටින සියලු ඇදහිලිවන්තයන්ට ආදර්ශවුණහුය. 8 මක්නිසාද නුඹලා වෙතින් ස්වාමීන්වහන්සේගේ වචනයේ හඬ මකිදෝනියෙහිත් අකායෙහිත් පැතිර ගියා පමණක් නොව, අප විසින් කිසිවක් කියන්ට ඕනෑ කොකරන හැටියට දෙවියන්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ල සෑම තැනම ප‍්‍රකාශ විය. 9 එසේ නුඹලා වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් නුඹලා ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද්දාවූ, 10 පැමිණෙන උදහසින් අප ගළවන්නාවූ තමන්ගේ පුත‍්‍රවූ යේසුස්වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින පිණිසද, නුඹලා දේවතා රූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති.

1 තෙසලෝනික 2

1 මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය. 2 නුඹලා දන්න හැටියට අප ප‍්‍රථම කොට පිලිප්පියේදී දුක්ද නිග‍්‍රහද ලැබූ නුමුත්, මහත් පොර ඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියා දෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීත වුණෙමුව. 3 මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත‍්‍ර කමෙන්වත් වංචාවෙන් යුක්තව වත් නොවේය. 4 නුමුත් ශුභාරංචිය භාර ගැනීමට අපි සුදුස්සෝ යයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප‍්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටු කරන ලෙස කතා කරමුව. 5 මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසි කලක ඉජ්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාර කළේ නැත. - දෙවියන්වහන්සේ සාක්ෂිය. 6 අප ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රරිතයන් හැටියට නුඹලාට බරක් වෙන්ට අපට පුළුවන් කමක් තිබුණ නුමුත්, නුඹලාගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව. 7 එසේ නොව, කිරි මවක් ඇගේ දරුවන් පෝෂණය කරන්නාක් මෙන්, නුඹලා මෙළොක් ගුණයෙන් සිටියෙමුව. 8 එළෙස අපි නුඹලාට පේ‍්‍රමාන්විත ඇලුම් කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප‍්‍රියවූ නිසා අපේම ප‍්‍රාණත් නුඹලාට දෙන්ට සතුටව සිටියෙමුව. 9 මක්නිසාද, සහෝදරයෙනි, අපේ වීර්යත් වෙහෙසත් නුඹලාට මතක තිබේ. අපි නුඹලාගෙන් කිසිවෙකුට බර නොවන පිණිස රෑ දාවල් වැඩ කරමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට දේශනා කළෙමුව. 10 අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සේත් සාක්ෂි කාරයෝය. 11 එසේය, තමන්වහන්සේගේ රාජ්‍යටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබින ලෙස නුඹලා හැසිරෙන හැටියට, 12 පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාද කරමින්, ධෛර්ය දෙමින්, අණ දෙමින් නුඹලා එක් එක් කෙනාට ක‍්‍රියා කළ හැටි නුඹලා දනිහුය. 13 එසේ හෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අසන නුඹලා තුළ ක‍්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩවා දෙවියන්වහන්සේට ස්තුති කරමුව. 14 මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වන්සේගේ සභාවන් අනුව යන්නෝ වී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේ රටවැසියන්ගෙන් වින්දහුය. 15 ඒ යුදෙව්වරු වනාහි ස්වාමීවූ යේසුස්වහන්සේද අනාගත වක්තෘ වරුද මැරුවෝය, අපත් පන්නා දැම්මෝය. ඔව්හු දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නොකරති. සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව සිටිති, 16 අන්‍ය ජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කතා කිරීම අපට තහනම් කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම් පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ. 17 නමුත් සහෝදරයෙනි, අපි හිතෙන් නොව පෙනීමෙන් නුඹලා වෙතින් ස්වල්ප කාලයකට අහක්ව ගිය කල, නුඹලාගේ මුහුණ දකින්ට මහත් ආශාවෙන් බොහෝ උත්සහා කළෙමුව. 18 මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි, නුමුත් සාතන් අපට බාධා කළේය. 19 අපගේ බලාපොරොත්තුවත් ප‍්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද? 20 එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප‍්‍රීතියත්ය.

1 තෙසලෝනික 3

1 එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල අතීනසයෙහි තනියම අත් හරිනු ලැබීමට අපි සතුටුවී, 2 මේ දුක් වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිර කිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත් අපේ සහෝදරයාද ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාදවූ තිමොතියස් එවීමුව. 3 මක්නිසාද අප දුක් විඳීමට නියමව තිබෙන බව නුඹලාම දනිහුය. 4 මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, නුඹලා සමග සිටියදී කලින් නුඹලාට කීවෙමුව. එලෙසම සිදුවුණු බව නුඹලා දන්නහුය. 5 මේ නිසා මටත් තවත් ඉවසා ගන්ට නොහැකිව, පරික්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්ය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි. 6 දැන් තිමොතියස් නුඹලා වෙතින් අප ලඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් පේ‍්‍රමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත් කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක් මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල, 7 සහෝදරයෙනි, අපේ සියලු අමාරුවලදීත් පීඩාවලදීත් නුඹලාගේ ඇදහිල්ල නිසා නුඹලා සම්බන්ධව සැනසීම ලැබීමුව. 8 මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටිහු නම් අපි ජීවත් වමුව. 9 මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සඳහා ප‍්‍රීතිය වන සියලු ප‍්‍රීතිය නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට මොන ස්තුතියක් දෙන්ට අපට පුළුවන්ද? 10 නුඹලාගේ මුහුණ දකින පිණිසද නුඹලාගේ ඇදහිල්ලේ අඩුපාඩුකම් සම්පූර්ණ කරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධික ලෙස යාච්ඤා කරමුව. 11 ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේද නුඹලා වෙතට එන්ට අපට මාර්ගය සලස්වා දෙන සේක්වා. 12 අප නුඹලාට පේ‍්‍රම කරන්නාක් මෙන්ම ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් නුඹලාගේ පේ‍්‍රමය වැඩිකර, එයින් නුඹලා පුරවා, 13 මෙසේ අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධ කමින් නිදොස්ව තිබෙන්ට ස්ථිර කරන සේක්වා.

1 තෙසලෝනික 4

1 ඉතින් සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ සතුටු කරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැකගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාද කරමුව. 2 මක්නිසාද අපි ස්වාමීවූ යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලාට මොන ආඥා දුනිමුද කියා නුඹලා දන්නහුය. 3 දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය- නුඹලා වේශ්‍යාකමින් වැලකී, 4 නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව, 5 ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්, 6 මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂි දුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පලි ගන්නා කෙනෙක්ය. 7 දෙවියන්වහන්සේ අප කැඳවූයේ අපවිත‍්‍ර කමට නොව ශුද්ධ කමටය. 8 එබැවින් එපා කරන්නා මනුෂ්‍යාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය. 9 එහෙත් සහෝදර පේ‍්‍රමය ගැන නම් නුඹලාට ලියන්නට වුවමනා නැත. මක්නිසාද එකිනෙකාට පේ‍්‍රම කරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය. 10 සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ පේ‍්‍රම කරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩවඩාත් එසේ කරන මෙන්ද, 11 පිටත සිටින්නන් ගැන ඔබින ලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්, 12 අප නුඹලාට අණ කළ ලෙස නිෂ්චලව සිටින්ට උත්සහා කරන මෙන්ද, නුඹලාගේම කාරණ බලාගන්නා මෙන්ද, නුඹලාගේ අත් වලින් වැඩ කරන මෙන්ද, අපි නුඹලාට අවවාද කරමුව. 13 තවද සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා ශෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව. 14 මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණු සේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙනසේක. 15 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමු යයි ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව. 16 මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදුතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. ක‍්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. 17 එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුල් වලින් අහසට ඇද ගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමග සිටින්නෙමුව. 18 ඉන්නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගනිල්ලා.

1 තෙසලෝනික 5

1 නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප‍්‍රස්ථවල්ද ගැන නුඹලාට යමක් ලියන්ට උවමනා නැත. 2 මක්නිසාද රාත‍්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා හොඳ හැටි දනිහුය. 3 සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලි රුජාව පැමිණෙන්නාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ. ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නේය. 4 නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති. 5 කුමක් හෙයින්ද නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත‍්‍රයෝය. අපි රාත‍්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව, 6 එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු. 7 මක්නිසාද නිදාගන්නෝ රාත‍්‍රීයෙහි නිදාගනිති, මත් වෙන්නෝ රාත‍්‍රියෙහි මත් වෙති. 8 නුමුත් දවාලට අයිති අපි ඇදහිල්ල සහ පේ‍්‍රමය නැමති ළයවැස්මත් ගැළවීමේ බලාපොරොත්තුව නැමති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී සිටිමු. 9 මක්නිසාද දෙවියන්වහන්සේ උදහසට නොව අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේ කරණ කොට ගෙන ගැළවීම ලබා ගැනීමට අප නියම කළ සේක. 10 අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමග එක්ව ජීවත් වන පිණිස ක‍්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළ සේක. 11 එබැවින් නුඹලා කරන්නාක් මෙන් එකිනෙකාට අවවාද කොට, එකිනෙකා වර්ධනය කරගනිල්ලා. 12 තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙස ගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප‍්‍රධාන කම් කරන්නාවූ නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන, 13 ඔවුන්ගේ වැෙඩි නිසා පේ‍්‍රමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටපල්ලා. 14 ඇරත්, සහෝදරයෙනි, අනියම් ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ය කරන මෙන්ද දුර්වලයන්ට ආධාර වන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාද කරමුව. 15 කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරපල්ලා. 16 නිතරම ප‍්‍රීතිවෙයල්ලා. 17 නොකඩව යාච්ඤා කරපල්ලා. 18 සියල්ලේදී ස්තුති කරපල්ලා. මක්නිසාද ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. 19 ආත්මයාණන්වහන්සේ නොනිවල්ලා, 20 අනාගතවාක්‍ය කීම් සුළු කොට නොසිතල්ලා, 21 සියල්ල සෝදිසි කර බලා, යහපත්දේ තදින් අල්ලා ගනිල්ලා, 22 සියලු අන්දම් නපුරෙන් වැලකියල්ලා. 23 සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත‍්‍ර කරන සේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප‍්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. 24 නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ඨ කරනසේක. 25 සහෝදරයෙනි, අප උදෙසා යාච්ඤා කරපල්ලා. 26 සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාර කරපල්ලා. 27 මේ ලියුම සියලු සහෝදරයන්ට කියවා දෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් නුඹලාට අණ කරමි. 28 මේ ලියුම සියලු සහෝදරයන්ට කියවා දෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් නුඹලාට අණ කරමි.

2 තෙසලෝනික 1

1 පාවුල්ද සිල්වානස්ද යන අප විසින් අපගේ පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමීවු යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන තෙසලෝනික වරුන්ගේ සභාවට ලියා එවන වග නම්: 2 පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවු යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. 3 සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුති කරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩි වන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ පේ‍්‍රමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුති කරන්ට යුතුය, 4 එබැවින් නුඹලාගේ සියලු පීඩා වලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිර කමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභා වලදී පාරට්ටු කරමුව. 5 ඒ ඉවසීම වනාහි දෙවියන්වහන්සේගේ රාජ්‍ය උදෙසා දුක් විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුස්සෝ යයි ඒත්තු ගනු ලැබීමට තිබෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය. 6 කුමක් හෙයින්ද ස්වාමීවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක‍්‍රමයේ දූතයන් සමග ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී, 7 දෙවියන්වහන්සේ නාඳුනන්ටත් අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප‍්‍රතිඵල දෙනකල, 8 නුඹලාට දුක් දෙන්නන්ට දුකද දුක් විඳින නුඹලාට අප සමග සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය. 9 ඒ දවසේදී ස්වාමීන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් අපේ සාක්ෂිය අදහා ගත් නුඹලා සමග අදහාගත් සියල්ල තුළ මවිත ලෙස පෙනෙන්ටත් එන කල්හි, 10 ඒ තැනැත්තෝ උන්වහන්සේගේ අභිමුඛයෙන්ද උන්වහන්සේගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය. 11 එබැවින් අපගේ දෙවියන්වහන්සේගේත් ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේත් කරුණාව ලෙස නුඹලා තුළ අපගේ ස්වාමීවු යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ නාමයද උන්වහන්සේ තුළ නුඹලාද ගෞරවයට පැමිණෙන පිණිස, 12 නුඹලාගේ කැඳවීමට සුදුස්සෝ යයි අපගේ දෙවියන්වහන්සේ විසින් ඒත්තු ගෙන, යහපත් කමේ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක‍්‍රියාද ස්වකීය බලයෙන් සම්පූර්ණ කරන මෙන් අපි නිතරම නුඹලා ගැන යාච්ඤා කරමුව.

2 තෙසලෝනික 2

1 සහෝදරයෙනි, අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඊමද උන්වහන්සේ වෙතට අපගේ රැස්වීමද ගැන, 2 ස්වාමීන්වහන්සේගේ දවස ළංවී තිබේ යයි ආත්මයෙන් වත් වචනයෙන්වත් අපෙන් ලැබුනාක් මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි නුඹලාගෙන් උදක්ම ඉල්ලමුව. 3 කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරිල්ලා. මක්නිසාද ඇදහිල්ලෙන් වැටීයාමත් විනාශයේ පුත‍්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්ණේය. 4 ඔහු, දෙවියන්වහන්සේ යයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාර කරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස් කරගෙන, දේව මාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය. 5 ඔහු තමාගේම කාලයේදී එළිදරව් වෙන පිණිස දැන් වලක්වන්නේ කිමෙක්ද කියාත් නුඹලා දනිහුය. 6 මක්නිසාද නොපනත්කමේ අභිරහස දැනටම ක‍්‍රියා කරන්නේය. නුමුත් තමා පහකරනු ලබන තුරු දැන් වලක්වන්නාවූ කෙනෙක් සිටී. 7 එවිට නොපනත් කම් කරන්නා එළිදරව් වන්නේය ස්වාමීවූ යේසුස්වහන්සේ තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්වහන්සේගේ ඊමේ ප‍්‍රකාශවීමෙන් නාස්ති කරනසේක. 8 ඔහුගේ ඊම සාතන්ගේ ක‍්‍රියා කිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර අශ්චර්ය වලින්ද ලකුණු වලින්ද පුදුම වලින්ද, 9 විනාශ වෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි වලින්ද යුක්තවේ, මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑ කමට පේ‍්‍රමවීම පිළි නොගත්තෝය. 10 මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප‍්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස, 11 මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප‍්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස, 12 බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක‍්‍රියාකිරීමක් ඔවුන්ට එවනසේක. 13 නුමුත් ස්වාමීන්වහන්සේ විසින් පේ‍්‍රම කරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදු කිරීමද සැබෑව ඇදහීමද කරණකොට ගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන් ගැන්මේ සිට නුඹලා තෝරා ගත් නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට ස්තුති කරන්ට අපි බැඳී සිටිමුව. 14 අපේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ තේජස ලබා ගැනීම පිණිස උන්වහන්සේ අපේ ශුභාරංචිය කරණ කොට ගෙන නුඹලා ඊට කැඳෙවූ සේක. 15 එබැවින්, සහෝදරයෙනි, නුඹලා ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ නුඹලාට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටපල්ලා. 16 තවද අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේමද අපට පේ‍්‍රම කොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග‍්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද, 17 නුඹලාගේ සිත් සනසා, සියලු යහපත් ක‍්‍රියාවලද වචන වලද නුඹලා ස්ථිර කරන සේක්වා.

2 තෙසලෝනික 3

1 ඉතින්, සහෝදරයෙනි, සිද්ධවුණාක් මෙන් (වෙනතැන්වලත්) ස්වාමීන්වහන්සේගේ වචනය පතළවී ගොස් ගෞරවයට පැමිණෙන පිණිසද, 2 හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤා කරපල්ලා. මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත, 3 නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටින සේක, උන්වහන්සේ නුඹලා ස්ථිර කොට නපුරාගෙන් ආරක්ෂා කරන සේක. 4 තවද අප ආඥා කරන දේ නුඹලා කරනවාය කියාද මතුත් කරනවා ඇත කියාද නුඹලා ගැන ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමුව. 5 ස්වාමීන්වහන්සේද නුඹලාගේ සිත් දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයටත් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා. 6 තවද, සහෝදරයෙනි, අපෙන් ලැබූ නියෝග ප‍්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින මෙන් අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි නුඹලාට අණ කරමුව. 7 මක්නිසාද අප අනුව යන්නෝ වෙන්ට ඕනෑ කෙසේද කියා නුඹලාම දනිවුය. මක්නිසාද අපි නුඹලා අතරෙහි අනියම් ලෙස නොහැසිර, 8 කාගෙන්වත් කෑම නිකමට නොකා, නුඹලාගෙන් කාටවත් බරක් නොවන පිණිස වීර්ය හා වෙහෙසින් යුක්තව රෑ දවල් වැඩ කළෙමුව. 9 එසේ කළේ බරක් වෙන්ට අපට අයිතිවාසිකම නැති නිසා නොව, අපම නුඹලාට ආදර්ශයක් වන පිණිසත් නුඹලා අප අනුව යන්නන් වන පිණිසත්ය. 10 මක්නිසාද යමෙක් වැඩ කරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අප නුඹලා සමග සිටිද්දීම පවා නුඹලාට අණ කළෙමුව. 11 නුඹලා අතරෙන් සමහරු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණ වලට මැදි වෙමින්, අනියම් ලෙස හැසිරෙන බව අපි ඇසීමුව. 12 ඉඳින් නිෂ්චල කමින් වැඩ කරමින්, තමුන්ම ලබාගත් කෑම කන හැටියට අපි එබඳු අයට ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ආඥා කොට අවවාද කරමුව. 13 නුමුත් සහෝදරයෙනි, නුඹලා යහපත කිරීමට මැළි නොවෙල්ලා. 14 යමෙක් මේ ලියුමේ අපේ වචනයට කීකරු නොවන්නේ නම්, නුඹලා ඔහු බලාගෙන, ඔහු ලජ්ජාවන පිණිස ඔහු සමග සමාගම් නොපවත්වා සිටපල්ලා. 15 නුමුත් ඔහු සතුරෙකු මෙන් ගණන් නොගෙන, සහෝදරයෙකුට මෙන් දැනමුතු කම් දීපල්ලා. 16 සමාදානයේ ස්වාමීවන්වහන්සේම නුඹලාට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙන සේක්වා. 17 පාවුල් යන මාගේම අතින් ලියන ආචාර කිරීමය, ඒ වනාහි සියලු ලියුම් වලට ලකුණය, එසේ ලියමි. 18 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලා සියල්ලන් සමග වේවා.

1 තිමෝති 1

1 අපගේ ගැළවුම්කාරයණන් වන දෙවියන්වහන්සේගේද අපගේ බලාපොරොත්තුව වන යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේද ආඥාව ලෙස ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්, 2 ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමොතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමීවූ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා. 3 අමුතු ධර්ම නූගන්වන හැටියටද, ප‍්‍රබන්ධත් ඇදහිල්ලෙහිවූ දෙවියන්වහන්සේගේ මාර්ගය වර්ධනය කිරීම වෙනුවට විවාද උපදවන, 4 කෙළවරක් නැති පෙළපත් කතාත් නොසලකන හැටියටද, නුඹ විසින් සමහරුන්ට ආඥා කරන පිණිස, එපීසයෙහි නැවතී සිටින්ට කියා මා මකිදෝනියට යන කල නුඹට අවවාද කළෙමි, දැනුත් එසේ කරමි. 5 ආඥාවේ අභිප‍්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘද සාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන පේ‍්‍රමයය. 6 ඒ දේවලින් සමහරු අහක්ව නිෂ්ඵල කතාවට හැරී ගියෝය. 7 තමුන් කියන්නේ කිමෙක්ද කියාවත් නිසැක කොට සහතික කරන්නේ කුමන දේ ගැනද කියාවත් තේරුම් නොගෙන සිටින නුමුත්, ඔව්හු ව්‍යවස්ථාවේ ගුරුවරු වෙන්ට කැමැත්තෝය. 8 නුමුත් යමෙක් ව්‍යවස්ථාව නියම ලෙස භාවිතා කරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමුව. 9 ඔහු මෙය දැනගන්නවා ඇත: එනම්, ව්‍යවස්ථාව වනාහි ධර්මිෂ්ඨයෙකු නිසා නොව අධර්මිෂ්ඨයන් සහ අකීකරුවන්ද අභක්තීන් සහ පව් කාරයන්ද අපිරිසිදුවන් සහ දේව අපාහාසිකයන්ද පියවරුන් මරන්නන් හා මව්වරුන් මරන්නන්ද මිනී මරන්නන්ද, 10 වේශ්‍යාකම් කරන්නන්ද පුරුෂයන් සමඟ දුෂ්‍ය ක‍්‍රියා කරන්නන්ද මිනිසුන් සොරකම් කරන්නන්ද බොරුකාරයන්ද බොරු දිවුරන්නන් නිසාත්, 11 මට භාර දෙන ලද ශුභාන්විත දෙවියන්වහන්සේගේ තේජවත්වූ ශුභාරංචියේ හැටියට සාරවූ ඉගැන්වීමට විරුද්ධවූ වෙන කිසිවක් ඇද්ද, ඒ නිසාත් පිහිටුවන ලද බවය. 12 මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ මා පත් කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුති කරමි. 13 පළමුවෙන් මම අපහාස කරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නා කමින් හා ඇදහිලි නැති කමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි. 14 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ඇදහිල්ලද පේ‍්‍රමයද සමඟ අපගේ ස්වාමීන්වහන්සේගේ කරුණාව ඉතා අධික විය. 15 පව් කාරයන් ගලවන්ට ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්වප‍්‍රකාරයෙන් පිළිගතයුතුවූ කීමක්ය, ඔවුන් අතුරෙන් මම ප‍්‍රධාන පව්කාරයාය. 16 එසේ වී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදා කාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප‍්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය. 17 ඉදින් අමරණීයවූ, අදෘෂ්‍යමානවූ, එකම දෙවිවූ, සදාකාල රජ්ජුරුවන්වහන්සේට ගෞරවයද තේජසද සදාකාලේටම අත්වේවා. ආමෙන්. 18 මාගේ පුත‍්‍රවූ තිමොතියස්නි, නුඹ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ළෙස මේ ආඥාව නුඹට භාර දෙමි. 19 එනම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිට, ඒ වාඛ්‍ය වලින් යහපත් යුද්ධය කරන ලෙසය. සමහරු ඒ හෘද සාක්ෂිය අත්හැර දමා, ඇදහිල්ල නැමති නැව බිඳගත්තෝය. 20 හිමෙනියස්ද අලෙෂෙන්දර්ද එබඳු තැනැත්තෝය. අපහාස නොකරන්ට දැනමුතු වෙන පිණිස ඔවුන් සාතන්ට භාර දුනිමි.

1 තිමෝති 2

1 ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරණ පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරණ සියල්ලන් ඇතුළුව, 2 සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත් කම්ද ස්තුති දීම්ද පවත්වන්ට සියල්ලන්ට පළමුවෙන් අවවාද කරමි. 3 මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ, 4 අපගේ ගැළවුම් කාරයාණන්වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප‍්‍රසන්නව තිබේ. 5 මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදිහත්කාර කෙනෙකුත්ය. 6 උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාල වලදී ලැබේ. 7 ඒ පිණිස මම දේශනා කාරයෙක්ද පේ‍්‍රරිතයෙක්ද ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍ය ජාතීන්ගේ ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ ගැන මම බොරුවක් නොකියා සැබෑව කියමි. 8 එබැවින් පුරුෂයන් සෑම තැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤා කරනවාට කැමැත්තෙමි. 9 එසේම ස්ත‍්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත‍්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතු වලින්වත්, අනර්ඝ වස්ත‍්‍ර වලින්වත් නොව, 10 දේව භක්ති නාමය දරණ ස්ත‍්‍රීන්ට සුදුසු ලෙස යහපත් ක‍්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි. 11 ස්ත‍්‍රීන් නිශ්චලව සියලු ආකාර යටත්කම ඇතුව ඉගෙනගනීවා. 12 උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත‍්‍රියෙකුට ඉඩ නාරිමි. ඈ නිශ්ශබ්දව සිටීවා. 13 මක්නිසාද පළමුකොට ආදම්ද පසුව ඒවද සාදනු ලැබීය. 14 තවද ආදම් රැවටුණේ නැත. නුමුත් ස්ත‍්‍රී රැවටී, වරදට වැටී සිටින්නීය. 15 ඔව්හු විනීත භාවයෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් පේ‍්‍රමයෙහිත් ශුද්ධකමෙහිත් පවතින්නෝ නම්, දරුවන් වැදීමේදී - හෙවත් වැදීම කරණකොට ගෙන ගළවෙනවා ඇත.

1 තිමෝති 3

1 යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය. 2 එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ ආගන්තුක සත්කාරයට කැමතිවූ උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. 3 ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ, 4 තමාගේම පවුල හොඳින් හසුරුවා ගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය. 5 (නුමුත් යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප‍්‍රවේසම් කරන්නේ කෙසේද?) 6 ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අළුත් ගෝලයෙක් නොවිය යුතුය. 7 ඇරත් නින්දාවටද යක්ෂයාගේ මළපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය. 8 එසේම උපස්ථායකයෙක් සන්සුන්වූ, දෙයාකාර කතා නැත්තාවූ, බොහෝ මුද්‍රික පානයට ඇලුම් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ, 9 ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය. 10 ඔව්හුද පළමුකොට සෝදිසි කරනු ලැබ, ඉන්පසු නිදොස් නම්, උපස්ථායකයන් මෙන් මෙහෙකරත්වා. 11 එසේම ස්ත‍්‍රීවරුන් සන්සුන්වූ, කේළාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය. 12 උපස්ථායකයෝ වනාහි එක එක භාර්යාවකට පුරුෂයෝව, තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදර වාසීන්ද හොඳහැටි හසුරුවාගන්නෝව සිටිත්වා. 13 මක්නිසාද උපස්ථායකයන්ව යහපත් ලෙස සේවය කළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැක කමද ලබා ගනිති. 14 නුඹට මේ කාරණා මා ලියා එවන්නේ, ඉක්මනින් නුඹ ලඟට එන්ට බලාපොරොත්තු වන නුමුත්, 15 මා ප‍්‍රමාද වුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරවිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය. 16 දේව භක්තියේ රහසද නිසැකවම මහත්ය, උන්වහන්සේ මාංසයෙහි ප‍්‍රකාශවූ සේක. ආත්මසයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූ සේක, දූතයන්ට පෙනුණු සේක, අන්‍ය ජාතීන් අතරේ ප‍්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහනු ලැබූ සේක, තේජසට ඔසවා ගනු ලැබූ සේක.

1 තිමෝති 4

1 එහෙත් පසු කාල වලදී සමහරු මුළා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලි ලෙස කියන සේක. 2 එසේවන්නේ බොරු කියන්නාවූ, තමුන්ගේම හෘදය සාක්ෂියෙහි හංවඩු ලකුණු ඇත්තාවූ, සරණපාවා ගැනීම තහනම් කරන්නාවූ, 3 සැබෑව දැනගන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුතිදීමෙන් පිළිගන්නා පිණිස දෙවියන්වහන්සේ මැවූ කෑම වලින් වැලකීමට අණ කරන්නාවූ මිනිසුන්ගේ වංක කම කරණකොට ගෙනය. 4 දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයි දෙයක්වත් එපා කරන්ට යුතු නැත. 5 මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය. 6 නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහිකරවන්නෙහි නම්, ඇදහිල්ලේද මේ දක්වා නුඹ අනුව ගිය යහපත් ගුරුකමේද වචන වලින් නුඹ පෝෂ්‍ය වී ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නෙහිය. 7 නුමුත් අපහාසිකවූ මැහැලියන්ගේ ප‍්‍රබන්ධ එපා කොට, භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වාපන්න. 8 මක්නිසාද ශාරීරික ව්‍යයාමයෙන් ප‍්‍රයෝජන ටිකය, නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප‍්‍රයෝජනවත්ය. 9 මෙය විශ්වාසවූ සර්වප‍්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය. 10 එසේය, ඒ පිණිස අපි වැඩකරමුව, වීර්ය කරමුව, මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ප‍්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ, ගැළවුම්කාරයාණන්වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි අපි බලාපොරොත්තුව සිටිමුව. 11 මේ දේවල් ආඥාකොට උගන්වාපන්න. 12 නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩනෑර, කතාවෙනුත් හැසිරීමෙනුත් පේ‍්‍රමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදු කමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න. 13 මා එන තුරු කියවීමෙහිද අවවාද කිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගනින්න. 14 වැඩිමහල්ලන්ගේ අත්තැබීම ඇතුව අනාගතවාක්‍යයෙන් නුඹට දෙන ලද නුඹ තුල තිබෙන දීමනාව ව්‍යවහාර නොකර නොසිටින්න. 15 නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටපන්න. 16 නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප‍්‍රවේශම් වෙයන්න. ඒවායේ පැවතියන්න, මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවා ගන්නෙහිය.

1 තිමෝති 5

1 මහළු කෙනෙකුට සැර නොකර, පියෙකුට මෙන්ද යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද, 2 වැඩිමහල් ස්ත‍්‍රින්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදු කමින් සහෝදරියන්ට මෙන්ද අවවාද කරපන්න. 3 ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට ගෞරව කරපන්න. 4 නුමුත් යම් වැන්දඹු ස්ත‍්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමු කොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප‍්‍රත්‍යුපකාර කරන්ට ඉගෙන ගනිත්වා මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප‍්‍රසන්නව තිබේ. 5 ඇත්තටම අසරණවී සිටින වැන්දඹු තැනැත්තී දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙමින් රෑ දවල් කන්නලව්වලද යාච්ඤාවලද පවතින්නීය. 6 නුමුත් සැප සෙල්ලමින් පසුවන තැනැත්තී ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය. 7 ඔවුන් නිදොස්ව සිටින පිණිස මේ දේත් ආඥා කරපන්න. 8 යමෙක් තමාගේ අය, ප‍්‍රධාන කොටම තමාගේ පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපා කළේය. ඔහු නොඇදහිලි කාරයෙකුට වඩා නරකය. 9 වැන්දඹුවන්ගේ ගණනට ලියවෙන්ට යුතුව සිටින්නීනම්, වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්යාවව සිටියාවූ, 10 යහපත් ක‍්‍රියා ගැන ප‍්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ ආගන්තුක සත්කාර කළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාර කළාවූ, සියලු ආකාර වල යහපත් ක‍්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය. 11 නුමුත් යෞවන වැන්දඹුවන් එපා කරපන්න. මක්නිසාද ඔව්හු ක‍්‍රිස්තුස්වහන්සේට විරුද්ධවූ තෘෂ්ණා වලින් පෙලඹුණාම සරණපාවා ගන්ට ආශාවෙති. 12 මෙසේ ඔව්හු තමුන්ගේ පළමු විශ්වාසය අත් හැරිය බැවින් වරදට පැමිණෙති. 13 ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළි වෙන්ටත් ඉගෙන ගනිති. කම්මැළි වෙනවා පමණක් නොව නුසුදුසු දේ කතා කරමින් වාචාලියෝද අනුන්ගේ කාරණ සොයන්නෝද වෙති. 14 එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් වදනවාටත් ගෙදර ආණ්ඩු කරණවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි. 15 මක්නිසාද දැනටත් සමහරු අහක්ව සාතන් පස්සේ ගොස් සිටිති. 16 යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත‍්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාර කරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා. 17 යහපත්ලෙස ප‍්‍රධානකම් කරන වැඩිමහල්ලෝ, ප‍්‍රධාන කොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝ යයි ඒත්තු ගනු ලබත්වා. 18 මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලබන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ. 19 සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළිනොගනින්න. 20 අනික් අය භය වෙන පිණිස, පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරපන්න. 21 කලින් නිෂ්චය කරගෙනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේව දූතයන්ද ඉදිරියෙහි නුඹට අණ කරමි. 22 ඉක්මන්වී කිසිවෙකු කෙරෙහි අත් නොතබන්න. අනුන්ගේ පාප වලට පංගුකාරයෙක්ද නොවෙන්න. 23 නුඹම පිරිසිදුව සිටපන්න. මින් මතු වතුරම බොන්නෙක් නොවී, නුඹේ ආමාශය උදෙසාද නොයෙක් විට පැමිණෙන නුඹේ දුර්වල කම් නිසාද, මුද්‍රික පානය ටිකක් භාවිතා කරපන්න. 24 සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප‍්‍රකාශය, සමහරුන්ගේ පාප පසුව එළිදරව් වන්නේය. 25 එසේම පැහැදිලිව ප‍්‍රකාශවන්නාවූ යහපත් ක‍්‍රියාද ඇත, එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.

1 තිමෝති 6

1 වියගහට යටවූ යම් පමණ දාසයෝ ඇද්ද, දෙවියන්වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස නොපැමිණෙන පිණිස ඔව්හු තමුන්ගේ සවාමිවරු සියලු ආකාර ගෞරවය ලබන්ට වටින්නෝ යයි සිතත්වා. 2 ඇදහිලිවන්ත ස්වාමිවරු ඇත්තෝ වනාහි, ස්වාමිවරු සහෝදරයන් නිසා ඔවුන් සුළු නොකර ප‍්‍රයෝජන ලබන්නෝ ඇදහිලිවන්තයන්ද පේ‍්‍රමවන්තයන්ද වන බැවින්, වඩා සතුටින් ඔවුන්ට වැඩ කරත්වා. මේ කාරණ උගන්වා අවවාද කරපන්න. 3 යමෙක් සාරවූ වචන වලට, එනම් අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ වචන වලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්. ඔහු කිසිවක් නොදැන, 4 වචන ගැන ප‍්‍රශ්න කිරීමෙන්ද වාද කිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි, එහෙයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරු යයි සිතීම්ද, දුෂ්‍යවන සිත් ඇත්තාවූ, 5 සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාබයට මාර්ගය යයි සිතන්නාවූ මනුෂ්‍යයයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය. 6 ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය. 7 මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. 8 තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව. 9 නුමුත් ධනවත් වෙන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මළපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලටද වැටෙන්නෝය. 10 මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙත් මුළාව ගොස්, බොහෝ වේදනා වලින් තුමූම ඇනගත්තෝය. 11 නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද පේ‍්‍රමයද ස්ථිර කමද මෙළොක් ගුණයද පස්සේ පලයන්න. 12 ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගනින්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප‍්‍රකාශනය කර සිටියෙහිය. 13 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ප‍්‍රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව, පවත්වන ලෙස 14 සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප‍්‍රකාශනය කළාවූ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි නුඹට ආඥා කරමි. 15 ශුභාන්විත එකම අධිපතියාණන් වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව, සිටින එකම අමරණීයවූ, 16 කිසිවෙකුට ලඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටවත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප‍්‍රකාශවීම නියම කාල වලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක‍්‍රමයත් වේවා. 17 මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුල ලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්, යහපත කරන්ටත්, 18 උතුම් ක‍්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගිවන්තව බෙදාදීමට ලැදිව සිටින්ටත්, 19 සැබවින් ජීවනයවූ ජීවනය අල්ලාගන්නා පිණිසත් මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් ආඥා කරපන්න. 20 තිමොතියස්නි, දැනගැන්ම යයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලි වලින්ද විරුද්ධකම් වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂා කරපන්න, 21 සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණෝය. අනුග‍්‍රහය නුඹ සමඟ වේවා. ආමෙන්.

2 තිමෝති 1

1 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ජීවනයේ පොරොන්දුව ලෙස දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොට ගෙන ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේගේ පේ‍්‍රරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්, 2 මාගේ පේ‍්‍රමවන්ත දරුවා වන තිමොතියස්ට ලියා එවන වගනම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමීවූ ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද, කරුණාවත් දයාවත් සමාදානයත් වේවා. 3 මම රෑ දවල් කඩ නැතුව මාගේ යාච්ඤා වලදී නුඹ සිහි කරමින්, මුතුන්මුත්තණුවන් පටන් පවිත‍්‍ර හෘද සාක්ෂියකින් මා සේවය කරන දෙවියන්වහන්සේට ස්තුති කරමි. 4 එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප‍්‍රිතියෙන් පූර්ණ වන පිණිස නුඹ දකින්ට ආශාවෙමි. 5 ඒ ඇදහිල්ල පළමු කොට නුඹේ ආචිචී වූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එව්නීකී තුළද වාසය කළාය. නුඹ තුළත් එය වාසය කරන බව විශ්වාස කරගෙන සිටිමි. 6 ඒකාරණය නිසා මාගේ අත්තැබීම කරණකොට ගෙන නුඹ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දිමනාව පුබුදු කරන හැටියට නුඹට සිහිකරවමි. 7 මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් පේ‍්‍රමයෙත් හික්මවීමේත් ආත්මයක්ය. 8 එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක්වන මාගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප‍්‍රකාරයට සුභාරංචිය නිසා මා සමඟ දුක් විඳපන්න. 9 උන්වහන්සේ අපේ ක‍්‍රියාවල ප‍්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප‍්‍රායේද කිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාල වලට ප‍්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේද ප‍්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවා ගත්සේක. 10 මරණය නැතිකර ජීවනයත් අමරණභාවයත් ශුභාරංචිය කරණකොට ගෙන එළිදරව් කළාවූ අපගේ ගැළවුම්කාරවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ප‍්‍රකාශවීමෙන් ඒ කරුණාව දැන් ප‍්‍රකාශවී තිබේ. 11 ඒ ශුභාරංචියට මම දේශනාකාරයෙක්ද පේ‍්‍රරිතයෙක්ද ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. 12 ඒ කාරණය නිසා මේ දේවලූත් විඳිමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහා ගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප‍්‍රවේශම් කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාස කරගෙන සිටිමි. 13 නුඹ මාගෙන් ඇසූ සාරවූ වචන වල ආදෘශය ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ පේ‍්‍රමයෙන් යුක්තව අල්ලාගන සිටපන්න. 14 නුඹට භාර දුන් යහපත් දෙය අප තුළ වසන ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොට ගෙන ආරක්ෂා කරපන්න. 15 පිගෙලස්ද හර්මොගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව නුඹ දන්නෙහිය. 16 ඔනේසි පොරස්ගේ පවුලට ස්වාමීන්වහන්සේ කරුණා කරණ සේක්වා. මක්නිසාද ඔහු නොයෙක්වර මා ප‍්‍රාණවත් කළේය, මාගේ යදම් ගැනත් ඔහු ලජ්ජා නූණේය. 17 ඔහු රෝමයට ආ කළ බොහෝ උත්සහායෙන් මා සොයා මා සම්බවෙන්ට ආවේය. 18 (ඒ දවසේදී ඔහුට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන්වහන්සේ සලස්වන සේක්වා.) ඔහු එපීසයෙහිදී කොපමණදේ වලින් සේවය කළේද කියා නුඹ හොඳ හැටි දන්නෙහිය.

2 තිමෝති 2

1 එබැවින් මාගේ දරුව, ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත් වෙයන්න. 2 බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්ට සමර්ථවූ විශ්වාසවූ මනුෂ්‍යයන්ට භාරදීපන්න. 3 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙක් වෙයන්න. 4 හේවාකම් කරන්නාවූ කිසිවෙක්, ඔහු හේවායෙකු මෙන් ලියා ගත් අය සතුටු කරණ පිණිස, මේ ජීවිතයේ කාරණා වලට පටලැවෙන්නේ නැත. 5 තවද යමෙක් ක‍්‍රීඩාවන්හි පොරට යන්නේද, ඔහු නියම ලෙස නොයන්නේ නම් ඔටුන්න පැලඳලන්ට ලැබෙන්නේ නැත. 6 වැඩකරන ගොවියාම පළමු කොට ඵල භුක්ති විඳින්ට ඕනෑය. 7 මා කියනදේ කල්පනා කරපන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල ගැන නුඹට දැනගැන්ම දෙනවා ඇත. 8 මාගේ ශුභාරංචියේ ප‍්‍රකාරයට දාවිත්ගේ වංශයෙන් උපන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින බව සිහිකරපන්න. 9 ඒ ශුභාරංචිය නිසා වරද කාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳීමි, නුමුත් දෙවියන්වහන්සේගේ වචනය බැඳලා නැත. 10 එබැවින් තෝරාගත් අයද ක‍්‍රිස්තුස්වහන්සේ තුල ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමග ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි. 11 මේක විශ්වාසවූ කීමක්ය. අපි උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුව. 12 අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සේත්: නුඹලා නාඳුනමියි කියනසේක. 13 අපි අවිශ්වාස වුනත් උන්වහන්සේ විශ්වාසව සිටින සේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරු කරන්ට උන්වහන්සේට බැරිය. 14 මේ දේවල් සිහිකරවමින්, කිසි ප‍්‍රයෝජනයක් නැතුව, අසන්නන්ට හානිය සිදුවන ලෙස වචනය ගැන තරඟ නොකරන්ට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට ආඥා කරපන්න. 15 සැබෑවේ වචනය හරියාකාර පහදා දෙන්නාවූ, ලැජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව දෙවියන්වහන්සේට ඒත්තු වුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සහ කරපන්න. 16 නුමුත් අපහාසිකවූ හිස් දෙඩවිලි වලින් අහක්ව සිටපන්න. ඔවුන් අභක්තියේ තව දුරට ගමන් කරනවා ඇත, 17 ඔවුන්ගේ වචනද පිළිකාවක්මෙන් කාවදිනවා ඇත. හිමෙනියස්ද පිලේතස්ද එබඳු අයවල්ය, 18 ඔව්හු මළවුන්ගෙන් නැගිටීම දැනටම සිද්ධ වෙලා යයි කියමින් සැබෑ කම ගැන මුළාවී, සමහරුන්ගේ ඇදහිල්ල පෙරලති. 19 එසේ වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන් කරන සියල්ලෝ ධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය. 20 ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය, සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය. 21 එබැවින් යමෙක් මේවා අත් ඇර තමාම පවිත‍්‍ර කර ගනී නම්, ඔහු පිරිසිදු කරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිචිචියට සුදුසුවූ, සියලු යහපත් වැඩ වලට සූදානම්වූ ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය. 22 යෞවන වයසේ තෘෂ්ණා වලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්නන් සමඟ ධර්මිෂ්ඨ කමත් ඇදහිල්ලත් පේ‍්‍රමයත් සමාදානයත් අනුව පලයන්න. 23 නුමුත් මෝඩවූ අඥානවූ විවාද වලින් ඩබර උපදින බව දැන, ඒවා එපාකරපන්න. 24 ස්වාමීන්වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ උගන්වන්ට සමර්ථවූ ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට, 25 විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමන්ගේ කැමැත්ත කිරීමට අසුකර ගත් ඔවුන් මත් කමෙන් පිබිද, 26 ඔහුගේ මලපතෙන් මිදෙන පිණිසද, දෙවියන්වහන්සේ ඔවුන්ට පසුතැවිල්ල දෙනසේක්දෝයි බලමින් මෘදු කමෙන් ඔවුන්ට තරවටුකරන්ට ඕනෑය.

2 තිමෝති 3

1 නුමුත් අන්තිම දවස් වලදී අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගනින්න. 2 මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම පේ‍්‍රම කරන්නෝව, මුදලට පේ‍්‍රම කරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදාරම් කාරයෝව, අපහාස කරන්නෝව, මව්පියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, 3 ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, ක‍්‍රෑරයෝව, යහපතට පේ‍්‍රම නොකරන්නෝව, 4 ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට පේ‍්‍රම කරන්නෝව, 5 දේවභක්තියේ වේශය දරණ නුමුත් එහි බලය එපා කළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙයන්න. 6 මක්නිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල් වලට ඇතුල්වී, පාපවලින් බරවූ අනේකාකාර තෘෂ්ණාවලින් ගෙන යනු ලබන්නාවූ 7 නිතර ඉගෙන ගන්න නුමුත් කිසි කලෙකත් සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරිවූ, මෝඩ ස්ත‍්‍රීන් වහල් කරගන්නාවූ අය වෙති. 8 යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධව සිටියාක් මෙන්ම මොව්හු සැබෑවට විරුද්ධව සිටිති, මොව්හු දුෂ්‍ය සිත් ඇත්තාවූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප‍්‍රයෝජනවූ මනුෂ්‍යයෝය. 9 නුමුත් මොවුන්ට තවත් දුර යන්ට ලැබෙන්නේ නැත. මක්නිසාද ඒ තැනැත්තන්ගේ අණුවනකම ප‍්‍රකාශ වුනාක් මෙන්ම මොවුන්ගේ අණුවන කමත් සියල්ලන්ට ප‍්‍රකාශවෙනු ඇත. 10 නුමුත් නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප‍්‍රායද ඇදහිල්ද, ඉවසිලිවන්තකමද, පේ‍්‍රමයද ක්ෂාන්තියද, 11 අන්තියෝකියේදීත් ලූස්ත‍්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි. ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදු සේක. 12 එසේය, ක‍්‍රිස්තුස්යේසුස්වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත්වෙන්ට කැමති සියල්ලෝම පීඩා වින්දෝය. 13 නුමුත් නපුරු මනුෂ්‍යයෝත් රැවටිලි කාරයෝත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක වන්නෝය. 14 එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනත්තන්ගෙන් ඉගෙන ගත්තෙහිද කියාත්, 15 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන ගැළවීම පිණිස නුඹ නැණවත් කරන්ට පුළුවන්වූ ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගෙන සිටින බව දැන, ඒවායෙහි පිහිටා සිටපන්න. 16 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක‍්‍රියා වලට සූදානම්ව සිටින පිණිස 17 දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම්දීමටත් ප‍්‍රයෝජනවත්ව තිබේ.

2 තිමෝති 4

1 දෙවියන්වහන්සේ ඉදිරියෙහිද ජීවත්ව සිටින්නන් සහ මළවුන් විනිශ්චය කරන්ට සිදාටින ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද. උන්වහන්සේගේ ප‍්‍රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ නම්: 2 වචනය දේශනා කරපන්න, කලටත් අකලටත් වැෙඩි යෙදී සිටපන්න, සියලු ආකාර ඉවසිලිවන්ත කමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාද කර, අනුශාසනා කරපන්න කියාය. 3 මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන, 4 සත්‍යයට කන් නොදී, ප‍්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය. 5 නුමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටපන්න, දුක් ඉවසාපන්න, ශුභාරංචිය ප‍්‍රකාශකරන්නෙකුගේ වැෙඩි කරපන්න, නුඹේ සේවය සම්පූර්ණ කරපන්න. 6 මක්නිසාද මම දැන් යාග කරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ. 7 මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි, මම දිවීම කෙළවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. 8 මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චය කාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප‍්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත. 9 මා ලඟට නොපමාව එන්ට වෑයම් කරපන්න. 10 මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය. 11 ලූක් පමණක් මා සමඟ සිටියි. මාර්ක් නුඹ සමඟ කැඳවාගෙන වරෙන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප‍්‍රයෝජනවත්ය. 12 ටිචිකස් එපීසයට යැවීමි. 13 ත්‍රෝවසයෙහි කාර්පස් ලඟ මා තබා ආ සළුවද පොත්ද, ප‍්‍රධාන කොට සම් පොත්ද, නුඹ එනවිට ගෙනෙන්න. 14 ලෝකරුවාවූ අලෙක්ෂන්දර් මට බොහෝ නපුරුකම් පෑවේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ ක‍්‍රියාවල් ලෙස ඔහුට විපාක දෙනවා ඇත. 15 ඔහු අතිශයින් අපගේ වචන වලට විරුද්ධව සිටිය නිසා නුඹත් ඔහුගෙන් ප‍්‍රවේශම් වෙයන්න. 16 මාගේ පළමුවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමග නොසිට සියල්ලෝම මා අත් හැර ගියෝය. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයෙදේවා. 17 නුමුත් මා කරණකොට ගෙන පණිවිඩය සම්පූර්ණ ලෙස ප‍්‍රකාශ වන පිණිසත් එය සියලු ආකාර අන්‍ය ජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ලඟ සිට මා ශක්තිමත් කළ සේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි. 18 ස්වාමීන්වහන්සේ හැම නපුරු වැඩ වලින් මා මුදා ආරක්ෂා කොට, තමන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයට මා පමුණුවන සේක. උන්වහන්සේට සදා කාලයටම මහිමය වේවා. ආමෙන්. 19 ප‍්‍රිස්කාටද අකිලාටද ඔනේසිපොරස්ගේ පවුලටද ආචාර කරපන්න. 20 එරස්තස් කොරින්තියෙහි නැවතුණේය. නුමුත් ත්‍රොපිමස් ලෙඩවූ බැවින් මිලේතසයෙහි නවත්වා ආවෙමි. 21 ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම් කරපන්න. සුබුලස්ද පූදෙන්ස්ද ලීනෙස්ද කේලෟදියාද සියලු සහෝදරයෝද නුඹට ආචාර කරති. 22 ස්වාමීන්වහන්සේ නුඹේ ආත්මය සමඟ සිටින සේක්වා. අනුග‍්‍රහය නුඹලා සමඟ වේවා.

තීතස් 1

1 බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප‍්‍රථමයෙන් පොරොන්දු වුණාවූ, 2 අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාර දෙන ලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප‍්‍රකාශ කිරීමෙන් නියම කාලවලදී එළිදරව් කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා, 3 දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේව භක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා, දෙවියන්වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්, 4 පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවාවූ තීතස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ගැළවුම්කාර ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේ ගෙන්ද කරුණාවත් සමාදානයත් වේවා. 5 මා එන විට නුඹ ක‍්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණු දේවල් නුඹ විසින් පිළිවෙලට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරණ පිණිසත්ය, 6 පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අව කල්ක‍්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරු වූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය. 7 මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක් මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ, 8 ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට පේ‍්‍රමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණදැන ක‍්‍රියාකරන්නාවූ, කෙනෙක්ව සිටින්ට ඕනෑය. 9 තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාද කරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්ද කරන්ටත් පුළුවන් වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය. 10 මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කතා කාරයෝවූ, රැවටිලි කාරවූ බොහෝ දෙනෙක් සිටිති, ප‍්‍රධාන කොට එසේව සිටින්නේ චර්මචේදිතයෝය. 11 ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැතිදේ උගන්වමින් මුළු පවුල් පෙරළති. 12 ක‍්‍රීත්වරු නිතරම බොරුකාරයෝය, නපුරු මෘගයෝය, කම්මැළි කෑදරයෝ යයි ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඔවුන්ගේම ප්‍රොපේත කෙනෙක් කියා තිබේ. 13 මේ සාක්ෂිය සැබෑය. මේ කාරණය නිසා ඔවුන් යුදෙව් ප‍්‍රබන්ධද සැබෑකමෙන් අහක්ව යන මනුෂ්‍යයන්ගේ ආඥාද නොසළකා, 14 ඇදහිල්ලෙහි හරිලෙස සිටින පිණිස ඔවුන්ට තදින් තරවටු කරපන්න. 15 පවිත‍්‍ර අයට සියලු දේ පවිත‍්‍රය. නුමුත් කිලුටුවූ නො ඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත‍්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදය සාක්ෂියත් කිලුටුව තිබේ. 16 ඔව්හු දෙවියන්වහන්සේ දැනගෙන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක‍්‍රියා ගැන නිෂ්ප‍්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක‍්‍රියා වලින් උන්වහන්සේව නාඳුනන බව ප‍්‍රකාශ කරති.

තීතස් 2

1 නුමුත් නුඹ සාරවූ ගුරුකමට හොබනා දේ කතා කරපන්න. 2 එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් පේ‍්‍රමයෙහිත් ඉවසීමෙහිත් හරි ලෙස සිටිය යුතුය. 3 එසේම මහලු ස්ත‍්‍රී වරුන්: ශුද්ධ කමට ඔබින ලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රික පානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය. 4 මෙසේ සිටිය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත‍්‍රීන් තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් පේ‍්‍රම කරමින්, 5 සිහියෙන් යුක්තව පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියෙක්ව, කරුණාවන්තව තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදු කරවන පිණිසය. 6 එසේම යෞවනයන්ට සිහියෙන් යුක්තව සිටින්ට අවවාද කරපන්න. 7 සියල්ලෙහිදී නුඹම යහපත් ක‍්‍රියා වල ආදර්ශයක් වෙයන්න; විරුද්ධ කාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව, 8 ලජ්ජා වන පිණිස නුඹේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන් කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වාපන්න. 9 දාසයන් විසින්, අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ධර්මය සියලු කාරණා වලදී අලංකාර කරන පිණිස තමුන්ගේ ස්වාමිවරුන්ට යටත්ව සිට, සියලු කාරණවලදී ඔවුන් ප‍්‍රසන්න කරන හැටියටද, 10 විරුද්ධවාදීව නොසිට, සොරකම් නොකොට, සියලු ආකාර වල විශ්වාස කම පෙන්වන හැටියටද ඔවුන්ට අවවාද කරපන්න. 11 මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප‍්‍රකාශවී තිබේ. 12 අභක්තික කමද ලෞකික තෘෂ්ණාද එපාකර, ආශිර්වාද ලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප‍්‍රකාශවීම ගැනත් බලා සිටිමින්, 13 සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්වෙන පිණිස ඒ කරුණාව අප දැනුමැති කරන්නේය. 14 උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම් වලින් අප මුදා, යහපත් ක‍්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත‍්‍ර කරගන්න පිණිස අප උදෙසා තමුන්ම දුන්සේක. 15 මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා, අවවාද කොට, තරවටු කරපන්න. කිසිවෙකුට නුඹ සුළු කොට සිතන්ට ඉඩ නාරින්න.

තීතස් 3

1 අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත්වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත්වැඩ වලට සූදානම්ව සිටින්ටද, 2 කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවාපන්න. 3 මක්නිසාද අපිත් වරක් අඥාණව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වාල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින් නුරුස්සනු ලබන්ට රිස්සෝව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව. 4 නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති පේ‍්‍රමයද ප‍්‍රකාශවූ කල, 5 අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක‍්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්ගේ අළුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක. 6 එසේය, උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරණු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස, 7 උන්වහන්සේ අපගේ ගැළවුම්කාරයාණන්වූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන ශුද්ධාත්මය අධික ලෙස අප පිට වැගිරෙවූසේක. 8 මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක‍්‍රියාවල යෙදී සිටින්ට බලාගන්න පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප‍්‍රයෝජනවත්වූ දේවල්ය. 9 නුමුත් මෝඩ වාද, පෙළපත් කතා, විවාද ව්‍යවස්ථාව ගැන ඩබර යන මේවායින් අහක්වෙයන්න; මක්නිසාද ඒවා නිෂ්ඵලය, නිරර්ථකය. 10 භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව් කරන බවත් නුඹ දන්න බැවින්, 11 පළමුවෙනි දෙවෙනි අවවාදයෙන් ඔහු එපාකරපන්න. 12 මම නිකපොලිසෙහි ශීතකාලයේ සිටින්ට නියම කර ගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ලඟට එව්වාම එහි මා ලඟට එන්ට උත්සාහ කරපන්න. 13 නීතිඥයෙක්වූ සේනස්ටත් අපොල්ලොස්ටත් කිසි අඩුපාඩුවක් නොවන පිණිස ඔවුන්ගේ ගමනට කඩිසරලෙස උපකාරකරපන්න. 14 තවද අපේ අයවලුත් ඵල නැතුව නොසිටින පිණිස උවමනා කරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙනගනිත්වා. 15 මා සමඟ සිටින සියල්ලෝම නුඹට ආචාර කරති. ඇදහිල්ලෙහි අපට පේ‍්‍රම කරන්නන්ට ආචාර කරපන්න. අනුග‍්‍රහය නුඹලා සියල්ලන් සමඟ වේවා.

පිලමොන් 1

1 ක‍්‍රිස්තුස්වහන්සේගේ හිරකාරයෙක් වන පාවුල්ද සහෝදරවූ තිමොතියස්ද යන අප විසින් අපේ පේ‍්‍රමවන්තවූ හවුල් සේවකයෙක් වූ පිලෙමොන්ටද, 2 අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කීපස්ටද නුඹේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්: 3 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. 4 ස්වාමීවූ යේසුස්වහන්සේ කෙරෙහිද සියලු ශුද්ධවන්තයන් කෙරෙහිද තිබෙන නුඹේ පේ‍්‍රමයත් ඇදහිල්ලත් ගැන මම අසා, 5 නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැනගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ හවුල්කාරකම ක‍්‍රිස්තුස්වහන්සේ උදෙසා බලවත්වන පිණිස, 6 මාගේ යාච්ඤා වලදී නුඹ ගැන මතක් කරමින් නිතරම මාගේ දෙවියන්වහන්සේට ස්තුති කරමි. 7 මක්නිසාද සහෝදරය, නුඹ කරණකොට ගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප‍්‍රාණවත් කරණු ලබන බැවින් නුඹේ පේ‍්‍රමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය. 8 ඒ නිසා සුදුසුව තිබෙන දෙය නුඹට ආඥාකරන්ට ක‍්‍රිස්තුස්වහන්සේ තුළ මට බොහෝ නිසැක කම තිබෙන නුමුත්, 9 එසේ නොකර, මහලුව, දැනට ක‍්‍රිස්තුස්වහන්සේගේ හිර කාරයෙක්ව සිටින පාවුල් නම් මම, පේ‍්‍රමය නිසා ඉල්ලා සිටිමි. 10 එසේ මා නුඹෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම් වල සිටියදී ජාතකකළ මගේ දරුවෙක්වූ ඔනේසීමස් ගැනය. 11 ඔහු වරක් නුඹට නිෂ්ප‍්‍රයෝජනව සිටිය නුමුත් දැන් නුඹටත් මටත් ප‍්‍රයෝජනව සිටියි. 12 මාගේම සිත වැනිවූ ඔහු නුඹ වෙත නැවත එවීමි. 13 ශුභාරංචිය නිසාවූ බැඳුම් වලදී ඔහු නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවා ගන්ට කැමතිව සිටියෙමි. 14 නුමුත් නුඹේ යහපත්කම බලයෙන් වාගේ නොව නිදහස් කැමැත්තෙන් වන පිණිස, නුඹේ කැමැත්ත නැතුව කිසිත් කරන්ට සතුටු නූණෙමි. 15 මක්නිසාද සමහරවිට ඔහු කලකට නුඹෙන් වෙන්වුණේ, මෙතැන් පටන් දාසයෙකු කොට නොව දාසයෙකුට වඩා පේ‍්‍රමවන්ත සහෝදරයෙකු කොට සදාකාලේටම ඔහු නුඹට ලැබෙන පිණිස වෙන්ට පුළුවන. 16 විශේෂ ලෙස මට පේ‍්‍රමවන්ත සහෝදරයෙක්වූ ඔහු කොපමණ වැඩියෙන් මාංසාකාරයෙන් සහ ස්වාමීන්වහන්සේ තුළ නුඹටත් එසේ නොවන්නේද, 17 ඉඳින් නුඹ මා පංගුකාරයෙකු සිට සිතනවා නම්, මා වාගේ ඔහු පිළිගනින්න. 18 ඔහු නුඹට අයුත්තක් කළා නම්, නොහොත් නුඹට ණයව සිටිනවා නම්, ඒක මාගේ ගණනට තබාපන්න. 19 පාවුල් නම් මම මාගේම අතින් මේක ලියමි: මම ඒක ගෙවන්නෙමි. (මෙසේ කියන්නේ) නුඹම මට ණයව සිටින බව නුඹට නොකියන පිණිසය. 20 එසේය, සහෝදරය, ස්වාමීන්වහන්සේ තුළ නුඹෙන් මට ප‍්‍රීතිය* (ප්‍රයෝජන) ලැබේවා. ක‍්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ සිත ප‍්‍රාණවත් කරපන්න. 21 මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාස කරගෙනය. 22 ඒ ඇර මට නවාතැනක් සූදානම් කරපන්න. මක්නිසාද නුඹලාගේ යාච්ඤා කරණකොට ගෙන මා නුඹලාට දෙනු ලැබේ යයි බලාපොරොත්තු වෙමි. 23 ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් හිරකාරයාවූ එපප‍්‍රස්ද 24 මාගේ හවුල් සේවකයන් වන මාර්ක්ද අරිස්තාර්කස්ද දේමස්ද ලූක්ද නුඹට ආචාර කරති. 25 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්ම සමග වේවා. ආමෙන්.

හේ‍‍බ්‍රෙව් 1

1 දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම් වලින්ද ප්‍රොපේත වරුන් ලවා පියවරුන්ට කථා කරවා, 2 මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත‍්‍රයාණන් ලවා අපට කථා කෙරෙවූ සේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක. උන්වහන්සේ කරණකොට ගෙන ලෝකවල් සෑදු සේක. 3 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප‍්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බල පරාක‍්‍රමයේ වචනයෙන් සියල්ල දරමින් පව් ගැන පවිත‍්‍රවීමක් කළ පසු, උසස්ථාන වල මහෝතමයාණන්ගේ දකුණු පැත්තෙහි හිඳගත්සේක. 4 මෙසේ දේවදූතයන්ට වඩා උත්කෘෂ්ඨ නාමයක් උන්වහන්සේට උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම්වූසේක. 5 මක්නිසාද: නුඹ මාගේ පුත‍්‍රයාය, මම අද නුඹ ජනිත කළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත‍්‍රයෙක් වන්නේය. කියාත්, දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද? 6 උන්වහන්සේ තමන්ගේ කුලූඳුල් පුත‍්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල: දෙවියන්වහන්සේගේ සියලු දුතයෝ උන්වහන්සේට නමස් කාර කරත්වයි කියනසේක. 7 දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරන සේකැයි කියනසේක. 8 නුමුත් පුත‍්‍රයා ගැන කථා කොට: දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදා කාලේටම පවත්නේය. ඔබගේ රාජ්‍යයේ ජය කොන්තය යුක්තියේ ජය කොන්තයක්ය. 9 මම ධර්මිෂ්ඨකමට ප‍්‍රියව අධර්මිෂ්ඨ කමට ද්වේෂ කළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප‍්‍රීතිය නැමති තෛලයෙන් ඔබ ආලේප කළ සේකැයි කියනසේක. 10 නැවතද: ස්වාමීනි, පටන් ගැන්මේදී ඔබ පෙළොවේ අත්තිවාරමලූසේක. ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති. 11 ඒවා විනාශ වන්නේය, නුමුත් ඔබ පවතින සේක. ඒ සියල්ල වස්ත‍්‍රයක් මෙන් පරණ වන්නේය, 12 ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක. වස්ත‍්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේ යයි කීසේක. 13 නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි දේව දූතයන්ගෙන් කවරෙකුට කොයි කලෙක උන්වහන්සේ කී සේක්ද? 14 ඔවුන් සියල්ලෝ ගැළවීම උරුම කරගන්ට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?

හේ‍‍බ්‍රෙව් 2

1 ඉන් නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑ කමින් අප විසින් සැලකිය යුතුය. 2 මක්නිසාද දේවදූතයන් කරණකොට ගෙන කියන ලද වචනය ස්ථිරවී, සියලු වරද ක‍්‍රියාවලටත් අකීකකරු කම් වලටත් සාධාරණ විපාකයක් ලැබුණේවී නම්, 3 පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොට ගෙන කියන ලද්දාවූ, ඇසුවන් විසින් අපට ස්ථිර කර දුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද? 4 දෙවියන්වහන්සේත් ලකුණු වලින්ද පුදුම වලින්ද අනේකාකාර ආශ්චර්ය වලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනා වලින්ද ඊට සාක්ෂි දුන්සේක. 5 මක්නිසාද අපි යම් ලෝකයක් ගැන කථා කරමුද පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය උන්වහන්සේ යටත් කළේ දේව දූතයන්ට නොවේය. 6 නුමුත් එක් කෙනෙක් එක් තැනක සාක්ෂි දෙමින්: ඔබ විසින් මනුෂ්‍යයා සිහිකරන්ට නොහොත් මනුෂ්‍ය පුත‍්‍රයා දෙස බැලීමට ඔහු කවරෙක්ද? 7 ඔබ දේවදූතයන්ට වඩා ඔහු මඳක් පහත් කළසේක, ඔබ තේජසද ගෞරවයද නැමති ඔටුන්න ඔහුට පැළඳවූසේක, ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු ආණ්ඩුකාරයා කළසේක. 8 ඔබ සියල්ලම ඔහුගේ පාද වලට යටත් කළ සේකැයි කීය. එසේය, උන්වහන්සේ සියල්ල ඔහුට යටත් කළ බැවින් කිසිවක් යටත් නොකොට හැරියේ නැත. එහෙත් දැන් සියල්ල ඔහුට යටත් කර තිබෙන බව තවම අපිට නොපෙනේ. 9 නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නැමති ඔටුන්න පැළඳ ගෙන සිටින බව අපට පෙනේ. 10 කුමක් හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණ කොට ගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත‍්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ ගැළවීමේ කතෘන් වහන්සේ දුක් විඳීම කරණ කොට ගෙන සම්පූර්ණ කරන්ට යුතු වූයේය. 11 මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එක් කෙනෙකු ගෙන්ය. ඒ කාරණය නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝ යයි කියන්ට ලජ්ජා නොවී: 12 මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප‍්‍රකාශ කරන්නෙමි. සභාව මධ්‍යයෙහි ඔබට ප‍්‍රසංසා ගීතිකා කරන්නෙමියි කියනසේක. නැවතද: 13 මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමියි කියාද ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක. 14 එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේත් එම ආකාරයෙන් ඒවාට පංගු කාරයෙක්වූ සේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොට ගෙන බල නැති කොට, 15 ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වාල් කමට යටත්ව සිටි සියල්ලන් නිදහස් කරන පිණිසය. 16 මක්නිසාද (පිහිටවීම සඳහා) සැබවින් උන්වහන්සේ අල්ලා ගන්නේ දේව දූතයන් නොව ආබ්‍රහම් ගේ වංශයය. 17 එබැවින් සෙනගගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පු කිරීමට දෙවියන්වහන්සේ පිළි බඳ කාරුණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමාන වෙන්ට උන්වහන්සේට යුතුවූයේය. 18 මක්නිසාද උන්වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක් වින්ද බැවින්, පරික්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්ට උන්වහන්සේට පුළුවන.

හේ‍‍බ්‍රෙව් 3

1 එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවු ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ පේ‍්‍රරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනා කරපල්ලා. 2 මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනන්වහන්සේට විශ්වාසව සිටිසේක. 3 ගෘහයට වඩා ගෘහය සෑදු අයට ගෞරවය තිබෙන්නාක් මෙන්ම, මුන්වහන්සේ මෝසෙස්ට වඩා ගෞරවය ලබන්ට වටින සේකැයි ඒත්තු ගන්නා ලද්දේය. 4 මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති, නුමුත් සියලු දේවල් පිහිටවූ තැනන්වහන්සේ දෙවියන්වහන්සේය. 5 සැබවින් මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ උන් වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය, 6 නුමුත් ක‍්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත‍්‍රයෙකු මෙන් විශ්වාසව සිටි සේක. අපි අන්තිමය දක්වා අපේ බලා පොරොත්තුවේ නිසැක කමද පාරට්ටුවද ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය. 7 එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, 8 මේ කාන්තාරයේදී පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදවීමෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා. 9 එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසි කර බැලීමෙන් පරීක්ෂා කොට, සතළිස් අවුරුද්දක් මාගේ ක‍්‍රියාවන් දුටුවෝය. 10 එබැවින් මම ඒ පරම්පරාවට අප‍්‍රසන්නවී: ඔව්හු නිතරම සිතින් මුළාවෙති, මාගේ මාර්ගයන්ද ඔහු දැන නොගත්තෝය. 11 ඔව්හු මාගේ විශ‍්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝ යයි මාගේ උදහසින් දිවුළෙමියි 12 කියන ලෙස, සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්වයන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලා ගනිල්ලා. 13 නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාර කමෙන් දැඩි නොවන පිණිස, අද යයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාද කරපල්ලා. 14 මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගනිල්ලා යයි කියා තිබෙන හැටියට, 15 අපේ විශ්වාසයේ පටන් ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක‍්‍රිස්තුස්වහන්සේගේ පංගු කාරයෝ වී සිටිමුව. 16 එසේය, ඇසූ කල්හි උදහස් ඉපදෙවුවෝ කවරහුද? මෝසෙස් කරණකොට ගෙන මිසරයෙන් පිටත්ව ආවාවූ සියල්ලෝ නොවෙද්ද? 17 තවද උන්වහන්සේ අප‍්‍රසන්නව සිටියේ කවුරුන් හෙයින්ද? පව්කළාවූ, තමුන්ගේ මළ කඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද? 18 තමන්වහන්සේගේ විශ‍්‍රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝ යයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද? 19 මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල් වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය.

හේ‍‍බ්‍රෙව් 4

1 එබැවින් උන්වහන්සේගේ විශ‍්‍රාමස්ථානයට ඇතුල්වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්ට බැරිවූ බැව් පෙනේදෝ කියා භය වෙමු. 2 මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනා කරන ලද්දේය. නුමුත් ඇසූවන් සමග ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප‍්‍රයෝජනවත් නොවීය. 3 මක්නිසාද අදහාගත් අපි ඒ විශ‍්‍රාමස්ථානයට ඇතුල් වෙමුව, ඒ ප‍්‍රකාරයට: මාගේ උදහසින් දිවුළ ලෙස ඔව්හු මාගේ විශ‍්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝ යයි උන්වහන්සේ කියා තිබේ. එසේ වුවත් ලෝකය මැවීමේ සිට වැඩ නිමවී තිබුණේය. 4 මක්නිසාද උන්වහන්සේ එක් තැනක සත්වෙනි දවස ගැන කථා කොට: දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සියලු වැඩ වලින් සත් වෙනි දවසේ නිවාඩු ගත්සේකැයි කියා තිබේ. 5 නැවත මේ පදයෙහිත්: ඔව්හු මාගේ විශ‍්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝ යයි කියා තිබේ. 6 එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමු කොට ඇසූ අය අකීකරු කම නිසා ඇතුල්නූණ බැවිනුත්, 7 උන්වහන්සේ දාවිත් ලවා එපමණ කාලයකට පසූ කථා කරවමින්, ඉහත කීවාක් මෙන්: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් නුඹලාගේ සිත් දැඩිකර නොගනිල්ලා යයි, අදය කියා, නැවත එක්තරා දවසක් නියම කරන සේක. 8 මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන් පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථා කරන්නේ නැත. 9 එබැවින් දෙවියන්වහන්සේගේ සෙනගට සබත් නිවාඩුවක් ඉතිරිව තිබේ. 10 මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ගේ වැඩ වලින් නිවාඩු ගත්තාක් මෙන්, උන්වහන්සේගේ විශ‍්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩ වලින් නිවාඩු ගත්තේය. 11 එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ‍්‍රාමස්ථානයට ඇතුල් වෙන්ට උත්සහා කරමු. 12 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුවහත් කඩුවකටවත් වඩා තියුණුය, ප‍්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය. 13 උන්වහන්සේ ඉදිරියෙහි ප‍්‍රකාශ නොවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේය. 14 එබැවින් අහස පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත‍්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිමු. 15 මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වල කම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. 16 එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑ කම් වලදී අපට උපකාරයට අනුග‍්‍රහය සම්බ වන පිණිසද නිසැක කමින් කරුණාවේ සිංහාසනයට ලඟා වෙමු.

හේ‍‍බ්‍රෙව් 5

1 මක්නිසාද සියලු උත්තම පූජකයෝ මනුෂ්‍යයන් අතරෙන් ගනු ලැබ පඬුරුත් පව් උදෙසා පූජාවලූත් ඔප්පු කරන පිණිස දෙවියන්වහන්සේට අයිති කාරණ සම්බන්ධව මනුෂ්‍යයන් උදෙසා පත් කරනු ලබන්නෝය. 2 ඔවුනුත් දුර්වල කමින් වටව සිටින බැවින් අඥානයන්ද මුළාවෙන්නන්ද ගැන මෘදු කමින් හැසිරෙන්ට ඔවුන්ට පුළුවන, 3 ඒ දුර්වල කම නිසා, සෙනඟ උදෙසා වාගේම තමුන් උදෙසාත් පව් ගැන පූජා ඔප්පු කරන්ට ඔවුන්ට ඕනෑ කර තිබේ. 4 තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවා ගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය. 5 එසේම ක‍්‍රිස්තුස්වහන්සේත් උත්තම පූජකයෙක් වීමේ ගෞරවය තමන්වහන්සේම ගත්තේ නැත. නුමුත්: නුඹ මාගේ පුත‍්‍රයාය, මම අද නුඹ ජනිත කළෙමියි උන්වහන්සේට කී තැනන්වහන්සේ ඒ ගෞරවය දුන්සේක, 6 එලෙසම වෙන තැනක : නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙල ප‍්‍රකාර සදාකල්ම පූජකයෙක්ව සිටින්නේ යයි උන්වහන්සේ කියනසේක. 7 උන්වහන්සේ මාංසවත්ව සිටින දවස් වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඞීමෙන් හා කඳුලින් යුක්ත යාච්ඤා හා කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේව භය නිසා උත්තර ලැබ, 8 උන්වහන්සේ පුත‍්‍රයෙක්ව සිටි නුමුත් තමන් වින්ද දේ වලින් කීකරු කම ඉගෙන ගත් සේක. 9 මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරනු ලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ හැටියට උත්තම පුජකයෙක්ය යන නම දෙවියන්වහන්සේගෙන් ලැබ, 10 තමන්වහන්සේට කීකරු වෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීමේ කතෘ වූසේක. 11 ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම් කර දෙන්ට අමාරුය. 12 මක්නිසාද කාලය ප‍්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට තිබියදීත්, දෙවියන්වහන්සේගේ වාඛ්‍ය වල මුල් ගුරු කම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ, නුඹලා දැඩි ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය. 13 ඉතින් කිරි බොන සෑම දෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්තව සිටිති. 14 නුමුත් දැඩි ආහාර ඕනෑ වන්නේ යහපත සහ අයහපත විමසා බලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.

හේ‍‍බ්‍රෙව් 6

1 ඒ නිසා මළ ක‍්‍රියාවල් ගැන පසුතැවිලිවීමද දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහීමද බෞතීස්ම කිරීම් ගැනත් අත් තැබීම ගැනත් මළවුන්ගේ නැගිටීම ගැනත්, 2 සදා කාල විනිශ්චය ගැනත් ඉගැන්වීමද නැමති අත්තිවාරමක් නැවත නොතබා, ක‍්‍රිස්තුස්වහන්සේගේ මුල් කාරණ පසුකර, සම්පූර්ණවීමට පැමිණෙමු. 3 දෙවියන්වහන්සේ ඉඩදෙන සේක් නම්, අපි එසේ කරන්නෙමුව. 4 මක්නිසාද වරක් ආලෝක කරනු ලැබූවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන් වහන්සේට පංගුකාරයන් වූණාවූ, 5 දෙවියන්වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බල වලද රසය බැලුවාවු තැනැත්තන්, 6 වැටී ගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන, මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි ඇණ ගසා නින්දාවට පමුණුවති. 7 මෙසේ නොයෙක්වර වහින වැස්ස උරා ගනිමින් වවන්නන්ට සුදුසු භෝග උපදවන පොළොවට දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලැබේ. 8 නුමුත් කටු ගස්ද ගොකටුද දරනවා නම් එපා කරනු ලැබ, ශාපයකට ළංව තිබේ, එහි කෙළවර දවනු ලැබීමය. 9 එහෙත් පේ‍්‍රමවන්තයෙනි, අපි මෙසේ කතා කරන නුමුත් යහපත්වූ ගැළවීමට අනුකූලවූ කොටසට නුඹලා අයිති බව අපි නිසැකව විශ්වාස කරමුව. 10 මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ පේ‍්‍රමයද මතක නැති කරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත. 11 නුමුත් නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැක කම සඳහා එම උත්සහා වන්ත කම පෙන්නනවාට අපි ආශා ඇත්තෙමුව. 12 ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්ත කමද කරණකොට ගෙන පොරොන්දු උරුමකරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය. 13 මෙසේ දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්: 14 සැබවින්ම නුඹට බොහෝ සෙයින් ආශිර්වාද කරන්නෙමි. බොහෝ සෙයින් නුඹ වර්ධනය කරන්නෙමියි කීසේක. 15 ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය. 16 සැබවින්ම මනුෂ්‍යයෝ වඩා උත්තමයා ගැන දිවුරති. ඔවුන්ගේ සියලු විවාද වලදී ස්ථිර කිරීම පිණිස කරන අන්තිම දේ නම් දිවිරීමය. 17 ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප‍්‍රාය වෙනස් නොවන බව බොහෝ සෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුම කින් මැදිහත්වූ සේක. 18 මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරු කියන්ට බැරිවූ වෙනස් නොවන කාරණ දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලා පොරොත්තුව අල්ලා ගැනීමට ආරක්ෂාව පිණිස අපට මහත් ධෛර්යක් ලැබෙන පිණිසය. 19 ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය. 20 යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක්වී අප උදෙසා පෙරටුව යන්නෙක්මෙන් එහි ඇතුල්වුසේක.

හේ‍‍බ්‍රෙව් 7

1 එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක් වූ, මේ මෙල්කිසදෙක් අබ‍්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සම්මුඛව ඔහුට ආශිර්වාද කළේය. 2 ආබ‍්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමු කොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජ යයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය. 3 තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත්, ජීවිතයේ කෙළවරක් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාට සමාන කරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය. 4 ඉතින් මොහු කොපමණ උතුම් කෙනෙක්ව සිටියේදැයි කල්පනා කරපල්ලා. 5 පියවූ ආබ‍්‍රහම් පවා කොල්ලගත් දේවලින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. ලෙවීගේ පුත‍්‍රයන් අතරෙන් පුජක තනතුර ලබන්නෝ ව්‍යවස්ථාව ලෙස සෙනගගෙන් - එනම් ආබ‍්‍රහම්ගෙන් පැවත ආවාවූ තමුන්ගේ සහෝදරයන්ගෙන් පවා- දසයෙන් කොටසක් ගන්ට අඥාවක් ලැබ සිටිති. 6 නුමුත් ඔවුන්ගේ පෙළපතට ඇතුලත් නැත්තාවූ තැනැත්තා දසයෙන් කොටසක් ආබ‍්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු ඇත්තාවූ ඔහුට ආශිර්වාද කළේය. 7 ආශිර්වාද කරන්නේ උතුම් අය විසින් කුඩා අයට බව වාද රහිතය. 8 නුමුත් මෙහිදී දසයෙන් කොටස ලබන්නෝ නසින්නාවූ මනුෂ්‍යයෝය, නුමුත් එහිදී ලබන්නේ ජීවත්වෙන බවට සාක්ෂි ලබන කෙනෙක්ය. 9 ඇරත් දසයෙන් කොටස ලබන්නාවූ ලෙවී පවා අබ‍්‍රහම් කරණකොට ගෙන දසයෙන් කොටස ගෙවුවේ යැයි කිය හැකිය. 10 මක්නිසාද මෙල්කිසදෙක් ආබ‍්‍රහම්ට සම්මුඛවූවිට, ලෙවී තමාගේ පියාගේ කටියේ සිටියේය. 11 ඉඳින් ලෙවීගේ පුජක කමින් සම්පූර්ණ කම පැමිණේ නම් ( මක්නිසාද ඒ සම්බන්ධව සෙනග ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකවෙයකු නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද? 12 මක්නිසාද පූජක කම වෙනස්වූ බැවින් ව්‍යවස්ථාවත් වෙනස්විය යුතුමය. 13 එසේය, යමෙකු ගැන මේ දේ කියන ලද්දේද, ඒ තැනන්වහන්සේ වෙන ගෝත‍්‍රයකට අයිතිය, ඒ ගෝත‍්‍රයෙන් කිසිවෙක් පූජාසනය ලඟ සේවය කළේ නැත. 14 මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යුදා ගෝත‍්‍රයෙන් නැගිටුන බව ඉතා පැහැදිලිය. ඒ ගෝත‍්‍රය ගැන පූජකයන් සම්බන්ධව කිසිවක් මෝසෙස් කීවේ නැත. 15 ඇරත් මාංසයට අයිති ආඥා පනතේ හැටියට නොව පහ නොවන ජීවිතයක හැටියට පත් කරනු ලැබූ, 16 අන් පූජකයෙක් මෙල්කිසදෙක්ගේ සමානත්වයේ හැටියට නැගිටින්නේ නම් අප කියන දේ ඉතාමත්ම පැහැදිලිව තිබේ. 17 මක්නිසාද: ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලයටම පූජකයෙක්ව සිටින සේකැයි උන්වහන්සේ ගැන සාක්ෂි දී තිබේ. 18 මෙසේ ව්‍යවස්ථාව කරණකොට ගෙන කිසිවක් සම්පූර්ණ නොවූ බැවින්, පළමු තිබූ ආඥාවේ දුර්වල කම හා නිෂ්ප‍්‍රයෝජන කම නිසා ඒක අවලංගු කිරීමද, 19 වඩා යහපත් බලාපොරොත්තුවක් පැමිණවීමද සිද්ධවේ. ඒ බලාපොරොත්තුව කරණකොට ගෙන අපි දෙවියන්වහන්සේ වෙතට ලඟා වෙමුව. 20 ඉතින් ඔව්හු සැබවින් දිවුරුමක් නැතුව පූජකයෝ වී සිටිති. 21 නුමුත් උන්වහන්සේ පූජකයෙක්ව සිටින්නේ: ඔබ සදාකාල පූජකයෙක්ය කියා තමන්වහන්සේ නොතැවෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළ සේකැයි උන්වහන්සේට කී තැනන්වහන්සේකරණකොට ගෙන දිවුරුමක් ඇතුවය. 22 මෙසේ දිවුරුමක් නැතුව නොවන නිසා, එපමණටම යේසුස්වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇප කාරයාවී සිටිනසේක. 23 තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔව්හු ගණනින් බොහෝ පූජකයෝව සිටිති. 24 නුමුත් මුන්වහන්සේ, සදාකාලේටම පවතින හෙයින්, උන්වහන්සේගේ පූජක කම පහවන්නේ නැත. 25 එබැවින්, උන්වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේට ලඟා වෙන්නන් උදෙසා මැදහත්කම් කරණ පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන. 26 එබඳුවූ ශුද්ධවූ, නිවරදිවූ, නොකිලුටුවූ පව් කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ග වලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය. 27 ඒ උත්තම පූජකයන් මෙන් පළමු කොට තමුන්ගේම පව් උදෙසාත් දවස් පතා පූජාවල් ඔප්පු කරන්ට උන්වහන්සේට උවමනාවක් නැත. මක්නිසාද උන්වහන්සේ තමන්ගේම පූජා කිරීමෙන් එක වරක්ම ඒක කළ සේක. 28 මක්නිසාද ව්‍යවස්ථාව දුර්වල කම් ඇත්තාවූ මනුෂ්‍යයන් උත්තම පුජකයන් කොට පත් කරන්නේය, නුමුත් ව්‍යවස්ථාවට පසු පැමුණුණවූ දිවුරුමේ වචනය තෙම සදාකාලේටම සම්පූර්ණව සිටින පුත‍්‍රයාණන් පත්කරන්නේය.

හේ‍‍බ්‍රෙව් 8

1 ඉතින් අප කියන දේවලින් ප‍්‍රධාන එක නම් ස්වර්ග වල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තාවූ, 2 මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද ශුද්ධස්ථානයේ හා සැබෑවූ මණ්ඩපයේ සේවකයෙක්වූ උත්තම පූජකයෙක් අපට සිටින බවය. 3 සියලු උත්තම පූජකයෝ පඬුරු සහ පූජා ඔප්පුකරන පිණිස පත් කරනු ලබති. එසේ හෙයින් පූජාකිරීමට මේ උත්තම පූජකයාටත් යමක් තිබෙන්ට ඕනෑය. 4 එහෙත් ව්‍යවස්ථාව ප‍්‍රකාර පඬුරු ඔප්පු කරන්නන් සිටින බැවින් උන්වහන්සේ (තවමත්) පොළොවේ සිටි සේක් නම් උන්වහන්සේට කිසිසේත් පූජකයෙක්ව සිටින්ට නුපුළුවන. 5 මෝසෙස් මණ්ඩපය සාදන්ට යනකල: කන්දේදී නුඹට පෙන්වන ලද ආදර්ශය ලෙස සියල්ල සාදන්ට බලාගනින්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගීයවූ දේවල සටහනක්ව ජායාවක්ව තිබෙන දෙයට සේවය කරති. 6 නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක. 7 මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම්, දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත. 8 එසේය, උන්වහන්සේ දොස් තබමින් ඔවුන්ට කතා කොට: බලව, මා විසින් ඉ‍්‍ර‍්‍රශ‍්‍රායෙල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමීන්වහන්සේ කියනසේක. 9 ඒවනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මවිසින් ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම මෙන් නොවේය, මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණෝය. මමද ඔවුන් නොසැලකූවෙමුයි ස්වාමීන්වහන්සේ කියනසේක. 10 එසේය, ඒ දවස් වලට පසු මා විසින් ඉශ‍්‍රායෙල් වංශය සමග කරන ගිවිසුම: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියනන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේද වන්නෙමි, ඔව්හුද මාගේ සෙනග වන්නෝය. 11 ස්වාමීන්වහන්සේ ඇඳිනගන්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය. 12 එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේකැයි කියා තිබේ. 13 අලුත් ගිවිසුමක් යයි කීමෙන් පළමු වෙනි ගිවිසුම පරණ කළ සේක. ඉඳින් පරණවන්නාවූ මහලූවන්නාවූ දෙය නොපෙනී යාමට ලඟය.

හේ‍‍බ්‍රෙව් 9

1 තවද පළමුවෙනි ගිවිසුමට පවා දේවමෙහෙයේ නියෝගද භූමික ශුද්ධස්ථානයද තිබුණේය. 2 මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදන ලද්දේය. එහි පහන් රුකද මේසයද පිදීමේ රොටීද තිබුණේය, 3 ඊට ශුද්ධස්ථානය යයි කියන ලදී. දෙවන තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානය යයි කියන ලද මණ්ඩපය තිබුණේය. 4 එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම් පෙටිටියද තිබුණේය. ඒ පෙටිටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය. 5 ඒක උඩ තේජසේ කෙරුබ්ටවරු කරුණාසනය වසාගෙන සිටියෝය, දැන් මේවා ගැන වෙන් වෙන් වශයෙන් කථා කරන්ට අපට නුපුළුවන. 6 ඉඳින් මේ දේවල් මෙසේ සූදානම් කොට තිබෙද්දී, පූජකයෝ මෙහෙයන් ඉෂ්ට කරමින් නිතරම පළමුවෙනි මණ්ඩපයට අතුල් වෙති. 7 නුමුත් දෙවෙනි මණ්ඩපයට උත්තම පූජකයා පමණක් අවුරුද්දකට එක වරක් ඇතුල්වේ, ඒත් ලේ නැතුව නොවේය, ඒ ලේ ඔහු තමා උදෙසාත් සෙනගගේ වැරදි උදෙසාත් ඔප්පු කරන්නේය. 8 මෙයින් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් හඟවන්නේ ඒ පළමුවෙනි මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප‍්‍රකාශ වී නැති බවය. 9 ඒ මණ්ඩපය වර්තමාන කාලයට උපහැරණයක්ය. ඒ ප‍්‍රකාරයට හෘදය සාක්ෂිය සම්බන්ධව සේවය කරන්නා සම්පූර්ණ කරන්ට නොහැකිවූ පඬුරු සහ පුජා ඔප්පුකරනු ලබන්නේය. 10 මේවා (කෑම වලින්ද බීම වලින්ද නානාප‍්‍රකාර සේදීම් වලින්ද යුක්තවූ,) සකස් කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට ඇති නියෝගවා පමණක්ය. 11 නුමුත් ක‍්‍රිස්තුස්වහන්සේ මතු පැමිණෙන යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම්වූ වඩා සම්පූර්වූ අතින් නොසෑදුවාවූ, එනම් මේ (භූමික) මැවිල්ලට අයිති නොවන්නාවූ මණ්ඩපය මැදින්, 12 එළුවන්ගේත් වස්සන්ගේත් ලේ කරණකොට ගෙන නොව, තමන්ගේම ලේ කරණකොට ගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක. 13 මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළ නෑම්ඹියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත‍්‍ර වෙන හැටියට පිරිසිදු කරනු ලබන්නේ නම්, 14 කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොට ගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුනාවූ ක‍්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, මළ ක‍්‍රියා වලින් නුඹලාගේ හෘදය සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද? 15 මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාව සිටිනසේක. එසේ වන්නේ පළමු වෙනි ගිවිසුමේ කාලයේදී කළ වරද වලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින්, කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය. 16 මක්නිසාද ගිවිසුමක් තිබෙන තැන ගිවිසුම කළාවූ අයගේ මරණයද පෙන්විය යුතුය. 17 එසේය, ගිවිසුමක් ස්ථිරවෙන්නේ මරණය සිදුවුණයින් පසුවය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කිසිසේත්ම වලංගු නැත. 18 එහෙයින්, පළමුවෙනි ගිවිසුමවත් ලේ නැතුව පිහිටුවනු නොලැබුවේය. 19 මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සියලු ආඥා කියාදුන් පසු, වස්සන්ගෙත් එළුවන්ගෙත් ලේ, වතුරද රතු ලොම්ද හිසොප්ද සමග ගෙන: 20 මේවා දෙවියන්වහන්සේ විසින් නුඹලා ගැන නියෝග කළ ගිවිසුමේ ලේ යයි කියමින් පොතටත් මුළු සෙනගටත් ඉස්සේය. 21 එසේය, මණ්ඩපයටත් සේවයේ සියලු භාජන වලටත් ඔහු ලේ ඉස්සේය. 22 ව්‍යවස්ථාවේ ප‍්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත‍්‍ර කරනු ලැබේ යයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමා කිරීමකුත් නැත. 23 එබැවින් ස්වර්ගයේ තිබෙන දේවල සටහන් මේවායින් පවිත‍්‍ර කරන්ට ඕනෑව තිබුණේය, නුමුත් ස්වර්ගීය දේවල්ම මීට වඩා උතුම් පූජා වලින් පවිත‍්‍ර කරනු ලබන්ට යුතුය. 24 මක්නිසාද ක‍්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධ ස්ථානයේ ආදෘශ වන, අතින් සෑදු ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක. 25 එහෙත් උත්තම පූජකයා අන්‍ය ලේ රැගෙන අවුරුදු පතා ශුද්ධස්ථානයට ඇතුල් වෙන්නාක් මෙන් උන්වහන්සේ බොහෝ වර තමන්ම ඔප්පුකරන පිණිස (ඇතුල්වුණා) නොවේය. 26 එසේ ඇතුල් වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වද විඳින්ට ඕනෑව තිබුණෙය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොට ගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක්වරක් ප‍්‍රකාශවූසේක. 27 තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම, 28 බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක‍්‍රිසතුස්වහන්සේත්, උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප‍්‍රකාශ වනසේක.

හේ‍‍බ්‍රෙව් 10

1 මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේ වල ජායාවක් මිස නියම රූපයම නොවන බැවින් ඔවුන් අවුරුදු පතා නිතර ඔප්පු කරන ඒ පූජා වලින්, ලඟා වෙන්නන් සම්පුර්ණ කරන්ට කිසි කලක නුපුළුවන. 2 පුළුවන්නම්, නමස්කාර කරන්නන් වරක් පවිත‍්‍ර කරන ලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පුකිරීම නවතින්නේ නැද්ද? 3 නුමුත් ඒ යාගවලින් අවුරුදු පතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය. 4 මක්නිසාද ගොනුන්ගේත් එළුවන්ගේත් ලෙයින් පව් පහ කරන්ට නුපුළුවන. 5 එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කතා කර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම් කරදුන්සේක, 6 මුළු දවන පූජා වලටත් පාප පූජා වලටත් ඔබ ප‍්‍රසන්න නුවූසේක. 7 එවිට මම කථා කොට: දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක. 8 ව්‍යවස්ථාවේ හැටියට ඔප්පු කරන පූජා වලටත් පඬුරු වලටත් මුළු දවන පූජා වලටත් පාප පූජා වලටත් ඔබ කැමති වන්නේවත් සතුටු වන්නේවත් නැතැයි ඉහත කී පසු: 9 මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමු වෙනි එක අහක් කරනසේක. 10 ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජා කිරීම කරණකොට ගෙන අපි පිරිසිදු කරනු ලැබ සිටිමුව. 11 තවද සියලු පූජකයෝ සිටගෙන, දවස් පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහ කරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පු කරති. 12 නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පු කොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳ ගත් සේක. 13 එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලා සිටිනසේක. 14 මක්නිසාද උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළසේක. 15 ශුද්ධාත්මයාණන් වහන්සෙත් අපට සාක්ෂි දෙමින්: 16 ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමග කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේකැයි කී පසු උන්වහන්සේ කථා කොට: 17 ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨ කම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක. 18 ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පු කිරීමක් තවත් නැත. 19 එබැවින්, සහෝදර වරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නැමති තිරය මැදින් අප උදෙසා කැප කළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, 20 උන්වහන්සේගේ ලේ කරණකොට ගෙන ශුද්ධස්ථානයට ඇතුල් වීමට අපට නිදහස් කම තිබෙන බැවින්ද, 21 දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, 22 නපුරු හෘදය සාක්ෂියකින් පිරිසිදු වීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැක කමින් ලඟා වෙමුව. 23 අපේ බලාපොරොත්තුවේ ප‍්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු, මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසව සිටින සේක. 24 තවද පේ‍්‍රමයටද යහපත් ක‍්‍රියා වලටද පොලඹ වන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු. 25 සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර ඒ දවස ළං වන බව නුඹලාට පෙනෙන ප‍්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු. 26 මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, 27 නිශ්චය ගැනත් විරුද්ධ කාරයන් දවා දමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. 28 මෝසෙස්ගේ ව්‍යවස්ථාව සුළු කළ අය දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරනු ලබන්නේය. 29 නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන් පාගා දමා, තමා පිරිසිදු කළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග‍්‍රහයේ ආත්මයාණන්ට අපහාස කළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද? 30 මක්නිසාද පළිගැනීම මට අයිතිය, මම්ම ප‍්‍රතිඵල දෙන්නෙමියි කියාද, ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනග විනිශ්චය කරන සේක කියාද කී තැනන්වහන්සේ අපි දනිමුව. 31 ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය. 32 නුමුත් නුඹලා ආලෝක කරනු ලැබුවාට පසු නුඹලා දුක් නැමති මහත් පොර බැදීමක් ඉසුලූවාවූ පළමු දවස් සිහිකරපල්ලා. 33 එසේවුනේ නින්දා සහ පීඩා කරණකොට ගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත්, එසේ කරනු ලැබූවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය. 34 මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පාව දැක්වූවා පමණක් නොව, වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන, නුඹලාගේ දේපල කොල්ලකෑම ප‍්‍රීතියෙන් ඉවසවුවහුය. 35 එබැවින්, මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැක කම අත්නාරිල්ලා. 36 මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය. 37 මක්නිසාද එන්නාවූ තැනන්වහන්සේ ප‍්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක. 38 ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබට වන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප‍්‍රසන්න නැත. 39 නුමුත් අපි වනාහි විනාශවන ලෙස පසුබට වීමට නොව ප‍්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිති වෙමුව.

හේ‍‍බ්‍රෙව් 11

1 ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. 2 එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය. 3 දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගනිමුව. 4 ඇදහිල්ලෙන් ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පු කළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂි දුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඇදහීමෙන් තවම කතා කරන්නේය. 5 ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙන යනු ලැබුවේය. දෙවියන්වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප‍්‍රථම, ඔහු දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කළ බවට සාක්ෂි ලැබුවේය. 6 නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප‍්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ලඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යාමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය. 7 ඇදහිල්ලෙන් නෝවා, ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේව භයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය, එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨ කමට උරුමක්කාරයෙක් වූයේය. 8 ඇදහිල්ලෙන්, ආබ‍්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය. 9 ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන්වූ ඊසාක් සහ යාකොබ් සමග කූඩාරම් වල වාසය කළේය. 10 මක්නිසාද අත්තිවාරම් ඇත්තාවූ දෙවියන්වහන්සේ විසින් යෝජනා කර සැදුවාවූ නුවර ගැන ඔහු බලා සිටියේය. 11 ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසු වෙලාත් ගර්භණී වෙන්ට බලය ලැබුවාය. 12 එහෙයින් මළ කෙනෙකු වැනි එක තැනැත්තියෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකා මෙන්ද ගණන් කළ නොහැකි මුහුදු වෙරළේ වැලි මෙන්ද වූ සමූහයක් හටගත්තේය. 13 මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප‍්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය. 14 මක්නිසාද මෙබඳු දේ කියන තැනැත්තෝ තමුන්ගේම රටක් සොයන බව හොඳහැටි ප‍්‍රකාශ කරති. 15 තවද ඔව්හු තමුන් පිටත්ව ආවාවූ රට සිහිකළෝ නම්, එහි හැරි යන්ට ඔවුන්ට ඉඩ ප‍්‍රස්ථා තිබුණේය. 16 නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීය රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේ යයි කියනු ලබන්ට ලජ්ජා නොවන සේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම් කළසේක. 17 ආබ‍්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජා කළේය. 18 එසේය: නුඹේ වංශය ප‍්‍රකාශ වන්නේ ඊසාක්ගෙන් යයි යමෙකුට කියන ලද්දේද, ඒ පොරොන්දු සන්තෝෂයෙන් පිළිගත් ඔහු තමාගේ ඒක ජාතක පුත‍්‍රයාව පූජා කරමින් සිටියේය. 19 මළවුන්ගෙන් පවා නැගිටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනා කොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබා ගත්තේය. 20 ඇදහිල්ලෙන්, ඊසාක් මතු පැමිණෙන දේ ගැන පවා යාකොබ්ට සහ ඒසව්ට ආශිර්වාද කළේය. 21 යාකොබ් නසින විට, ඇදහිල්ලෙන් යෝසෙප්ගේ පුත‍්‍රයන්ගෙන් එක් එක්කෙනාට ආශිර්වාද කොට, තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව නමස්කාර කළේය. 22 යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ‍්‍රායෙල් පුත‍්‍රයන්ගේ පිටත්ව යාම සඳහන් කොට තමාගේ ඇට ගැන අණ දුන්නේය. 23 මෝසෙස් උපන් කල ඔහුගේ මවුපියෝ ඔහු ශෝභමාන ලමයෙකු බව දැක, රජුගේ ආඥාවට භය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මාසයක් සඟවා ගත්තෝය. 24 මෝසෙස් වැඩුණයින් පසු ඵාරාවෝගේ දුවගේ පුත‍්‍රයා යයි කියනු ලැබීම ඇදහීමෙන් එපා කර, 25 විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තු වලට වඩා ක‍්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක් යයි සිතා, 26 කලකට පාපයේ සැප භුක්ති විඳීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමග දුක් විඳීම තෝරා ගත්තේය. 27 ඇදහිල්ලෙන් ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත් හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක් මෙන් ඔහු ස්ථිරව සිටියේය. 28 කුලුඳුලන් විනාශ කළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය. 29 ඇදහිල්ලෙන් ඔව්හු රතුමුහුද මැදින් වියළි බිමින් මෙන් ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සහා කොට ගිලී මළෝය. 30 සත් දවසක් යෙරිකෝවේ පවුරු වට කොට ඇවිද්දායින් පසු, ඇදහිල්ලෙන් ඒවා වැටුණේය. 31 ඇදහිල්ලෙන්, වේශ්‍යාවවූ රාහබි ඔත්තු කාරයන් සමාදානයෙන් පිළිගත් බැවින්, කීකරු නූන තැනැත්තන් සමග විනාශ නොවී සිටියාය. 32 මම තව මක් කියම්ද? ගිඩියොන්ද බාරක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද ප්‍රොපේතවරුන්ද ගැන කියන්ට කල් මදිය. 33 ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබා ගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙව්වෝය, 34 ගින්නෙන් උෂණය නිවුවෝය, කඩු මුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත් කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්න වූවෝය, අන්‍ය සේවාවන් පන්නා දැමුවෝය. 35 ස්ත‍්‍රීහු නැවත- නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත- නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධ කරනු ලැබුවෝය. 36 තවත් අය සරදම් වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම් වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂා කරනු ලැබුවෝය, 37 ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය, ඔව්හු අසරණ කමද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළුහම්ද එළු හම්ද ඇඳගෙන ඔබ මොබ ගියෝය. 38 ඔව්හු කාන්තාර වලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය, ඔවුන්ගේ විසීමට ලෝකය නොවටනේය. 39 මොවුන් සියල්ලෝ ස්වකීය ඇදහිල්ල කරණකොට ගෙන සාක්ෂිය ලැබත්, පොරොන්දුව නොලැබුවෝය. 40 එසේ වුණේ ඔවුන් අප නැතුව සම්පූර්ණ නොවන පිණිස දෙවියන්වහන්සේ වඩා උතුම් දෙයක් අප ගැන කලින් පිළියෙල කර තිබුණු නිසාය.

හේ‍‍බ්‍රෙව් 12

1 එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද අප අසු කරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. 2 උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප‍්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගෙන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩ හිඳගත්සේක. 3 ඒ නිසා නුඹලා නුඹලාගේ සිත් වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව් කාරයන්ගෙන් එපමණ විරුද්ධ කම් ඉවසූ තැනන්වහන්සේ කල්පනා කර බලාපල්ලා. 4 නුඹලා පාපයට විරුද්ධව පොරට සිට, තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත. 5 ඇරත් පුත‍්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද නුඹලා මතක නැති කළහුය. ඒ කවරද යත්: මාගේ පුත‍්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න, 6 මක්නිසාද ස්වාමීන්වහන්සේ පේ‍්‍රම කරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක: උන්වහන්සේ පිළිගන්න සියලු පුත‍්‍රයන්ට තළන සේක යනුයි. 7 නුඹලා ඉවසන්නේ දඬුවම් පිණිසය, දෙවියන්වහන්සේ පුත‍්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක‍්‍රියා කරන සේක, මක්නිසාද පියා දඬුවම් නොකරන පුත‍්‍රයා කවුද? 8 එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගු කාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත‍්‍රයෝ නොව අවජාතකයෝය. 9 තවද අපට දඬුවම් කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරව කරමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්ම වල පියාණන්ට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද? 10 මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙණුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම් කළෝය, නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප‍්‍රයෝජනය සඳහා දඬුවම් කරනසේක. 11 කිසි දඬුවමක් ලබන කල ඒක ඒක ශෝකයට මිස ප‍්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තාට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය. 12 එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණ හිස්ද සවිකරගනිල්ලා. 13 කොර කකුල් අහක් කරනු ලැබ, සුව වෙන පිණිස, නුඹලාගේ පාද වලට සමතලා පාරවල් සාදා ගනිල්ලා. 14 සියල්ලන් සමග සමාදානෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුව යන්ට උත්සහා කරපල්ලා. 15 කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද, 16 වේශ්‍යාකම් කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලූඳුල් කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක් වත් නොසිටින මෙන් බලාගනිල්ලා. 17 මක්නිසාද පසුව ඔහු ආශිර්වාදය උරුම කරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපා කරනු ලැබූ බව නුඹලා දනිහුය, මක්නිසාද ඔහු කඳුලෙන් යුක්තව ඕනෑ කමින් එය සෙවූ නමුත්, වෙනස් කිරීමට ඉඩක් නැත. 18 තවද නුඹලා ලඟාවී සිටින්නේ ස්පර්ශ කරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දටත් කළුවර කමටත් අන්ධකාරයටත් කුණාටුවටත්, 19 හොරණෑවක ශබ්දයටත් වචන වල හඬටත් නොවේය. ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කතා නොකරන ලෙස ඉල්ලා සිටියෝය. 20 මක්නිසාද: මෘගයෙක්වත් කන්දේ හැපුනොත් ඌ ගල් ගසා මැරිය යුතු යයි කියා කළාවූ අණ ඔවුන්ට දරන්ට බැරිවිය. 21 ඒ දර්ශනය එපමණ භයානකව තිබුණු බැවින් මෝසෙස්ද කතා කොට: මම භයවෙමි. වෙවුලමියි කීය. 22 නුමුත් නුඹලා ලඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ යෙරුසලමටත්, ගණන් නැති දේව දුත සේනා වෙතටත්, 23 ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලූඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චකාරවූ දෙවියන්වහන්සේද, සම්පූර්ණ කරන ලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද, 24 අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම් ලෙස කථා කරන ඉසීමේ ලේද වෙතටත්ය. 25 කථා කරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලා ගනිල්ලා. මක්නිසාද පොළොවේදී අවවාද කළ තැනන්වහන්සේ එපා කළවිට ඔව්හු නොගැළවුනෝ නම්, ස්වර්ගයෙන් අවවාද කරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද? 26 උන්වහන්සේගේ ශබ්දයෙන් ඒ කාලයේදී පොළොව සෙලවුණාය. නුමුත් දැන් උන්වහන්සේ: මම පොළොව පමණක් නොව: ස්වර්ගයත් තව වරක් කම්පා කරවන්නෙමියි කියා පොරොන්දු වී තිබේ. 27 තව වරක්ය කී වචනයෙන් පෙන්වන්නේ නොසෙලවෙන්නාවූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදු දේවල් මෙන් පහකරන බවය. 28 එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද, දේව භයින්ද දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වන ලෙස සේවය කරණ පිණිස, අනුග‍්‍රහය ඇතුව සිටිමු. 29 මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශ කරන ගින්නක්ය.

හේ‍‍බ්‍රෙව් 13

1 සහෝදර ස්නේහය පවතීවා. 2 ආගන්තුක සත්කාර කිරීම මතක නැති නොකරල්ලා. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේව දුතයොන්ට සත්කාර කළෝය. 3 නුඹලාත් බැඳී සිටින්නාක් මෙන් බැඳුම් වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක් විඳින්නන්ද සිහිකරපල්ලා. 4 විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලිටුව තිබේවා, මක්නිසාද වෛශ්‍යාකම් කරන්නන්ද කාම මිත්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චය කරන සේක. 5 නුඹලාට ඇති දෙයින් සතුටුවී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. මක්නිසාද: මම කිසි සේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ. 6 මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය, මම භය නොවන්නෙමි, මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යෙන් යුක්තව කියමුව. 7 දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියා දුන් නුඹලාගේ ප‍්‍රධානීන් සිහිකරපල්ලා, ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහීම අනුව යන්නෝ වෙයල්ලා. 8 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එයාකාරමය. 9 අනේකාකාරවූ අමුතු ඉගැන්වීම් කරණකොට ගෙන අහකට ගෙන යනු නොලබල්ලා. මක්නිසාද කෑම ගැන ව්‍යාවෘත වූවන්ට ප‍්‍රයෝජනයක් වුණේ නැති නිසා කෑම වලින් නොව, අනුග‍්‍රහයෙන් සිත ස්ථිරවීම යහපත්ය. 10 අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවය කරණ්නන්ට එයින් කන්ට අවසර නැත. 11 මක්නිසාද උත්තම පූජකයා විසින් පාපය නිසා යම් යම් සතුන්ගේ ලේ ශුද්ධ ස්ථානයට ගෙන යනු ලැබේද, ඒ සතුන්ගේ ශරීර කඳවුරෙන් පිටතදී පුළුස්සා දමති. 12 එහෙයින් යේසුස්වහන්සේත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදු කරන පිණිස දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක. 13 ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරා ගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු. 14 මක්නිසාද පවතින නුවරක් මෙහි අපට නැත, අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය. 15 එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුති කරන තොල් වල ඵල වන ප‍්‍රසංසාව නැමති පූජාව උන්වහන්සේම කරණ කොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පු කරමු. 16 නුමුත් යහපත්කම් කරන්ටත් අනුන්ට බෙදා දෙන්ටත් මතක නැති නොකරල්ලා. මක්නිසාද එයාකාර පූජා වලට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වනසේක. 17 නුඹලාගේ ප‍්‍රධානියෝ ගණන් දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැක බලා සිටිති. ඔවුන් සුසුම් ලමින් නොව ප‍්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙයල්ලා. 18 අප ගැන යාච්ඤා කරපල්ලා. මක්නිසාද අපි සියල්ලේදී යහපත් ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාස කරමුව. 19 වඩා ඉක්මනින් මා නුඹලාට නැවත දෙනු ලබන පිණිස, එසේ කරන්ට මම වඩා ඕනෑ කමින් නුඹලාට අනුශාසනා කරමි. 20 ඉතින් සදා කාල ගිවිසුමේ ලේ කරණකොට ගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ, 21 තමන් ඉදිරියෙහි ප‍්‍රසන්නව තිබෙනදේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක‍්‍රියා වලට නුඹලා සම්පූර්ණ කරන සේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්. 22 සහෝදරයෙනි, මේ අනුශාසනාවේ වචනය ඉවසන හැටියට නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද ලුහුඩින් මම නුඹලාට ලියුවෙමි. 23 අපේ සහෝදරවූ තිමොතියස් නිදහස් කරනු ලැබූ බව දැනගනිල්ලා, ඔහු ඉක්මනින් ආවොත්, ඔහු සමග නුඹලා බලන්ට එන්නෙමි. 24 නුඹලාගේ සියලු ප‍්‍රධානීන්ටත් සියලු ශුද්ධවන්තයන්ටත් ආචාර කරපල්ලා. ඉතාලියේ අය නුඹලාට ආචාර කරති. 25 අනුග‍්‍රහය නුඹලා සියල්ලන් සමග වේවා. ආමෙන්.

යාකොබ් 1

1 දෙවියන්වහන්සේගේත් ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත‍්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්: 2 මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ක්ෂාන්ති ගුණය උපදින බව දැන, 3 අනේකාකාර පරීක්ෂා වලට වැටෙන කල, ඒ සියල්ල ප‍්‍රිතියක් යයි සිතාපල්ලා. 4 නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පුර්ණව සිටින පිණිස ක්ෂාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක‍්‍රියා කෙරේවා. 5 නුමුත් නුඹලාගෙන් යම් කෙනෙකුට ප‍්‍රඥාව අඩුනම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ. 6 නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමාන කරන්නා සුළඟින් ගෙන යන්නාවූ, සෙලවෙන්නාවු මුහුදේ රැළට සමානය. 7 එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා. 8 ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ග වලදී අස්ථිරව සිටින්නේය. 9 නුමුත් පහත් අඩියක සිටින සහෝදරයා තමාගේ උසස්වීම ගැනද, 10 ධනවතා තමාගේ පහත්වීම ගැනද පාරට්ටු කෙරේවා. මක්නිසාද ඔහු තණ මලක් මෙන් පහව යන්නේය. 11 මක්නිසාද සූර්යා තද රස්නයෙන් යුක්තවූ සුළඟින් උදාවී, තණ කොළ වියළවයි; ඒවායේ මල් වැටී පෙනීමේ අලංකාරය නැතිවී යන්නේය. එසේම ධනවතා තමාගේ මාර්ග‍වලදී මැළවී යන්නේය. 12 පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තු ගනු ලැබූ කල, තමන්ට පේ‍්‍රම කරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුනාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය. 13 යමෙක් පරික්ෂා කරනු ලැබු කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂා කරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂා කරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවකු පරීක්ෂානොකරන සේක. 14 නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබනු කල්හිද පරික්ෂා කරනු ලබයි. 15 එවිට තෘෂ්ණාව පිළිසිඳ ගත් කල්හි පාපය වදන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි. 16 මාගේ පේ‍්‍රමවන්ත සහෝදරයෙනි, නොරැවටෙල්ලා. 17 සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ජායාවක් වත් නැත්තාවූ ආලෝක වල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය. 18 අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක. 19 මාගේ පේ‍්‍රමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කතා කිරීමටත් උදහස්වීමටත් ප‍්‍රමාද වේවා. 20 මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය. 21 එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප‍්‍රාණ ගලවන්ට පුළුවන්වූ, පිහිටුවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගනිල්ලා. 22 නුමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙයල්ලා. 23 මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. 24 මක්නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවලේම මතක නැති කරයි. 25 නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන, මතක නැති කරන අසන්නෙක් නොවී, ක‍්‍රියා කරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක‍්‍රියා කිරීමෙහිදී ආශිර්වාද ලබන්නේය. 26 යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන, තමාගේ සිත රවටා ගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය. 27 අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත‍්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලා ගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂා කර ගැනීමත්ය.

යාකොබ් 2

1 මාගේ සහෝදරයිනි, අපගේ තේජවන්ත ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරල්ලා. 2 රන් මුද්දක්ද අලංකාර වස්ත‍්‍රද පැළඳගෙන ඉන්න මනුෂ්‍යයෙකුත් කිලුටු ඇඳුම් ඇඳගෙන ඉන්න දිළින්ඳෙකුත් නුඹලාගේ සිනගෝගයට ආවොත්, 3 නුඹලා අලංකාර වස්ත‍්‍ර පැළඳගන ඉන්න අය සලකා: මෙහි හොඳ තැනක හිඳගන්ටය කියාද, දිළින්දාට: නුඹ ඔහේ සිටපන්න, නැතහොත් මාගේ පාපුටුව ලඟ ඉඳගනින්නැයි කියාද, කියනවා නම්, 4 නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතුවිලි වලින් යුක්ක විනිශ්චයකාරයෝ නොවන්නෝද? 5 මාගේ පේ‍්‍රමවන්ත සහෝදරයෙනි, අසාපල්ලා‍; ඇදහිල්ලෙහි ධනවත් වන පිණිසත්, තමන්වහන්සේට පේ‍්‍රමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත් සේක්ද? නුමුත් නුඹලා දිළින්ඳාට අගෞරව කළහුය. 6 ධනවතුන් නුඹලාට පීඩා කරනවා නොවේද? නඩුශාලා වලට නුඹලා ඇදගන යනවා නොවේද? 7 නුඹලා දරන උතුම් නාමයට අපහාස කරන්නේ ඔවුන් නොවේද? 8 එසේවුවත්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට පේ‍්‍රම කරව යන රාජකීය ව්‍යවස්ථාව ලියවිල්ලේ හැටියට පවත්වන්නහු නම්, 9 නුඹලා එසේ කරන එක යහපත්ය. නුමුත් තරාතිරම් සලකන්නෝ නම්, නුඹලා වරදකාරයන් බව ව්‍යවස්ථාවෙන් ඔප්පු වෙන බැවින් නුඹලා කරන්නේ පාපයය. 10 මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂා කොට, එක අණක් කඩ කළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්ව සිටී. 11 මක්නිසාද: කාම මිත්‍යාචරය නොකරවයි කී තැනන්වහන්සේ: මිනී නොමරව කියාත් කී සේක. ඉඳින් නුඹ කාම මිත්‍යචාරය නොකරන නුමුත්, මිනී මරනවා නම්, ව්‍යවස්ථාව කඩ කරන්නෙක්ව සිටින්නෙහිය. 12 නිදහස්කමේ ව්‍යවස්ථාවකින් විනිශ්චය කරනු ලබන්ට සිටින තැනත්තන් මෙන් කථා කරපල්ලා, ක‍්‍රියා කරපල්ලා. 13 මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජය නාද කරන්නේය. 14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක‍්‍රියාවල් නැත්නම් මොන ප‍්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද? 15 සහෝදරයෙක් හෝ සහෝදරියක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, 16 ඹලාගෙන් යමෙක්: සමාදානයෙන් පලයල්ලා, උණුහුම්වෙයල්ලා, කෑම කා තෘප්තියට පැමිණියල්ලා යයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප‍්‍රයෝජනයක්ද? 17 එසේම ඇදහිල්ල ක‍්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. 18 එසේය, යමෙක් කතා කොට: නුඹට ඇදහිල්ල තිබේ මට ක‍්‍රියාවල් තිබේ. ක‍්‍රියා නැතුව නුඹේ ඇදහිල්ල මට පෙන්වාපන්න. මම මාගේ ක‍්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත. 19 ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාස කරන්නෙහිය; නුඹ කරන එක හොඳය. යක්ෂයාත් විශ්වාස කර වෙවුලති. 20 නුමුත් හිස්වූ මනුෂ්‍යය, ක‍්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද? 21 අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත‍්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක‍්‍රියා වලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද? 22 ඇදහිල්ල ඔහුගේ ක‍්‍රියාවල් සමග ක‍්‍රියාකල බවත් ඇදහිල්ල ක‍්‍රියාවලින් සම්පූර්ණවූ බවත් නුඹට පෙනේ. 23 මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨ කොට ඔහුට ගණන් ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ වූණේය. තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත‍්‍රයා යයි කියනු ලැබුවේය. 24 මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක‍්‍රියා වලිනුත් ධර්මිෂ්ඨ කරනු ලබන බව නුඹලාට පෙනෙන්නේය. 25 එසේම වේශ්‍යාව වූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත් කර ඇරිය කල, ක‍්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨ කරනු ලැබුවා නොවේද? 26 මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක් මෙන්ම ක‍්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.

යාකොබ් 3

1 මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයල්ලා, 2 මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිළෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය. 3 අශ්වයන් අපට කීකරු කරගන්න පිණිස උන්ගේ කට වල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවා ගනිමුව. 4 මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළං වලින් ගෙන යනු ලබන නුමුත් ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලා ගන්නා විසින් කැමති අතට හරවනු ලබයි. 5 එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරටු කරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවනවා නොවේද! දිවද ගින්නක්ය. 6 එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. එය මුළු ශරීරය කිලුටු කොට සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය. 7 එසේය, සියලු ආකාර වන මෘගයෝද පක්ෂීහුද බඩ ගා යන ජාතීන් හා මුහුදේ සත්වයෝද මනුෂ්‍යයන් විසින් දමනයකරනු ලබති, දමනය කරනු ලැබුවෝය. 8 නුමුත් දිව දමනය කරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය. 9 එයින් ස්වාමීවූ පියාණන්වහන්සේට අපි ප‍්‍රසංසා කරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවන ලද මනුෂ්‍යයන්ට අපි ශාප කරමුව, 10 ප‍්‍රසංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණය මෙසේ වීම යුතු නැත. 11 උල්පත, එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත් කරයිද? 12 මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගසේ ඔලීව ඵල වත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හට ගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන. 13 නුඹලා අතරෙහි ප‍්‍රඥාවත්වූ තේරුම් ඇත්තාවු තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක‍්‍රියා ප‍්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා. 14 නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදී කමද තිබේ නම්, පාරට්ටු කරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියල්ලා. 15 ඒ ප‍්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ. 16 මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදී කමත් ඇති තැන, අවුල් කමත් සියලු නපුරු ක‍්‍රියාවලුත් ඇත්තේය. 17 නුමුත් ඉහළින් පැමිණෙන ප‍්‍රඥාව පළමු කොට පිරිසිදුව, ඊලඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵල වලිනුත් පූර්ණව අපක්ෂවාදීව, අවංකව තිබේ. 18 තවද සමාදාන කරන්නන් උදෙසා ධර්මිෂ්ඨ කමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.

යාකොබ් 4

1 නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? 2 නුඹලා ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. නුඹලා මිනී මරන්නහුය, ඊර්ෂ්‍යා වන්නහුය, නුමුත් ලබාගන්ට බැරි වන්නේය. නුඹලා ඩබරද යුද්ධද කරන්නහුය, නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය. 3 නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. 4 කාමමිත්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමග මිත‍්‍රකම දෙවියන්වහන්සේට සතුරු කම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත‍්‍ර වෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය. 5 නොහොත් දෙවියන්වහන්සේ තුළ අප වාසය කෙරෙව්වාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කතා කරන්නේ යයි නුඹලා සිතන්නහුද? 6 නුමුත් උන්වහන්සේ වඩාත් කරුණාව දෙන සේක. ඉන් නිසා: දෙවියන්වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙන සේකැයි ලියවිල්ල කියන්නේය. 7 එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටපල්ලා; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටපල්ලා, එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. 8 දෙවියන්වහන්සේට ළං වෙයල්ලා. එවිට උන්වහන්සේ නුඹලාට ළං වෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත‍්‍ර කරගනිල්ලා, දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පිරිසිදු කරගනිල්ලා. 9 දුක්වෙමින් වැළපෙමින් හඬාපල්ලා. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප‍්‍රීතිය කණගාටුවටත් හැරේවා. 10 ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලා උසස් කරන සේක. 11 සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව කතා නොකරල්ලා. සහෝදරයෙකුට විරුද්ධව කතා කරන්නා නොහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේය. ඉඳින් නුඹ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම්, නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චය කාරයෙක්ය. 12 නීතිදායකයාද විනිශ්චය කාරයාද එක්කෙනෙක්ය, එනම් ගළවන්ටත් විනාශ කරන්ටත් පුළුවන් තැනන්වහන්සේය. නුමුත් නුඹේ අසල්වැසියා විනිශ්චය කරන නුඹ කවුද? 13 මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළඳාම් කොට ලාභ උපදවා ගන්නෙමු යයි කියන්නාවූ තැනැත්තෙනි, අසාපල්ලා. 14 මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්පවේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. 15 එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරමු යයි නුඹලා විසින් කිය යුතුය. 16 නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථා වලින් නුඹලා පාරට්ටු කරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය. 17 එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.

යාකොබ් 5

1 මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬාපල්ලා. 2 නුඹලාගේ වස්තුව දිරා ගියේය, නුඹලාගේ වස්ත‍්‍ර කාවෝ කෑවෝය. 3 නුඹලාගේ රන් රිදී මළකඩ කා තිබේ; ඒ මලකඩ නුඹලාට විරුද්ධව සාක්ෂියක් වී ගිනි මෙන් නුඹලාගේ මාංස දවනවා ඇත. අන්තිම දවස්වලදී නුඹලා වස්තු රැස්කොට තැබුවහුය. 4 බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීම්ද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය. 5 නුඹලා පොළොවේදී සැප ජීවිකාවෙන් වැස, අලංකාර කමින් පසුවුණහුය, මැරුම් කන දවසකදී නුඹලාගේ සිත් නුඹලා පෝෂ්‍ය කරගත්තහුය. 6 නුඹලා ධර්මිෂ්ඨයා වරදට පත් කොට මැරුවහුය; ඔහු නුඹලාට විරුද්ධව සිටින්නේ නැත. 7 එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ඉවසාපල්ලා. බලව, ප‍්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පෙළොවේ අනර්ඝ ඵල ගැන බලා සිටී. 8 නුඹලාත් ඉවසිල්ලෙන් සිටපල්ලා; ස්වාමීන්වහන්සේගේ ඊම ළංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිර කරගනිල්ලා. 9 සහෝදරයෙනි, නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරල්ලා. බලව, විනිශ්චයකාරයානන්වහන්සේ දොරකඩ ඉදිරියෙහි සිටිනසේක. 10 සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ නමින් කථා කළ ප්‍රොපේතවරුන් පීඩා විඳීමෙන් ඉවසීමෙන් ආදර්ශයක් කොට ගනිල්ලා. 11 ඉවසූ අය ආශිර්වාද ලද්දෝ යයි අපි කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය. 12 නුමුත් මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරල්ලා යයි ප‍්‍රධාන කොට කියමි. නුඹලාගේ, එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා. 13 නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤා කරාවා. යමෙක් ප‍්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා. 14 නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬ ගසාවා. ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත්වා. 15 එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ, ස්වාමීන්වහන්සේ ඔහු නැගිටුවනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම්, ඒවා ඔහුට කමා කරනු ලැබේ. 16 එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤා කරපල්ලා. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොට ගෙන මහත්දේ ඉෂ්ට වෙයි. 17 එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දු කමින් යාච්ඤා කළේය, එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය. 18 ඔහු නැවත යාච්ඤා කළේය; එවිට අහසින් වැසි වැස, පෙළොවේ ඵල හට ගත්තේය. 19 මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑ කමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවා ගන්නේ නම්, 20 පව් කාරයෙකු තමාගේ මාර්ගයෙන් හරවා ගන්න තැනැත්තා ප‍්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.

1 පේත්‍රැස් 1

1 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රරිතයෙක්වූ පේත‍්‍රැස් විසින් පොන්තස්හිද ගලාතියෙහිද කප්පදෝකියෙහිද ආසියාවෙහිද බිතිනියෙහිද විසිර ගොස් විදේශීව සිටින්නාවූ, 2 ආත්මයාණන්වහන්සේගේ පිරිසිදු කිරීමෙන් කීකරු වීමටත්, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප‍්‍රකාරයට තෝරා ගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග‍්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා. 3 අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප‍්‍රසංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොට ගෙන ආරක්ෂා කරනු ලබන්නාවූ, 4 නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ ජරාවට නොපැමිණෙන්නාවූ නොකිළිටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන, 5 ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොට ගෙන, උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක. 6 ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන ඉතා ප‍්‍රීතිවන්නහුය. 7 එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසි කරන්නාවූ රනට වඩා අගේව තිබෙන්නාවූ නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප‍්‍රසංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය. 8 නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට පේ‍්‍රම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, 9 නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප‍්‍රීතියකින් ප‍්‍රීතිවන්නහුය. 10 නුඹලාට පැමිණෙන්ට තිබුණු අනුග‍්‍රහය ගැන අනාගතවාක්‍ය කී අනාගතවක්තෘවරු ඒ ගැළවීම ගැන බොහෝ සෙයින් විභාගකොට සෙවුවෝය. 11 ඔවුන් තුළෙහිවූ ක‍්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් වහන්සේක‍්‍රිස්තුස්වහන්සේට නියමවූ වධවිඳීමද ඊට පසු පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂි දුන්විට, කවර කාලයක් නොහොත් කොයි ප‍්‍රකාර කාලයක් හැඟවූසේක්ද කියා ඔව්හු සෙවුවෝය. 12 ඔවුන් ඒ දේවල් ගැන සේවය කරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේය.ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකල තැනැත්තන් ලවා දැන් ඒවා දන්වන ලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයේ ආශාවෙති. 13 ඉන්නිසා නුඹලාගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග‍්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවාපල්ලා. 14 නුඹලාගේ නොදන්නා කමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්, 15 නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. 16 මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතු යයි ලියා තිබේ. 17 තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක‍්‍රියාවේ ප‍්‍රකාරයට විනිශ්චය කරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤා කරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරපල්ලා. 18 මක්නිසාද: නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරා යන දේවල් කරණකොට ගෙන නොව, 19 කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ ක‍්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොට ගෙන බව නුඹලා දන්නහුය. 20 ලෝකය මැවීමට පළමුවෙන්, නියම කරනු ලැබූ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේට මහිමය දුන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරණකොට ගෙන අදහන්නාවූ නුඹලා උදෙසා, 21 උන්වහන්සේ කාලවල කෙළවර වලදී ප‍්‍රකාශ කරනු ලැබූසේක‍; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය. 22 සහෝදරයන්ට අවංක කමින් පේ‍්‍රම කරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් නුඹලාගේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දු ලෙස පේ‍්‍රම කරපල්ලා. 23 මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජ වලින් නොව, දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොට ගෙන, කුණු නොවෙන්නාවූ බීජ වලින් නැවත උත්පාද කරනු ලැබුවහුය. 24 කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණ මල මෙන්ය. තණ කොළ වියළී යයි මල් වැටේ. 25 නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනා කරන ලද ශුභාරංචි වචනයය.

1 පේත්‍රැස් 2

1 එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංක කම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණ කීම්ද පහකර දමා, 2 ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, 3 ආත්මිකවූ අමිශ‍්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් එයට බොහෝ ආශා වෙයල්ලා. 4 මනුෂ්‍යයන් විසින් එපාකළ නුමුත් දෙවියන්වහන්සේ විසින් තෝරාගත්තාවූ අනර්ඝ ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙතට පැමිණ, 5 නුඹලාත් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේට ප‍්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩ නගනු ලබන්නහුය. 6 ඉන්නිසා: බලව, තෝරාගත් අනර්ඝ, කොනේ ප‍්‍රධාන ගලක් සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ලේ අන්තර්ගතව ති‍බේ. 7 එබැවින් අදහන්නාවූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නුමුත් නොඅදහන්නාට, ගෙවල් සාදන්නන් විසින් එපා කළ ගලම කොනේ ප‍්‍රධාන ගල කරන ලද්දේය. 8 තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව පැකිලෙති. ඊටද ඔව්හු නියම කරන ලද්දේය. 9 නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය. 10 වරක් නුඹලා සෙනගක්ව සිටියේ නැත, නුමුත් දැන් දෙවියන්වහන්සේගේ සෙනඟව සිටින්නහුය දයාව නොලැබ සිටිය නුමුත් දැන් දයාව ලැබ සිටින්නහුය. 11 පේ‍්‍රමවන්තයෙනි, නුඹලා ආගන්තුකයින්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධ කරන මාංසික තෘෂ්ණා වලින් වැලකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි. 12 නුඹලා නපුර කරන්නෝ යයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කතා කරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක‍්‍රියා දැක, විභාග කිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරව කරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වාපල්ලා. 13 උත්තමයාව සිටින රජු වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප‍්‍රසංසාව පිණිසත් රජු විසින් එවන ලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, 14 සියලු මනුෂ්‍ය නියෝග වලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙයල්ලා. 15 මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවණ‍ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය. 16 එසේය, නුඹලා නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්‍යවහාර කරපල්ලා. 17 සියල්ලන්ටම ගෞරව කරපල්ලා. සහෝදර සමාගමට පේ‍්‍රම කරපල්ලා. දෙවියන්වහන්සේට භය වෙයල්ලා රජ්ජුරුවන්ට ගෞරව කරපල්ලා. 18 වැඩකාරයෙනි, යහපත්වූ සෞම්‍යවූ ස්වාමිවරුන්ට පමණක් නොව නුඹලාගේ රළුවූ ස්වාමිවරුන්ටත් සියලු ආකාර භයින් යටත් වෙයල්ලා. 19 මක්නිසාද යමෙක් දෙවියන්වහන්සේ කෙරෙහිවූ හෘදය සාක්ෂිය නිසා අයුතු ලෙස පීඩා විඳිමින් දුක් ඉවසන්නේ වී නම්, ඒක ප‍්‍රසංසනීය දෙයක්ය. 20 මක්නිසාද නුඹලා වරද කොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම් කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක් විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප‍්‍රසංසනීය දෙයක්ය. 21 එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක. 22 උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණේ නැත. 23 උන්වහන්සේ නින්දා කරනු ලැබූ කළ නින්දා නොකළසේක; වධවින්ද කළ තර්ජන නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක. 24 අප පාපවලට නැසී ධර්මිෂඨමට ජීවත් වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගසපිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවහුය. 25 මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාව යමින් සිටියහුය, නුමුත් දැන් නුඹලාගේ ආත්ම වල එ‍ඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.

1 පේත්‍රැස් 3

1 එසේම භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, 2 ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොට ගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත් වෙයල්ලා. 3 නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නැතහොත් වස්ත‍්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව, 4 දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නැමති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා. 5 මක්නිසාද පුරාණ කාලයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවුණ ශුද්ධවූ ස්ත‍්‍රීවරු තමන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාරවුණෝය. 6 එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොට ගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය. 7 එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤා වලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසය කරමින්, ඔවුන් ජීවනයේ අනුග‍්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා. 8 අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටපල්ලා. 9 නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශිර්වාදයක් උරුම වෙන පිණිස කැඳවනු ලැබූ බැවින් ආශිර්වාදම කරපල්ලා. 10 මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතා කිරීමෙන්ද වලක්වා ගනීවා. 11 නපුරෙන් ඉවත්ව යහපත කරාවා. සමාදානය සොයා එය පස්සේ දුවාවා. 12 මක්නිසාද ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ. 13 තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? 14 එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම ගැන දුක් විඳින නුමුත් ආශිර්වාද ලද්දහුය. ඔවුන්ගේ භය ගැන්වීමට භය වෙන්ටවත් කැලඹෙන්ටවත් එපා, 15 නුමුත් නුඹලාගේ සිත්*(සිත් තුළ, සිත්හි) වලින් ස්වාමීන්වහන්සේකොට ක‍්‍රිස්තුස්වහන්සේට ගෞරව කරපල්ලා. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා, නුමුත් මෘදු කමින්ද යටහත් කමින්ද එසේ කළ යුතුය. 16 නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කතා කරන නුමුත්, ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස් තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටපල්ලා. 17 මක්නිසාද නුඹලා යහපත කර දුක්විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක්විඳීමට වඩා ඒක හොඳය. 18 මක්නිසාද දෙවියන්වහන්සේ ලඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක‍්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබූසේක. 19 එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්ම වලට දේශනා කළසේක. 20 ඒ ආත්ම නෝවාගේ දවස් වලදී නැව සාදන අතර, දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයෙහි අකීකරුව සිටියෝය. ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අටදෙනෙක් (ඇතුල්වී) වතුර කරණකොට ගෙන ගැළවුණෝය. 21 ඊට සමානව තිබෙන බව්තීස්මයේ*(අවගාහනයේ) වතුරෙන් එනම් මාංසයේ කිලුටුකම පහ කිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොට ගෙන ගැළවෙන්නහුය. 22 උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිනසේක; දේවදුතයෝද බලයලත්තෝද පරාක‍්‍රමධාරීහුද උන්වහන්සේට යටත් කරන ලද්දෝ වෙති.

1 පේත්‍රැස් 4

1 ඉතින් ක‍්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධ වින්ඳ බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, 2 දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳ ගනිල්ලා. මක්නිසාද මාංසයෙන් වධ වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි. 3 සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූප ඇදහීම්වලද හැසිර, අන්‍ය ජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගත කළාවූ කාලය ඉතා ඇත. 4 ඔවුන් සමග එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාස කරති. 5 ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත. 6 මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප‍්‍රකාශ කරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංසයෙන් විනිශ්චය කරනු ලැබූ නුමුත්, දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත්වෙන පිණිසය. 7 නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤා කිරීම පිණිස පිබිද සිටපල්ලා. 8 ඇරත් පේ‍්‍රමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් පේ‍්‍රමයක් ඇතුව සිටපල්ලා. 9 කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරපල්ලා. 10 දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරපල්ලා. 11 යමෙක් කථා කෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථා කරාවා; යමෙක් සේවය කෙරේ නම්, දෙවියන්වහන්සේ සපයා දෙන ශක්තියේ ප‍්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන සියලු කාරණ වලදී ගෞරවයට පැමිණෙන පිණිස එසේ කරන්ට ඕනෑය. මහිමයත් පරාක‍්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්. 12 පේ‍්‍රමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධ වෙන්නාක් මෙන් පුදුම නොවෙල්ලා. 13 නුමුත් ක‍්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදීත් නුඹලා ඉතා මහත් ප‍්‍රීතියකින් ප‍්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක්විඳීමෙහි නුඹලා පංගු කාරයන් වන ප‍්‍රමාණයට ප‍්‍රීතිවෙයල්ලා. 14 ක‍්‍රිස්තුස්වන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් නුඹලා ආශිර්වාද ලද්දහුය‍; මක්නිසාද මහිමයේ ආත්මයාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි රඳන සේක. 15 නුඹලාගෙන් කිසිවෙක් මිනී මරන්නෙක්වත් සොරෙක්වත් නපුර කරන්නෙක්වත්, අනුන්ගේ කාරණ වලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා. 16 නුමුත් යමෙක් ක‍්‍රිස්තියානි කාරයෙකු මෙන් දුක්විඳී නම්, ඔහු ලජ්ජා නොවී, ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට ගෞරව කරාවා. 17 මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමු කොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක්වන්නේද? 18 ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද? 19 එබැවින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස මැවුම්කාරයාණන්ට තමුන්ගේ ආත්ම භාරදෙත්වා.

1 පේත්‍රැස් 5

1 ඉතින් වැඩිමහල්ලෙක්ද ක‍්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව් වෙන්ට තිබෙන තේජසට පංගුකාරවෙක් වෙන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනා කරමි. 2 නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලා ගනිමින්, බලාත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, 3 නුඹලාගේ භාරයට දෙන ලද්දවුන් කෙරෙහි අධිපතිකම් කරන්නාක් මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැක බලාගනිල්ලා. 4 එවිට ප‍්‍රධාන එඬේරාණන් ප‍්‍රකාශ වෙන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය. 5 එසේම තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙයල්ලා. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගනිල්ලා. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. 6 එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා; 7 උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා. 8 සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. 9 ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට යක්ෂයාට විරුද්ධව සිටපල්ලා. 10 එවිට ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණ කර, ස්ථිර කර, ශක්තිමත් කර පිහිටුවනසේක. 11 උන්වහන්සේට සදාකාලේටම පරාක‍්‍රමය වේවා. ආමෙන්. 12 මෙය දෙවියන්වහන්සේගේ සැබෑ කරුණාව බවට මම සාක්ෂි දෙමින්ද, අනුශාසනා කරමින්ද අපේ විශ්වාස සහෝදරයෙක් යැයි මා සලකන සිල්වානස් අත ලුහුඬින් නුඹලාට ලියා එව්වෙමි. එහි ස්ථිරව පිහිටා සිටපල්ලා. 13 නුඹලා සමග තෝරාගනු ලැබූ බබිලෝනියෙහි සිටින තැනැත්තී* (සභාව නොහොත් සහෝදරී) නුඹලාට ආචාර කරන්නීය; මාගේ පුත‍්‍රවූ මාර්ක් එසේම නුඹලාට ආචාර කරයි. 14 පේ‍්‍රමයේ සිඹීමකින් එකිනෙකාට ආචාර කරපල්ලා. ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සිටින නුඹලා සියල්ලන්ට සමාදානය වේවා.

2 පේත්‍රැස් 1

1 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද පේ‍්‍රරිතයෙක්දවූ, සීමොන් පේත‍්‍රැස් වන මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨ කමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වගනම්: 2 දෙවියන්වහන්සේද අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග‍්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා. 3 මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්ත කමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොට ගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ. 4 ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොට ගෙන දේව ස්භාවයට පංගුකාරයන් වෙන පිණිසය. 5 එසේය, මේ කාරණය නිසාම මුළු උත්සහායෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද, ගුණය සමග දැනගැන්මද, 6 දැන ගැන්ම සමග පමණ දැන ක‍්‍රියාකිරීමද, පමණ දැන ක‍්‍රියාකිරීම සමග ඉවසිල්ලද, ඉවසිල්ල සමග දේව භක්තියද, 7 දේව භක්තිය සමග සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමග පේ‍්‍රමයද සපයා ගනිල්ලා. 8 මක්නිසාද මේවා නුඹලාට තිබේ නම් වැඩිවේ නම්, අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවට වත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. 9 නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව් වලින් පවිත‍්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි. 10 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිර කරගන්න පිණිස වඩා කඩිසරව ක‍්‍රියාකරපල්ලා. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත. 11 මක්නිසාද මෙසේ අපගේ ස්වාමීවූ ගැළවුම්කාරවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ සදාකාල රාජ්‍යයට ඇතුල්වීම නුඹලාට බොහෝ සේ දෙනු ලැබේ. 12 එබැවින් නුඹලා මේ දේවල් දැන නුඹලාට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම නුඹලාට මේ දේවල් සිහි කරවන්ට නිතර සූදානම්ව සිටිමි. 13 අපගේ ස්වාමීවූ යේසුස්ක‍්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකර දැමීමේ කාලය වහාම පැමිණෙන බව දැන, 14 මම මේ කූඩාරමෙහි සිටින තුරු නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි. 15 එසේය, මාගේ ඈවෑමෙන් පසු නුඹලාට මේ දේවල් හැම කල්හිම සිහිකරගන්ට පුළුවන්වන පිණිස කඩිසරව ක‍්‍රියා කරන්නෙමි. 16 මක්නිසාද අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ බලයත් ඊමත් නුඹලාට දැන්වූ කල, උන්වහන්සේගේ මහිමය ඇසින් දැකළා මිස ප‍්‍රයෝගයෙන් යොදන ලද ප‍්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව. 17 මක්නිසාද: මොහු මාගේ පේ‍්‍රමවන්ත පුත‍්‍රයාය, මෙහු කෙරෙහි මම ප‍්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක. 18 උන්වහන්සේ සමග ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථීර කරනලද්දාවූ අනාගතවාක්‍ය අපට තිබේ. 19 ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප‍්‍රායෙන්ම හට නොගන්න බව පළමු කොට දැන, 20 අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායන තුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය. 21 මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය.

2 පේත්‍රැස් 2

1 නුමුත් සෙනග අතරේ බොරු ප්‍රෙපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්ම භේද රහසින් උපදවමින් තමුන්ම මිලේට ගත් ආචාරීන්වහන්සේව එපා කරමින්ද තමුන් පිටට සීඝ‍්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙත් වන්නෝය. 2 ඔවුන්ගේ සල්ලාල කම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත, ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය. 3 තණ්හාව නිසා ඔවුන් වංචා වචන වලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප‍්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි. 4 මක්නිසාද දේවදූතයන් පව් කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතුරු කොට තැබීමට නිරයෙහි අන්ධකාර ගුහා වලට භාර දුන් සේක් නම්, 5 උන්වහන්සේ අභක්තීන්ගේ ලෝකය පිට ජල ගැලීමක් පැමිණෙවූ කල, පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත් දෙනෙකුත් සමග ආරක්ෂා කලසේක් නම්, 6 සොදොම හා ගොමරාව යන නුවරවල් අළු කරමින් ඒවා පෙරළා දමා විනාශයට නියම කොට, මතු අභක්තික ලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්, 7 දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොට ගෙන තද පීඩාවට පැමිණියාවූද, 8 ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක‍්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවා ගත්තාවූද ධර්මිෂ්ඨවූ ලොත් ගැළවූ සේක් නම්, 9 භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප‍්‍රධාන කොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපති කමට අපහාස කරන්නාවූ අය, 10 දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දා කරන්ට තැති නොගනිති. 11 එහෙත් දේව දුතයෝ පරාක‍්‍රමයෙන්ද බලයෙන්ද වඩා උතුම් නුමුත්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට විරුද්ධව නින්දා සහිත විනිශ්චයක් නොපමුණුවති. 12 නමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජන්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාස කරමින්, අධර්මිෂ්ඨ කමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමින් සැබවින් විනාශවන්නෝය; 13 ඔව්හු දවාලෙහි ක‍්‍රීඩා ඝෝෂාව ප‍්‍රීතියක් යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු නුඹලා සමග මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍ය වලදී ක‍්‍රීඩා ඝෝෂා පවත්වති; 14 ඔව්හු කාම මිත්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වළකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; 15 ශාපයේ දරුවෝය; ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුළියට කැමතිවූ බෙයාර්ගේ පුත‍්‍රවූ බාලම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය; 16 නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටු කරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කථා කොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය. 17 ඔව්හු වතුර නැති උල්පත්ය, තද සුළගින් ගසාගෙන යන මීදුම්ය; ඔවුන්ට අන්ධකාරයේ කලුවර කම ඉතුරුකර තබා තිබේ. 18 මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇද ගනිති; 19 ඔව්හු තුමූම දුෂ්‍යකමේ දාසයන්ව සිටින අතර ඔවුන්ට නිදහස දෙන්ට පොරොන්දු වෙති; මක්නිසාද යමෙක් යමෙකුගෙන් පරාජය වුණොත් ඔහු ඒ තැනැත්තාට වාල්ව සිටියි. 20 මක්නිසාද ස්වාමීවූ ගැළවුම්කාරවූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේව දැන ගැනීමෙන් ලෝකයේ කිලුටු කම් වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල් වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. 21 මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨ කමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරී යනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තානම් ඔවුන්ට යහපත්ය. 22 බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප‍්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.

2 පේත්‍රැස් 3

1 පේ‍්‍රමවන්තයෙනි, දැන් මේක නුඹලාට ලියා එවන දෙවෙනි ලියුමය. 2 ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියන ලද වචනද නුඹලාගේ පේ‍්‍රරිතයන් කරණ කොටගෙන කියෙවූ ස්වාමීවූ ගැළවුම්කාරයාණන්ගේ ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක් කරවීම කරණකොට ගෙන නුඹලාගේ අවංකවූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදුකරවමි. 3 අන්තිම දවස් වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: 4 පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන් ගැනීමේ සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම් කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගනිල්ලා. 5 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොට ගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධ කරන ලද්දාවූ, වතුර මධ්‍යයෙහි වූ පොළොවක්ද තිබුණු බවත්, 6 ඒ කරණකොට ගෙන එකලට තිබුණු ලෝකය ජල ගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති. 7 නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරු කරනුලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ. 8 නුමුත්, පේ‍්‍රමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන්ය, අවුරුදු දහසක් එක දවසක් මෙන්ය යන මේ එක කාරණය මතක නැති නොකරල්ලා. 9 ප‍්‍රමාද යයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප‍්‍රමාද නොවන සේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. 10 එහෙත් සොරෙකු මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහව යන්නේය, මහා භූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය. පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලා යන්නේය. 11 මේ සියල්ල මෙසේ නාස්තිවන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද ඒ ගැන උනන්දුව ක‍්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? 12 ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්ති වනවා ඇත, මහා භූතයෝද දාලා උණුවී යන්නෝය. 13 එහෙත් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පෙළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුව හැටියට අපි බලා සිටිමුව. 14 ඉන්නිසා, පේ‍්‍රමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලා සිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව, දකිනු ලබන පිණිස උත්සාහ කරපල්ලා. 15 අපේ පේ‍්‍රමවන්ත සහෝදරවූ පාවුල්ද තමාට දුන් ප‍්‍රඥාව ලෙස නුඹලාට ලියා එවුවාක් මෙන්, අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිළිවන්තකම ගැළවීම යයි සලකාපල්ලා. 16 එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේදේවල් ගැන කතා කර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහරදේ තිබේ; නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලි මෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති. 17 එබැවින්, පේ‍්‍රමවන්තයෙනි, නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් ඇදී ගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම් වෙයල්ලා. 18 එහෙත් අපගේ ස්වාමීවූ ගැළවුම්කාරවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේගේ දැනගැන්මෙහිද වර්ධනයවෙයල්ලා. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා ආමෙන්.

1 යොහන් 1

1 පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස් වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන, 2 නුඹලාත් අප සමඟ පංගුකාර කම ලබන පිණිස, අප දුටුවාවූ ඇසුවාවූ ඒ දේ නුඹලාටත් ප‍්‍රකාශ කරමුව. 3 (ඒ ජීවනය ප‍්‍රකාශ කරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂි දෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප‍්‍රකාශ කරන ලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප‍්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත‍්‍රවූ යේසුස්ක‍්‍රිස්තුස්වහන්සේද සමඟය. 4 මේ දේවල් ලියා එවන්නේ අපේ *(නුඹලාගේ) ප‍්‍රීතිය සම්පූර්ණ වන පිණිසය. 5 අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නාවූ, නුඹලාට දන්වන්නාවූ පණිවිඩය නම්, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැති බවත්ය. 6 අපි උන්වහන්සේ සමඟ පංගුකාර කම ඇතැයි කියමින් අන්ධකාරයෙහි හැසිරෙමුනම් අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව. 7 නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය. උන්වහන්සේගේ පුත‍්‍රවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ලේද සියලු පාප වලින් අප පවිත‍්‍ර කරන්නේය. 8 අපට පාපය නැතැයි කියමු නම්, අපිම රවටා ගනිමුව. සැබෑවද අප තුළ නැත. 9 අපේ පාපවල් කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨ කමින් අප පවිත‍්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. 10 අපි පව් කළේ නැතැයි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව, උන්වහන්සේගේ වචනද අප තුල නැත.

1 යොහන් 2

1 මාගේ ප‍්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ වන මැදිහත් කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටින සේක. 2 උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය, අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. 3 අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ අඳුනන බව එයින් දනිමුව. 4 උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුල නැත. 5 නුමුත් යමෙක් උන්වහන්සේ ගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව. 6 උන්වහන්සේ තුළ පවතිමියි කියන තැනැත්තා විසින් උන්වහන්සේ හැසිරුණාක් මෙන් හැසිරිය යුතුය. 7 පේ‍්‍රමවන්තයෙනි, මා නුඹලාට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව පටන්ගැන්මේ සිට නුඹලාට තිබුණු පරණ ආඥාවක්ය. ඒ පරණ ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. 8 නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි. එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබලයි. 9 ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛර වෙන්නා මේතාක් අඳුරේ සිටියි. 10 තමාගේ සහෝදරයාට පේ‍්‍රමවන්නා ආලෝකයෙහි පවතියි. පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. 11 නුමුත් තමාගේ සහෝදරයාට වෛර වෙන්නා අන්ධකාරයෙහි සිටියි. අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි. 12 මාගේ ප‍්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමා කරනු ලැබූ බැවින්ය. 13 පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන් ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප‍්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය. 14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන් ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුල දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජය ගත් බැවිනුත්ය. 15 ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේ වලටවත් පේ‍්‍රම නොකරල්ලා. යමෙක් ලෝකයට පේ‍්‍රම කෙරේ නම්. පියාණන්වහන්සේ කෙරෙහි පේ‍්‍රමය ඔහු තුල නැත. 16 මක්නිසාද ලෝකයෙහි සිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. 17 ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය. 18 ප‍්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක‍්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ ක‍්‍රිස්තුස්වරුන් නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. 19 ඔව්හු අප කෙරෙන් ගියෝය, නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප‍්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය. 20 නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය. 21 මා නුඹලාට ලියා එව්වේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව, නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය. 22 යේසුස්ස්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ නොවේ යයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? විරුද්ධ-කි‍්‍රස්තුස් මේය, එනම් පියාණන්වහන්සේ සහ පුත‍්‍රයාණන්වහන්සේ එපා කරන තැනැත්තාමය. 23 යමෙක් පුත‍්‍රයාණන්වහන්සේ එපා කරන්නේද ඔහුට පියණන්වහන්සේත් නැත්තේය. යමෙක් පුත‍්‍රයාණන්වහන්සේ පිළිගන්නේද, ඔහුට පියාණන්වහන්සේත් ඇත්තේය. 24 නුඹලා පටන් ගැන්මේ සිට ඇසූ දේම නුඹලා තුළ පවතීවා. පටන්ගැන්මේ සිට ඇසූදේ නුඹලාතුළ පවතී නම්, නුඹලාත් පුත‍්‍රයාණන්වහන්සේද පියාණන්වහන්සේද තුළ පවතින්නහුය. 25 උන්වහන්සේ පොරොන්දුවූ පොරොන්දුව නම් සදාකාල ජීවනයය. 26 මා නුඹලාට මේ කාරණා ලියුවේ නුඹලා මුළා කරන්ට හදන අය ගැනය. 27 නුඹලා ගැන වනාහි. නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුල පවතින්නේය. යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත; එම ආලේපය සියල්ල නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්වූ ප‍්‍රකාරයටද උන්වහන්සේ තුල පැවතියල්ලා. 28 ඉතින් මාගේ ප‍්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතියල්ලා, එසේ කළ යුතු වන්නේ උන්වහන්සේ ප‍්‍රකාශ වුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජා නොවී නිර්භීතකම ඇතුව සිටින පිණිසය. 29 උන්වහන්සේ ධර්මිෂ්ඨ බව නුඹලා දනිහු නම්, ධර්මිෂ්ඨකම් කරන සියල්ලන්ද උන්වහන්සේගෙන් ඉපදී සිටින බව නුඹලා දනිහුය.

1 යොහන් 3

1 අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු පේ‍්‍රමයක් අපට දී වදාළ සේක්දැයි බලාපල්ලා. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත. 2 පේ‍්‍රමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප‍්‍රකාශවී නැත. උන්වහන්සේ ප‍්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වෙන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව. 3 උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන්ම තමුන්ම පිරිසිදුකර ගනිති. 4 පව්කරන සැමදෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය. 5 පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප‍්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත. 6 යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව් කරන්නේ නැත. පව් කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත. 7 මා ප‍්‍රිය දරුවෙනි, නුඹලා මුළා කරන්ට කිසිවෙකුට ඉඩ නොදෙල්ලා. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක් මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි. 8 පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන් ප‍්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක‍්‍රියා විනාශ කරන පිණිසය. 9 දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව්කරන්නේ නැත, මක්නිසාද ඔහු තුළ උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව් කරන්ට ඔහුට නුපුළුවන. 10 මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප‍්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට පේ‍්‍රම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි. 11 මක්නිසාද පටන් ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අප විසින් එකිනෙකාට පේ‍්‍රම කළයුතුය යන මේය. 12 තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන්වූද කායින් මෙන් නොවෙමු. කුමක් හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක‍්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක‍්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය. 13 සහෝදරයිනි, ලෝකයා නුඹලාට වෛර කරන්නේ නම් මවිත නොවෙල්ලා. 14 අප සහෝදරයන්ට පේ‍්‍රම කරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. පේ‍්‍රම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි. 15 තමාගේ සහෝදරයාට වෛර කරන කවරෙක් නුදුත් මිනීමරන්නෙක්ය. කිසි මිනී මරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දනිහුය. 16 අප පේ‍්‍රමය දැනගෙන සිටින්නේ ඒ තැනන්වහන්සේ තමන් ප‍්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය. 17 නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක, ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ඔහු තුළ පවතින්නේ කෙසේද? 18 මාගේ ප‍්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක‍්‍රියාවෙනුත් සැබෑවෙනුත් පේ‍්‍රම කරමු. 19 මෙයින් අප සැබෑ කමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණය කරන විට උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතික කරගන්නෙමුව; 20 මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය. 21 පේ‍්‍රමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීත කම අපට ඇත්තේය. 22 තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප‍්‍රසන්න දේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව. 23 උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත‍්‍රවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහීමත් උන්වහන්සේ අපට ආඥා කළ ලෙස එකිනෙකාට පේ‍්‍රම කිරීමත්ය 24 උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි, උන්වහන්සේද ඔහු තුළ පවතින සේක. උන්වහන්සේ අප තුළ සිටින බව අප දැන ගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය.

1 යොහන් 4

1 පේ‍්‍රමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරපල්ලා. 2 මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය. 3 යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේ යයි නුඹලා ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක‍්‍රිස්තුස්ගේ ආත්මය මේය. 4 මාගේ පිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජය ගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති. 5 එබැවින් ලෝකයෙන් වූවාක් මෙන් කතා කරති, ලෝකයාද ඔවුන්ගේ වචන අසති. 6 අපි දෙවියන්වහන්සේගෙන් වෙමුව. දෙවියන්වහන්සේ අඳුනන තැනැත්තේ අපේ වචන අසන්නේය; දෙවියන්වහන්සේගෙන් නොවන තැනැත්තේ අපේ වචන අසන්නේ නැත. මෙයින් සැබෑකමේ ආත්මයත් මුළාවේ ආත්මයත් අපි දැන ගනිමුව. 7 පේ‍්‍රමවන්තයෙනි, අපි එකිනෙකාට පේ‍්‍රම කරමු. මක්නිසාද පේ‍්‍රමය දෙවියන්වහන්සේ ගෙන්ය; පේ‍්‍රම කරන සැම දෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති. 8 පේ‍්‍රම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ පේ‍්‍රමයය. 9 අප කෙරෙහි තිබෙන දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ප‍්‍රකාශ කරනු ලැබුවේ දෙවියන්වහන්සේ ස්වකීය ඒක ජාතක පුත‍්‍රයාණන් කරණකොට ගෙන අප ජීවත්වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. 10 10 පේ‍්‍රමය මේය, එනම් අප දෙවියන්වහන්සේට පේ‍්‍රම කළා නොව, උන්වහන්සේ අපට පේ‍්‍රම කොට, අපේ පව් උදෙසා ශාන්ති කර පූජාව වන පිණිස තමන්ගේ පුත‍්‍රයා එවූ බවය. 11 පේ‍්‍රමවන්තයෙනි, දෙවියන්වහන්සේ අපට මෙසේ පේ‍්‍රමකළසේක් නම්, අප විසිනුත් එකිනෙකාට පේ‍්‍රම කළ යුතුය. 12 සිවෙක් කිසි කලෙක දෙවියන්වහන්සේ දුටුවේ නැත. අපි එකිනෙකාට පේ‍්‍රම කරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ පේ‍්‍රමයද අප තුළ සම්පූර්ණවී තිබේ. 13 අප උන්වහන්සේ තුලද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය. 14 පියාණන්වහන්සේ විසින් පුත‍්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂි දෙමුව. 15 යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන් බව යමෙක් ඒත්තු ගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය. 16 දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති පේ‍්‍රමය අපි දැන විශ්වාස කරගෙන සිටිමුව. දෙවියන්වහන්සේ පේ‍්‍රමයය; පේ‍්‍රමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටී, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටින සේක. 17 අප තුල පේ‍්‍රමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටි ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය. 18 පේ‍්‍රමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ පේ‍්‍රමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ පේ‍්‍රමයෙහි සම්පූර්ණ නොවී සිටියි. 19 අප පේ‍්‍රම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට පේ‍්‍රම කළ නිසාය. 20 යමෙක්: දෙවියන්වහන්සේට පේ‍්‍රම කරමියි කියා තමන්ගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට පේ‍්‍රම නොකරනවානම්, තමා නුදුටු දෙවියන්වහන්සේට පේ‍්‍රම කරන්ට ඔහුට නුපුළුවන*(පුළුවන් කොහොමද?). 21 දෙවියන්වහන්සේට පේ‍්‍රම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් පේ‍්‍රමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.

1 යොහන් 5

1 යේසුස්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ බව විශ්වාස කරන සැමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති. ඉපදෙවූ තැනන්වහන්සේට පේ‍්‍රමකරන හැම දෙනම උන්වහන්සේගෙන් උපන් තැනැත්තාටත් පේ‍්‍රම කරති. 2 අප දෙවියන්වහන්සේට පේ‍්‍රම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන කල, අපි දෙවියන්වහන්සේගේ දරුවන්ට පේ‍්‍රම කරන බව අපි දනිමුව. 3 මක්නිසාද දෙවියන්වහන්සේට පේ‍්‍රමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. 4 උන්වහන්සේගේ ආඥා බර නැත. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය. 5 යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද? 6 වතුර සහ ලේ කරණකොට ගෙන ආ තැනන්වහන්සේ නම් මුන්වහන්සේය, එනම් යේසුස්ක‍්‍රිස්තුස්වහන්සේය; වතුරෙන් පමණක් නොව වතුරෙන් සහ ලෙයින්ය. 7 සාක්ෂි දෙන්නේ ආත්මයාණන්වහන්සේය. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවයය. 8 සාක්ෂි දරණ තුන්දෙනෙක් සිටිති: ආත්මයාණන්වහන්සේය, වතුරය, ලේය. මේ තුන් දෙනාම එකඟ වෙති. 9 මනුෂ්‍යයන්ගේ සාක්ෂිය අපි පිළිගනිමු නම්, දෙවියන්වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්ය. මක්නිසාද දෙවියන්වහන්සේගේ සාක්ෂිය මේය, එනම් තමන් පුත‍්‍රයාණන් ගැන උන්වහන්සේ සාක්ෂි දී තිබෙන බවය. 10 දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා කෙරෙහි අදහන්නාට තමා තුළේම සාක්ෂිය ඇත්තේය. දෙවියන්වහන්සේව නොඅදහන්නා දෙවියන්වහන්සේ තමන් පුත‍්‍රයාණන් ගැන දී තිබෙන සාක්ෂිය කෙරෙහි විශ්වාස නොකළ නිසා උන්වහන්සේව බොරු කාරයෙක් ‍කෙළේය. 11 ඒ සාක්ෂිය නම් දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය, ඒ ජීවනයද තමන් පුත‍්‍රයාණන්තුල තිබේ. 12 පුත‍්‍රයාණන්වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත; දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. 13 දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය. 14 උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැක කමනම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. 15 අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව. 16 යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤා කරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන පාපයක් කරන්නන්ට (දෙවියන්වහන්සේ)*(ජීවනය දෙනවා ඇත) ජීවනය දෙන සේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ. 17 සියලු අධර්මිෂ්ඨකම් පාපයය. මරණයට නොපමුණුවන පාපයක්ද ඇත්තේය. 18 දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් *තැනැත්තේ (තැනැන්වහන්සේ ඔහු ආරක්ෂ කරනසේක) තමාම ආරක්ෂා කරගන්නේය, නපුරා ඔහුට අත ගසන්නේ නැත. 19 අපි දෙවියන්වහන්සේගේ වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමු. 20 තවද දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ එනම් උන්වහන්සේගේ පුත‍්‍රවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය. 21 මාගේ ප‍්‍රිය දරුවෙනි, දේවතාරූප වලින් දුරුව සිටපල්ලා.

2 යොහන් 1

1 වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමග තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද, 2 සැබෑවෙහි පේ‍්‍රම කරන්නාවූ තෝරාගත් ස්වාමිදුවටත් ඇගේ දරුවන්ටත් ලියා එවන වගනම්: 3 යවූ දෙවියන්වහන්සේගෙන්ද පියාණන්ගේ පුත‍්‍රවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් සත්‍යතාවයෙහි හා පේ‍්‍රමයෙහි අප සමඟ වන්නේය. 4 පියාණන්වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම නුඹේ දරුවන්ගෙන් සමහරුන් සත්‍යතාවයේ හැසිරෙනවා මට සම්බවුණ බැවින් ඉතා ප‍්‍රීතිවෙමි. 5 ඉඳින් ස්වාමි දුවණියෙනි, පටන්ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අළුත් ආඥාවක් ලියුවාක් මෙන් නොව, අප විසින් එකිනෙකාට පේ‍්‍රම කරන ලෙස නුඹෙන් ඉල්ලා සිටිමි. 6 පේ‍්‍රමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන්ගැන්මේ සිට ඇසූ ලෙස පේ‍්‍රමයෙහි හැසිරිමය. 7 මක්නිසාද යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ ක‍්‍රිස්තුස්ද මොහුය. 8 අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලා ගනිල්ලා. 9 ක‍්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත‍්‍රයාණන්වහන්සේද සිටිනසේක. 10 නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළිනොගනිල්ලා, ඔහුට ශුභසිද්ධවේවයි නොකියල්ලා. 11 මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක‍්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය. 12 බොහෝ කාරණ නුඹලාට ලියා එවන්ට මට ති‍බේ, නුමුත් කඩදාසියෙන් හා තීන්තෙන් එසේ කරන්ට නොකැමැත්තෙමි. නුමුත් නුඹේ ප‍්‍රීතිය සම්පූර්ණ වන පිණිස නුඹ ළඟට එන්ටද මුහුණට මුහුණලා කථාකරන්ටද බලාපොරොත්තු වෙමි. 13 නුඹේ තෝරාගත් සහෝදරීගේ දරුවෝ නුඹට ආචාර කරති.

3 යොහන් 1

1 වැඩිමහල්ලාවන මා විසින් සත්‍යතා‍වෙහි පේ‍්‍රමකරන පේ‍්‍රමවන්ත ගායස්ට ලියා එවන වගනම්: 2 පේ‍්‍රමවන්තය, නුඹේ ආත්මය සඵල වන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි. 3 නුඹ සැබෑවෙහි හැසිරෙන ලෙසම නුඹ තුළ ඇති සැබෑව ගැන සහෝදරයන් ඇවිත් සාක්ෂිදුන් කල මම ඉතා ප‍්‍රීති වුනෙමි. 4 මාගේ දරුවන් සත්‍යතාවයෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප‍්‍රීතියක් මට තවත් නැත. 5 පේ‍්‍රමවන්තය, නුඹ සහෝදරයන් හා ආගන්තුකයන්ව සිටින්නන්ට කරන යමක් ඇද්ද, නුඹ එයින් විශ්වාස ක‍්‍රියාවක් කරන්නෙහි; 6 ඔව්හු නුඹේ පේ‍්‍රමය ගැන සභාව ඉදිරි පිට සාක්ෂිදුන්නෝය. දෙවියන්වහන්සේට ඔබින ලෙස නුඹ ඔවුන්ගේ ගමනට උපකාරකිරීම යහපත්ය. 7 කෙසේදයත්, ඔවුන් අන්‍යජාතීන්ගෙන් කිසිත් නොගෙන, උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය. 8 අප සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳු වූවන් ප‍්‍රීතියෙන් පිළිගත යුතුය. 9 මම සභාවට මඳක් ලියා එව්වෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප‍්‍රධාන කමට කැමති දියොත්‍රෙපස් අප පිළි ගන්නේ නැත. 10 ඉන් නිසා මම ආවොත් ඔහු අපට විරුද්ධව දුෂ්ඨ වචන දොඩමින් කරන ක‍්‍රියාවන් සිහි කරවන්නෙමි. ඔහු එයිනුත් තෘප්තියට නොපැමිණ සහෝදරයන් පිළි නොගෙන, පිළිගන්ට කැමතිවුවන් වලක්වා, සභාවෙන් ඔවුන් පහකරන්නේය. 11 පේ‍්‍රමවන්තය, නපුර නොව යහපත ආදර්ශ කොට ගනින්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන්වහන්සේ දුටුවේ නැත. 12 දෙමේස්ත‍්‍රියස්ට සියල්ලන්ගේද සැබෑකමේද සාක්ෂිය ඇත්තේය. එසේය, අපිත් සාක්ෂි දෙමුව; අපේ සාක්ෂිය සැබෑ බව නුඹ දන්නෙහිය. 13 නුඹට බොහෝ දේ ලියා එවන්ට මට තිබුනේය. නුමුත් තීන්තෙන් හා පිහාට්ටෙනුත් නුඹට ලියා එවන්ට නොකැමැත්තෙමි. 14 නුමුත් ඉක්මනින් නුඹ දකින්ට බලාපොරොත්තු වෙමි, එවිට අපි මුහුණට මුහුණලා කතා කරන්නෙමුව. නුඹට සමාදානය වේවා. අපේ මිත‍්‍රයෝ නුඹට ආචාර කරති. නම් වශයෙන් මිත‍්‍රයන්ට ආචාර කරපන්න.

යූදස් 1

1 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද, යාකොබ්ගේ සහෝදරයාදවූ යූදස් යන මා විසින් පියවූ දෙවියන්වහන්සේ තුළ ප‍්‍රියවූ, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂා කරනු ලබන්නාවූ, කැඳවනු ලැබූවන්ට ලියා එවන වග නම්: 2 නුඹලාට දයාවත් සමාදානයත් පේ‍්‍රමයත් වැඩිවේවා. 3 පේ‍්‍රමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සහාය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර අල්ලන ලෙස අවවාද කරමින් නුඹලාට ලියා එවන්ට ඕනෑවිය. 4 මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේව එපා කරන්නාවූද, මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති. 5 ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගෙන සිටින නමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි. 6 තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම් වලින් බැඳ තැබූසේක. 7 එසේ සොදොම සහ ගොමෝරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති. 8 එහෙත් ඒ ආකාරයෙන්ම මොව්හුත් තමුන්ගේ නිස්සාර හීන දැක්වීම් වලදී මාංසය කිලුටුකරගනිති, අධිපතිකම සුළුකරති, උත්තමයන්ට නින්දා කරති. 9 නමුත් අග‍්‍ර දේවදුතයාවූ මිකායෙල්, යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාද කරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වයි කීවේය. 10 නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයිදේටත් නින්දා කරති. නුවණ නැති තිරිසණුන් ලෙස ජම්ම ගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූම විනාශකරනු ලබන්නෝය. ඔවුන්ට දුක්වේ! 11 මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර; කුලී පිණිස බාලම්ගේ මුළාවෙහි වේගයෙන් දිව ගොස්, කෝරාගේ විරුද්ධ කථාවේදී විනාශවූවෝය. 12 මොව්හු නම් නුඹලා සමග මංගල්‍ය කෑම කන විට නුඹලාගේ පේ‍්‍රම මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය*(නොහොත්, ලපය), නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වළාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත් කාලයේ ගස්ය. 13 ඔව්හු ස්වකීය ලජ්ජාව නැමති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාව යන තාරකාවෝය, ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ. 14 ආදම් පටන් සත්වෙනියාවූ ඒනොක් මොවුන් ගැනත් අනාගතවාක‍්‍ය කියමින්: බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්ත ලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක‍්‍රියා ගැනත්, 15 අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කතා කළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමඟ ආසේකැයි කිවේය. 16 මොව්හු මැසිවිලි කියන්නෝය, කොදුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප‍්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය. 17 නුමුත් පේ‍්‍රමවන්තයිනි, අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ පේ‍්‍රරිතයන් විසින් පළමු කියන ලද වචන, එනම්: 18 අන්තිම කාලයේදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට හැසිරෙන සරදම්කරන්නන් සිටිනවා ඇතැයි ඔවුන් නුඹලාට කී හැටි සිහිකරපල්ලා. 19 මොව්හු මාංසිකව, ආත්මයාණන්වහන්සේ නැතුව, භේද කරන්නෝය. 20 නමුත් පේ‍්‍රමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනගා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤා කරමින්, 21 සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ දයාව බලාසිටිමින්, දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයෙහි පැවතියල්ලා. 22 තවද මාංසය කරණ කොට ගෙන කැලැල්වූ වස්ත‍්‍රයට පවා ද්වේෂ කරමින්, 23 අනුමානයෙහි සිටින සමහරුන්ට දයාව පෙන්වාපල්ලා; සමහරෙකුන් ගින්නෙන් ඇදලා ගළවාපල්ලා; භයින් යුක්තව සමහරුන්ට දයාව පෙන්වාපල්ලා. 24 ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප‍්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ, 25 අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන ගෞරවයද මහන්තත්වයද පරාක‍්‍රමයද බලයද සියලු කාලවලට ප‍්‍රථමයෙන් සහ දැනටත් සදාකාලයටත් වේවා! ආමෙන්.

එළිදරව් 1

1 ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්, එනම් දෙවියන්වහන්සේ තමන්ගේ දාසයන්ට, දක්වන පිණිස යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේට දුන්නාවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් කිරීමය. උන්වහන්සේ තමන් දුතයා කරණකොට ගෙන තමන් මෙහෙකරුවූ, යොහන්ට එය දන්වා එවූසේක. 2 ඔහු දෙවියන්වහන්සේගේ වචනය ගැනත්, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම් තමා දුටු සියලු දේ ගැන සාක්ෂිදුන්නේය. 3 මේ අනාගතවාක්‍ය‍යේ වචන කියන්නාද, ඒවා අසන්නාද, එහි ලියනලද කාරණා පවත්වන්නෝද, ආශිර්වාද ලද්දෝය. මක්නිසාද කාලය ලඟය. 4 යොහන් වන මා විසින් ආසියොවෙහි ඇති සභා සතට ලියා එවන වග නම්: සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ තැනැන්වහන්සේගෙන්ද, උන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සිටින ආත්මයාණන් සත්දෙනාගෙන්ද, 5 විශ්වාසසාක්ෂිකාරයාවූ මළවුන්ගෙන් නැගිටි කුළුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට පේ‍්‍රමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාප වලින් අප මිදුවාවූ, 6 අපව රාජ්‍යයක්ද. තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක‍්‍රමයද සදාකාලෙටම වේවා! ආමෙන් 7 බලාපල්ලා, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද, උන්වහන්සේට ඇන්න අයද, උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්. 8 මම අල්ෆා සහ ඔමේගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක‍්‍රමවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ කියනසේක. 9 නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුල පීඩා විඳීමෙහිත්, රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත්, පංගුකාරයාදවූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. 10 මම ස්වාමීන්වහන්සේගේ දවසේදී, ආත්මයාණන්වහන්සේ තුල සිටියෙමි. 11 එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පගර්මම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියා, ලවෝදික, යන මේ සභා හතට ඇරපන්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි. 12 එකල මා සමග කථා කළ ශබ්දය කිමෙක්දැයි බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කළ, 13 රන් පහන් රුක් සතක්ද, ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත‍්‍රයක් පැළඳ රන් පටියකින් ළය බැඳගෙන, සිටි මනුෂ්‍ය පුත‍්‍රයෙක් වැනිවූ කෙනෙක්ද දුටිමි. 14 උන්වහන්සේගේ හිසද, හිසකේද, සුදු ලොම් සහ හිම මෙන් සුදුය; උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක් හා සමානය; 15 උන්වහන්සේගේ පාද උදුනක ගිනියම්කළ දිලිසහන පිත්තල මෙන්ය‍‍; උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන්ය. 16 උන්වහන්සේගේ ස්වකීය දකුණතෙහි, තාරකා හතක් ඇතිව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්යයා මෙන්ය. 17 මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්; භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය, ජීවමානවූ තැනැත්තාය; 18 මම මැරුණෙමි නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද*(ග්‍රීක්: හේදීසය) යතුරු මට ඇත්තේය. 19 එබැවින් නුඹ දුටුදේද දැන් තිබෙන දේද වන, මින් පසු සිදුවෙන්ට තිබෙන දේදවන, 20 මාගේ දකුණු අතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද, රහස ලියාපන්න. තාරකා සත නම් සභා සතේ දූතයෝය‍; පහන් රුක් සත නම් සභා සතය.

එළිදරව් 2

1 එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියාපන්න; තමන් දකුණතෙහි තාරකා සත දරන්නාවූද, රන් පහන්රුක් සත මැද සක්මන්කරන්නාවූද, තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. 2 එනම් නුඹේ ක‍්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, පේ‍්‍රරිතයන් නොවන නුමුත් තුමූ පේ‍්‍රරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා, ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, 3 ඉවසිල්ලෙන් යුක්තව, මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. 4 නමුත් නුඹේ පළමු පේ‍්‍රමය අත් හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. 5 එබැවින් නුඹ වැටී සිටින්නේ කොතැනින්දැයි සිහිකොට, පශ්චත්තාපව, පළමු ක‍්‍රියාවන් කරපන්න‍; නැතහොත් මම නුඹ ළඟට ඇවිත්, නුඹ පශ්චත්තාප නොවෙනවානම්, නුඹේ පහන්රුක ස්වකීය ස්ථානයෙන් ඉවත්කරන්නෙමි. 6 නුමුත් මේක නුඹට ඇත්තේය. එනම්, මා ද්වේෂකරන, නිකොලයින්තයන්ගේ ක‍්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නෙහිය. 7 ආත්මයාණන්වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. 8 තවද ස්මර්ණයෙහි සභාවේ දුතයාට මෙසේ ලියාපන්න: පළමුවෙනියාද අන්තිමයාද වන, මැරී ජීවත්වන්නාවූ තැනන්වහන්සේ මේ කාරණ කියන සේක. 9 එනම් මම නුඹේ පීඩාවද, දිළිඳුකමද, දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි. 10 නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් සිරගෙහි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය, මරණය දක්වා විශ්වාසව සිටපන්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි. 11 ආත්මයාණන් වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තෝ අසාවා. ජය ගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය. 12 තවද පගර්මම්හි එපීසයෙහි සභාවේ දුතයාට මෙසේ ලියාපන්න: දෙමුවහත් කඩුව ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. 13 එනම් නුඹ වාසය කරන ස්ථානය දනිමි, එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටින බවද, සාතන් වාසයකරන ස්ථානයෙහිදී නුඹලා අතරෙහි මරනු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරයාවූ, අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහීම අත් නොහැරිය බවද දනිමි. 14 එහෙත් දේවතාරූප වලට පිදුදේ කන්ටත්, වේශ්‍යාකම්කරන්ටත් ඉශ‍්‍රායෙල් පුත‍්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින්, නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට ති‍බේ. 15 මෙසේ නිකොලායිතන්ගේ ඉගැන්වීම දරන්නොත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති. 16 එබැවින් පශ්චත්තාප වෙයන්න, නැතහොත් මම ඉක්මනින් මම නුඹ ලඟට ඇවිත්, මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි. 17 ආත්මයාණන්වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තෝ අසාවා ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි. 18 තවද තියා තිරාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියාපන්න: ගිනිදැල්ලක් වැනි ඇස්ද, දිලිහෙන පිත්තල වැනි පාදයන්ද ඇත්තාවූ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා මේ කාරණා කියනසේක. 19 එනම්, මම නුඹේ ක‍්‍රියාද පේ‍්‍රමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක‍්‍රියාවලට වඩා අන්තිම ක‍්‍රියා වැඩි බවද දනිමි. 20 නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය. එනම්, තමාම අනාගතවක්ත‍්‍රියෙකැයි කියා ගන්නාවූ ස්ත‍්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද, දේවතාරූපවලට පූජා කල දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුලාකරන්නීය. 21 පශ්චත්තාප වෙන්ට ඈට කල් දුනිමි; නුමුත් ඈ තමාගේ වේශ්‍යාකම ගැන පශ්චත්තාපවෙන්ට නොකැමැත්තීය. 22 බලව, ඇය යහනකට හෙළමි, ඈ සමඟ කාමමිත්‍යාචාරය කරන්නෝ ඇගේ ක‍්‍රියා ගැන පශ්චත්තාප නොවෙත් නම්, ඔවුන්ද මහත් පීඩාවකට හෙළමි. 23 ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි, මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක‍්‍රියා හැටියට දෙන්නෙමි. 24 නුමුත් මේ ඉගැන්වීම නැත්තාවු, ගැඹුරු යයි ඔවුන් කියන සාතන්ගේ ගැඹුරුවූ කාරණා නොදන්නාවූ, තියාතිරාවෙහි ඉතිරිව සිටින්නාවූ නුඹලා පිට මම වෙන කිසි බරක් නොතබමියි නුඹලාට කියමි. 25 එසේ වී නුමුත් නුඹලාට ඇතිදේ මා එනතුරු තදින් අල්ලාගෙන සිටපල්ලා. 26 ජය ගන්නාවූ, කෙළවර දක්වා මාගේ ක‍්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට නම් මාගේ පියාණන්වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. 27 කුම්භකාරයාගේ භාජන බිඳ සුණු කරණු ලබන්නාක් මෙන් ඔහු ඔවුන් යදණ්ඬකින් ආණ්ඩුකරන්නේය. 28 ඔහුට පහන්තාරකාව දෙන්නෙමි. 29 ආත්මයාණන්වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තේ අසාවා.

එළිදරව් 3

1 තවද සර්දිස්හි සභාවේ දුතයාට මෙසේ ලියාපන්න: දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාද, තාරකා සතද ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණ කියනසේක. එනම් නුඹේ ක‍්‍රියා දනිමි, නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතුව සිටින නුමුත් නුඹ මැරිලාය 2 අවදිව සිට,ඉතිරිවූ, නැසී යාමට ළංවූ දේ ස්ථීර කරපන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ කිසි ක‍්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බවුණේ නැත. 3 එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකුමෙන් එන්නෙමි. මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත 4 එහෙත් තමුන්ගේ වස්ත‍්‍ර කිලුටුකර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි නුඹට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමෙන් මා සමඟ ඇවිදිනවා ඇත. 5 ජයගන්නා නම් මෙසේ සුදුවස්ත‍්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි. 6 ආත්මයාණන්වහන්සේ සභාවලට කියනදේ කන් ඇත්තේ අසාවා. 7 තවද පිලදෙල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියාපන්න: ශුද්ධවූ, සැබැවූ, දාවිත්ගේ යතුර ඇත්තාවූ, කිසිවෙක් නොපියන ලෙස අරින්නාවු, කිසිවෙක් නාරින ලෙස පියන්නාවූ තැනන්වහන්සේ මේ කාරණ කියනසේක. 8 එනම්, මම නුඹේ ක‍්‍රියා දනිමි, (මෙන්න කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.) නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය, නුඹ මාගේ වචන රක්ෂා කළෙහිය, මාගේ නාමය නුඹ එපා කළේ නැත. 9 බලව, යුදෙව්වරුව නොසිටි තුමු යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට පේ‍්‍රම කළ බව දැනගන්ටත් සලස්වන්නෙමි. 10 මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරික්ෂා කිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්නට තිබෙන්නාවූ පරික්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂා කරන්නෙමි. 11 ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙනදේ තදින් අල්ලාගනින්න. 12 ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය. මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින, අළුත් යෙරුසලම වන, මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අළුත් නාමයද ඔහු පිට ලියන්නෙමි. 13 ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. 14 තවද ලවෝදිකයෙහි සභාවේ දුතයාට මෙසේ ලියාපන්න: ආමෙන් නැමැත්තාවූ, විශ්වාස සැබැ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ, තැනැන්වහන්සේ මේ කාරණා කියන සේක. 15 එනම්, මම නුඹේ ක‍්‍රියා දනිමි, නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි. 16 නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට, ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි. 17 කාලකණ්නියාද දුක්ඛිතයාද දිළින්ඳාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසිදෙයකින් හිඟයක් නැතැයි නුඹ කියන බැවින්, 18 නුඹ ධනවත්වන පිණිස, ගින්නෙන් පවිත‍්‍ර කරනලද රන්ද, නුඹේ නග්න භාවයේ ලජ්ජාව ප‍්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත‍්‍රද, නුඹේ අස් පෙනෙන පිණිස ඇස්වල ගාන්ට අඳුන්ද, මාගෙන් ලබාගන්ට නුඹට අවවාද කරමි. 19 මම පේ‍්‍රමකරන සියල්ලන්ට තරවටු කොට දඬුවම් කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චත්තාපවෙයන්න. 20 මෙන්න, මම දොරලඟ සිට තටිටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහුවෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය. 21 මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජය ගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි 22 ආත්මයාණන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.

එළිදරව් 4

1 ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කතාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී වරෙන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය. 2 එකෙණෙහිම මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට ස්වර්ගයෙහි සිංහාසනයක් තිබුණේය, ඒ සිංහාසනයෙහි එක්කෙනෙක් වැඩහුන් සේක; 3 එහි වැඩහුන් තැනැන්වහන්සේ, පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය. 4 ඒ සිංහාසනය වටේට වෙනත් සිංහාසන විසි හතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත‍්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි. 5 සිංහාසනයෙන් විදුලිද ශබ්දද, ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනිපහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත් දෙනාය; 6 සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක්විය; සිංහාසනය මධ්‍යයෙහිත්, සිංහාසනය අවටත් ඉස්සරහින්ද හා පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතරදෙනෙක් සිටියෝය. 7 පළමුවෙනි සත්වයා සිංහයෙකු සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, හතරවෙනි සත්වයා පියාසර කරන රාජාලියෙකුට සමානය. 8 එක එකාට පියාපත් සයක් බැගින් තිබුනාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුලතද ඇස් පුරාම තිබුණේය. ඔවුහුද: සිටියාවූ සිටින්නාවූ මතු පැමිණෙන්නාවූ සර්ව පරාක‍්‍රමවූ ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය යැයි රෑ දවල් නොනැවතී කියමින් සිටියෝය. 9 ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ, තැනන්වහන්සේට ප‍්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල, 10 වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩ සිටින තැනන්වහන්සේ ඉදිරියෙහි, වැටී සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා: 11 අපගේ ස්වාමීන්වහන්ස, ඔබ ප‍්‍රසංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලුදේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවන ලද්දේයයි කියති.

එළිදරව් 5

1 තවද ඇතුළතත් පිටත් ලියනලද, මුද්‍රා සතකින් තදලෙස මුද්‍රාකරනලද පොතක් සිංහාසනයෙහි වැඩ උන්නාවූ තැනන්වහන්සේගේ දකුණතෙහි දුටිමි. 2 ඒ පොත දිගඅරින්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදැයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදුතයෙක් හඬගසනවා දුටිමි. 3 නමුත් ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ පොළොවෙන් යට හෝ පොත දිගඅරින්ටවත් ඒක බලන්ටවත් පුළුවන් වූ කිසිවෙක් නොසිටියේය. 4 පොත දිග අරින්ටවත් ඒක බලන්ටවත්, වටින්නාවු කිසිවෙක් සම්බ නොවූ බැවින් මම බොහෝ කොට හැඬුවෙමි. 5 එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථා කොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත‍්‍රයෙන් වූ සිංහයාද, දාවිත්ගේ මුලදවූ තැනන් වහන්සේ ජයගත්සේකැයි මට කීවේය. 6 තවද අං සතක්ද, පොළොව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනා වන ඇස් සතක්ද ඇත්තාවූ, මරණුලැබුවාක් මෙන් පෙනුණාවූ බැටළු පැටවෙක්, සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතරදෙනා සහ වැඩිමහල්ලන් මධ්‍ය‍යයෙහිත් සිටිනවා දුටිමි. 7 ඒ බැටළු පැටවාණෝ ඇවිත්, සිංහාසනයෙහි වැඩ උන්නාවූ තැනන්වහන්සේගේ දකුණතින් පොත ගත්සේක. 8 එසේ පොත ගත්කළ, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසි හතරදෙනාත් එකිනෙකා වීණාවක්ද, ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නැමති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත‍්‍රාද රැගෙන, බැටළු පැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුනෝය. 9 ඔවුහු අළුත් ගීතිකාවක් ගායනා කරමින්: ඔබ පොත ගන්ටත්, එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියළු ගෝත‍්‍ර වලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන, 10 ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද, පූජකයන්ද කළ සේක: ඔවුහු පොළොවෙහි රජකම් කරතියි කීවෝය. 11 තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේව දූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය. ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස් වර දහස්ව තිබුණේය. 12 ඔවුහු කතා කොට: මරණු ලැබූ බැටළු පැටවාණෝ බලයත් ධනයත් ප‍්‍රඥාවත් පරාක‍්‍රමයත් ගෞරවයත් තේජසත් ප‍්‍රශංසාවත් ලබන්ට වටින තැනන්වහන්සේ යැයි මහත් හඬකින් කීවෝය. 13 තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි සියල්ලෝ: සිංහාසනයෙහි වැඩ ඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත්, ප‍්‍රශංසාවද ගෞරවයද මහිමයද පරාක‍්‍රමයද සදාකාලයටම වේවායි කියනවා ඇසීමි. 14 ජීවමාන සත්වයෝ සතරදෙනාද: ආමෙන් යයි කීවෝය. වැඩිමහල්ලෝ බිම වැටී නමස්කාර කළෝය.

එළිදරව් 6

1 තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක්, ගර්ජනා ශබ්දයකින් මෙන් කථා කොට: වරෙන්නැයි කියනවා ඇසිමි. 2 එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි, ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය; ඔටුන්නක්ද ඔහුට දෙන ලද්දේය. ඔහු ජය ගනිමින්ද, ජයගන්න පිණිසද, පිටත්ව ආවේය. 3 උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩූකළ, දෙවෙනි ජීවමාන සත්වයා කථා කොට: වරෙන්නැයි කියනවා ඇසිමි. 4 එවිට තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටතට ආවේය. ඌ පිට හුන් තැනැත්තාට පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙන ලද්දේය. මහත් වූ කඩුවක්ද ඔහුට දෙන ලද්දේය. 5 උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල, තුන්වෙනි ජීවමාන සත්වයා කථා කොට: වරෙන්නැයි කියනවා ඇසිමි. මම බැලුවෙමි. එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය. 6 ජීවමාන සත්වයන් සතර දෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය*(මස්ස, පණම් හයක් පමණ වේ); යව නැළි තුනක් *මස්සය; තෙල්වලටත්, මුද්‍රිකපානයටත් අනතුරක් නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසිමි. 7 උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කළ, සතරවෙනි ජීවමාන සත්වයා කථා කොට: වරෙන්නැයි කියන හඬ ඇසීමි. 8 එවිට සුදුමැලි අශවයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද*(ග්‍රීක්: හේදිසිය) ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් පොළොවේ වන මෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙන ලද්දේය. 9 උන්වහන්සේ පස් වෙනි මුද්‍රාව කැඩූ කළ, දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරණු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි. 10 ඔවුහු: අහෝ, ස්වාමීනි, ශුද්ධවූ සැබෑ වූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප‍්‍රමාද වන සේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය. 11 ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේය. ඔවුන් ලෙසම මරනු ලබන්ට සිටින්නාවූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වන තුරු, තව ස්වල්ප කාලයක් නවතින්ට කියා ඔවුන්ට කියන ලද්දේය. 12 උන්වහන්සේ සයවෙනි මුද්‍රාව කැඩූකල, මම දුටිමි, මහත්වූ භූමි කම්පාවක්විය: සූර්යා, කේශකම්බලයක් මෙන් කළුවිය. මුළු හඳද ලේ මෙන් විය; 13 අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය. 14 අකුලන ලද පොතක් මෙන් අහස පහකරන ලද්දේය; සියලු කඳුද දිවයින්ද ස්වකීය ස්ථාන වලින් පහකරන ලද්දේය. 15 පොළොවේ රජවරුද, උත්තමයෝද, සේනාපතියෝද, ධනවන්තයෝද, බලවන්තයෝද, සියලු දාසයෝද, නිර්දාසයෝද, කඳුවල ගුහාවලත්, පර්වතවලත් සැඟවුනෝය; 16 ඔවුහු කඳුවලටත් පර්වතවලටත් කතා කොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩ ඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවා ගනිල්ලා. 17 මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුන බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.

එළිදරව් 7

1 ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් කිසිම සුළඟක්වත් නොවදින පිණිස දේවදූතයන් සතරදෙනෙක් පොළොවේ සතරදිග සුළඟ අල්ලාගෙන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි. 2 තවත් දේව දුතයෙක් ජීවමාන දෙවියන්වහන්සෙගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත්, මුහුදටත් අනතුරු කරන්ට බලයලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා: 3 අපේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ නළල් වල මුද්‍රා තබනතුරු, ගොඩටවත්, මුහුදටවත්, ගස්වලටවත් අනතුරු නොකරල්ලායැයි කීය. 4 තවද මුද්‍රා කරනු ලැබූවන්ගේ ගණන ඇසීමි, ඊශ‍්‍රායෙල් පුත‍්‍රයන්ගේ සියලු ගෝත‍්‍රයන්ගෙන් මුද්‍රාකරනු ලැබූ අය එක්ලක්ෂ හතලිස් හතර දහසක් (144,000)ය. 5 යුදාගේ ගෝත‍්‍රයෙන් දොළොස්දහසක් (12,000) මුද්‍රාකරනු ලැබුවෝය රූබෙන් ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) ගාද්ගේගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) 6 ආෂේර් ගේ ගෝත‍්‍රයෙන් දොළොස්දහසක්ද (12,000) නප්තලිගේ ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) මනස්සේගේගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) 7 සිමියොන්ගේ ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) ලෙවීගේ ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) ඉස්සාකර්ගේ ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) 8 සාබුලොන්ගේ ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) යෝසෙප්ගේ ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12,000) බෙන්යමින්ගේ ගෝත‍්‍රයෙන් දොළොස් දහසක්ද (12000) මුද්‍රා කරනු ලැබීය. 9 ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත‍්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි. 10 ඔවුහු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත්, බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬගැසුවෝය. 11 සියලු දේවදුතයෝ සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් සතරදෙනාද වටකර සිට, සිංහාසනය ඉදිරියෙහි මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාර කරමින්: , 12 ආමෙන්. ප‍්‍රසංසාවද තේජසද ප‍්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක‍්‍රමයද සදාකාලෙටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන් යයි කීවෝය. 13 එවිට වැඩිමහල්ලන්ගෙන් එක් කෙනෙක් මට කතා කොට: සුදු සළු පැළඳ සිටින මොවුහු කවුරුද? කොතැනින් ආවෝදැයි මාගෙන් ඇසුවේය. 14 මමද: මාගේ ස්වාමීනී, ඔබ දන්නෙහි යැයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔවුහු තමුන්ගේ සළු බැටළු පැටවාණන් ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය. 15 එබැවින් ඔවුහු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති: උන්වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේට සේවය කරති. සිංහාසනයෙහි වැඩ හිඳින තැනන්වහන්සේ තමාගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක. 16 ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසවන්නේවත් නැත; සුර්ය රශ්මිය වත් කිසි රස්නයක්වත්, ඔවුන්ට පහර දෙන්නේ නැත. 17 මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුළු පිසදමන සේකැයි කිවේය.

එළිදරව් 8

1 උන්වහන්සේ සත්වෙනි මුද්‍රාව කැඩූ කල පැය බාගයක් පමණ ස්වර්ගයෙහි නිශ්ශබ්දයක් විය. 2 තවද දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින දේවදූතයන් සත්දෙනා දුටිමි‍; ඔවුන්ට හොරණෑ සතක් දෙනලද්දේය. 3 තවත් දේවදුතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත්, පූජාසනකය ඉදිරිපිට සිටියේය‍; සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයින්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස, බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේය. 4 සුගන්ධ ද්‍රව්‍යයේ දුම ශුද්ධවන්තයින්ගේ යාච්ඤා සමඟ දේවදුතයාගේ අතින් දෙවියන්වහන්සේ ඉදිරියට නැංගේය. 5 දේවදුතයාද, දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ගර්ජනාද ශබ්දද විදුලිද පොළොව කම්පාවක්දවිය. 6 හොරණෑ සත ඇතිව සිටින දේව දූතයන් සත්දෙනාද, පිඹින පිණිස සූදානම් වුණෝය. 7 පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ‍්‍රවූ ගල් වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙලනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය. ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය. සියළු අමු තණකොළද, දාලාගියේය. 8 දෙවෙනි දේවදුතයාද පිම්බේය, එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනිවූ දෙයක් මුහදේ හෙළනු ලැබුවේය. මුහුදෙන් තුනෙන් පංගුවක් ලේ වුණේය; 9 මුහුදේ සත්වයන්ගෙන් එනම්, පණ ඇති සත්වයන්ගෙන් තුනෙන් පංගුවක් මළෝය; නැව් වලින්ද තුනෙන් පංගුවක් විනාශවුණේය. 10 තුන්වෙනි දේවදුතයාද පිම්බේය, එවිට මහත් තාරකාවක් පන්දමක් මෙන් ඇවිලෙමින්, අහසෙන් වැටුණේය; ඒක ගංගා වලින් තුනෙක් පංගුවක් පිටද දිය උල්පත් පිටද වැටුණේය; 11 තාරකාවේ නාමය තික්තකම යයි කියන ලදී. වතුරවලින් තුනෙන් පංගුවක් තික්තවිය; ඒවා තික්තවී තිබුණ බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුරුවලින් මළෝය. 12 සතරවෙනි දේවදුතයාද පිම්බේය, එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හඳෙන් තුනෙන් පංගුවක්ද, තාරකාවලින් තුනෙන් පංගුවක්ද, පහර ලැබුවේය‍; මෙසේවුණේ ඒවායින් තුනෙන් පංගුවක් අඳුරුවන පිණිසත් දවාලෙන් තුනෙන් පංගුවක් නොබැබ‍ළෙන පිණිසත්ය, රාත‍්‍රියත් එසේමය. 13 තවද එක් රාජාලියෙක් අහස මැද පියාසර කරනවා දුටිමි. පිඹින්ට සිටින දේව දූතයන් තුන්දෙනාගේ ඉතුරු හොරණෑ ශබ්ද නිසා පොළොවේ වසන්නන්ට දුක්වේ, දුක්වේ, දුක්වේයයි මහත් ශබ්දයකින් කියනවාත් ඇසීමි.

එළිදරව් 9

1 පස්වෙනි දේවදූතයාද හොරණෑව පිම්බේය, එවිට අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබුණා දුටිමි. ඔහුට පාතාලයේ වළේ යතුර දෙන ලද්දේය. 2 ඔහු පාතාලයේ වල විවෘත කළේය‍‍‍; එවිට මහත් උඳුනක දුම මෙන් දුමක් වළෙන් නැගී, ඉරත් අහසත් වළේ දුමෙන් අඳුරු විය. 3 ඒ දුමින් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආවෝය; පොළොවේ ගෝනුස්සන්ට බලය තිබෙන්නාක් මෙන් උන්ට බලය දෙන ලද්දේය. 4 තවද දෙවියන්වහන්සේගේ මුද්‍රාව තමුන්ගේ නළල්වල නැති මිනිසුන්ට මිස පොළොවේ තණකොළ වලටවත්, කිසි අමුදෙයකටවත්, කිසි ගහකටවත් අනතුරු නොකරන හැටියට උන්ට කියනලද්දේය. 5 උන්ට අවසර දුන්නේ මිනිසුන් මරන පිණිස නොව ඔවුන්ට පස්මසක් වදකරනු ලබන පිණිසය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙකු ඇන්න කල හටගන්න වේදනාව මෙන් වුයේය. 6 ඒදවස්වලද මනුෂ්‍යයෝ මරණය සොයන්නෝය. නමුත් කිසිසේත් එය සම්බ නොවන්නේය; මැරෙන්ට ආශාවන්නෝය, එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේය. 7 පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය; උන්ගේ හිස්පිට රන් වැනිවු ඔටුනු තිබුණාක්මෙන්විය, උන්ගේ මුහුණු මනුෂ්‍යයින්ගේ මුහුණු වාගේය. 8 ස්ත‍්‍රීන්ගේ හිසකේ මෙන් කේශ උන්ට තිබුණේය, උන්ගේ දත් සිංහයන්ගේ දත් වාගේය. 9 යකඩ ළයවැසුම් මෙන් ළයවැසුම් උන්ට තිබුණේය; උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට දුවන බොහෝ අශ්ව රථ වල ශබ්දය වාගේය. 10 ගෝනුස්සන්ට මෙන් වල්ගාද කටුද උන්ට තිබේ; මනුෂ්‍යයන්ට පස්මසක් අනතුරු කරන්ට උන්ට බලය තිබුණේ උන්ගේ වල්ගාවලය. 11 පාතාලයේ දුතයා උන් කෙරෙහි රජවිය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග‍්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන්* (විනාශකයා) යන නම ඔහුට ඇත්තේය. 12 පළමුවෙනි දුක පසුවිය. මින්පසු තව දුක් දෙකක් පැමිණෙන්නේය. 13 සවෙනි දේවදුතයාද පිම්බේය, එවිට: එප‍්‍රාත් යන මහ ගංගාව ලඟ බඳිනලද දූතයන් සතරදෙනා මුදාපන්නැයි හොරණැව ඇතුව සිටිය සවෙනි දේව දුතයාට, 14 කෙනෙක් කියන ශබ්දයක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයේ අං සතර කෙරෙන් මට ඇසුණේය. 15 එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මරන පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම්කරනු ලැබ සිටි ඒ දූතයන් සතරදෙනා මුදනු ලැබුවෝය. 16 අසරු සේනාවල ගණන විසිකෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි. 17 මෙසේ අශ්වයන්ද උන්පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි, ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරවූ ළයවැසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය. උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය. 18 උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගේ තුනෙන් කොටසක් මරනු ලැබුවෝය. 19 මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවලත් වල්ගාවලත්ය. එසේය, උන්ගේ වල්ගා සර්පයන්ට සමානව ඉස්වලින් යුක්තවිය; ඒවායින් උන් අනතුරුකරති. 20 මේ පීඩාවලින් මරනු නොලැබ ඉතිරිවූ මනුෂ්‍යයෝද යක්ෂයන්ටත් දකින්ට අසන්ට හෝ ඇවිදින්ට නුපුළුවන් රන් රිදී පිත්තල ගල් ලී යන රූප වලට නමස්කාර නොකරන ලෙස. තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චත්තාපවුණේ නැත. 21 ඔවුන්ගේ මිනී මැරීම්ද මායම්ද වෙශ්‍යාකමද සොරකම්ද ගැන ඔවුහු පසුතැවිලි නූණෝය.

එළිදරව් 10

1 තවත් බලවත් දේවදුතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසට ඉහලින් දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද, ඔහුගේ කකුල් ගිනිකණු මෙන්දවිය; 2 ඔහුගේ අතේ දිග හරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුදපිටද වම් පය ගොඩබිම පිටද තබා, 3 සිංහයෙකු ගොරවන්නාක්මෙන් මහත් ශබ්දයකින් මොරගැසුවේය. 4 ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වූවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රා කරපන්නැයි ස්වර්ගයෙන් ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. 5 මුහුදපිටත් ගොඩබිමෙහිත් සිටිනවා මා විසින් දුටුවාවූ දේවදුතයා ස්වර්ගය දෙසට තමාගේ දකුණත ඔසවා: 6 සදාකාලෙටම ජීවත්වන්නාවූ, ස්වර්ගයත් එහි තිබෙනදේත් පොළොවත් එහි තිබෙනදේත් මුහුදත් එහි තිබෙනදේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ තවත් කල් නැත කියාද, 7 සත්වෙනි දේවදුතයාගේ ශබ්දකිරිමේ දවස් වලදී ඔහු පිඹින්ට යන කල, දෙවියන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ට ප‍්‍රකාශකළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණවී තිබේය කියාද කීවේය. 8 ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමඟ කතා කරමින්: නුඹ ගොස්, මුහුදපිටත් ගොඩබිමෙහිත් සිටින දේවදුතයාගේ අතේ දිග ඇරලා තිබෙන පොත අර ගනින්නැයි මට කීවේය. 9 මමද දේවදුතයා වෙතටගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගෙන කාපන්න, ඒ නුඹේ බඩ තිත්ත කරන්නේය, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේය යැයි මට කිවේය. 10 එවිට මම දේවදුතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මගේ කටේ මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මගේ බඩ තිත්තවිය. 11 තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑ යැයි මට කියන ලද්දේය.

එළිදරව් 11

1 සැරයටියක් වාගේ බටදණ්ඩක් මට දෙන ලද්දේය. එවිට කෙනෙක් මට කතා කරමින්: නැගිට දෙවියන්වහන්සේගේ මාළිගාවද පූජාසනයද එහි නමස්කාර කරන්නන්ද මැනපන්න. 2 මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍ය ජාතීන්ට දී තිබෙන බැවින් එය නොමැන අත්හැරපන්න. ඔවුහු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් (42) පයින් පාගාදමන්නෝය. 3 තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔවුහු එක්දහස් දෙසිය හැට (1,260) දවසක් ගෝණි රෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය. 4 මොවුහු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට සිටින ඔලීව් ගස් දෙකද, පහන්රුක් දෙකද වෙති. 5 යමෙක් ඔවුන්ට අනතුරක් කරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. ඔවුන්ට අනතුරු කරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය. 6 තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස් තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහර දෙන්ටත් ඔවුන්ට බලය තිබේ. 7 ඔවුන් තමුන්ගේ සාක්ෂිය නිමකලවිට පාතාලයෙන් නැගී එන මෘගයා ඔවුන්ට එරෙහිව යුද්ධ කොට, ඔවුන්ගෙන් ජයගෙන ඔවුන් මරන්නේය. 8 ඔවුන්ගේ මළ කඳන් වනාහි සොදොම සහ මිසරයත් යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ කුරුසියෙහි ඇණගසනලද, මහත් නුවර වීථියේ තිබෙනවා ඇත. 9 සෙනඟගෙන්ද ගෝත‍්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළ කඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින්, මළකඳන් සොහොනක තබන්ට ඉඩ නොදෙති. 10 මේ ප්‍රොපේතවරුන් දෙදෙනා පොළොවේ වසන්නන්ට වධ කළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන්ගැන ප‍්‍රීතිව සන්තෝෂ වෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය. 11 ඒ දවස් තුනහමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ, ඔවුහු නැගිට සිටියෝය; ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භය පැමුණුණේය. 12 මෙහි නැගීවරෙල්ලායයි ස්වර්ගයෙන් තමුන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුණේය. ඔව්හුද වලාකුළෙන් ස්වර්ගයට නැගී ගියෝය; ඔවුන්ගේ සතුරෝද ඔවුන් දුටුවෝය. 13 එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් කඩා වැටුණේය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්ණෝය. 14 දෙවෙනි දුක පසුවිය. බලව, තුන්වෙනි දුක ඉක්මනින් එන්නේය. 15 සත්වෙනි දේවදුතයාද පිම්ඹේය. එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක‍්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාළෙටම රජ රජකම් කරනසේකැයි. කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය. 16 දෙවියන්වහන්සේ ඉදිරිපිට තමුන්ගේ සිංහාසනවල වාඩිව සිටින වැඩිමහල්ලන් විසි හතර දෙනා මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාර කොට, 17 සිටින්නාවූ, සිටියාවූ, සර්ව පරාක‍්‍රමවූ, ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම් කළ බැවින් අප ඔබට ස්තුති කරමුව. 18 ජාතීහු උදහස් වූවෝය, ඔබගේ උදහසද, මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත්, ශුද්ධවන්තයින්ටත් ඔබගේ නාමයට භය වන, ලොකු කුඩා, තැනැත්තන්ටත් විපාක දෙන්නාවු, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ, කාලයද පැමුණුණේ යැයි කීවෝය. 19 එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරින ලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙටිටියද, උන්වහන්සේගේ මාළිගාවෙහි පෙණුණේය. එවිට විදුලිද, ශබ්දද, ගර්ජනාද, භූමිකම්පාවක්ද, මහත් ගල් වර්ෂාවක්ද විය.

එළිදරව් 12

1 තවද මහත් පුදුම ලකුණක් ස්වර්ගයෙහි දක්නා ලද්දේය. එනම් සූර්යා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද, හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත‍්‍රියෙක්ය: 2 ඈ ගර්භණීව සිටියාය. ඈ දරුඋපතකට ළංව, විළි රුජා විඳිමින්, කෑගසමින් සිටියාය. 3 එවිට තවත් ළකුණක් ස්වර්ගයෙහි දක්නා ලද්දේය: එනම් හිස් සතක්ද, අං දසයක්ද, තමාගේ හිස්පිට ඔටුනු සතක්ද ඇති මහත් රතුපාට මකරෙක් විය. 4 ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් පංගුවක්, අතුගා පොළොවට හෙළුවේය. මකරාද, ප‍්‍රසූතයට ආසන්නව සිටි ස්ත‍්‍රිය ප‍්‍රසූත කළ සැනින් දරුවා කා දමන පිණිස ඇය ඉදිරියෙහි සිටියේය. 5 ඇය සියලු ජාතීන් යදණඩකින් ආණ්ඩුකරන පුත‍්‍රයෙකු,, පිරිමි දරුවෙකු ප‍්‍රසුත කළාය. ඇයගේ දරුවා දෙවියන්වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය. 6 ස්ත‍්‍රියද, කාන්තාරයෙහි, එක්දහස් දෙසිය සැට(1260) දවසක් ඈ රැකබලාගනු ලබන පිණිස, දෙවියන්වහන්සේ විසින්, ඇය සඳහා පිළියෙල කරන ලද ස්ථානයකට පලා ගියාය. 7 තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයන්, මකරාට එරෙහිව සටන් කළෝය. මකරා සහ උගේ දුතයින් පෙරළා සටන් වැදුනෝය. 8 නමුත් උගේ ශක්තිය මදිවූ බැවින්, ඔවුන්ට ස්වර්ගයෙහි තිබූ ස්ථානය අහිමිවිය. 9 මුළු ලෝකය රවටන්නා වන යක්ෂයා. හෙවත් සාතන් යයි කියන මහා මකරා නැමති ඒ පුරාණ මකරා පහතට හෙළණු ලැබීය, උගේ දුතයින් සමඟ පොළවට හෙලනු ලැබීය. 10 එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැලවීමද බලයද, රාජ්‍යද, තමන් ක‍්‍රිස්තුස්වහන්සේගේ, අධිකාරියද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දවල් අපේ සහෝදරයන්ට වරද තබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙලනු ලැබුවේය. 11 ඔවුහු බැටළු පැටවාණන්ගේ ලේ නිසාද, තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජය ගත්තෝය. ඔවුහු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට පේ‍්‍රම නොකර සිටියෝය. 12 එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි ප‍්‍රීතිවෙයල්ලා. ගොඩටත් මුහුදටත් දුක්වේ මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය, යැයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය. 13 තමා පොළොවට හෙලනු ලැබූ බව මකරා දුටුකල, හෙතෙම පිරිමි දරුවා ප‍්‍රසුත කළ ස්ත‍්‍රියට පිඩා කළේය. 14 මකරා කාන්තාරයෙහි ඇයට සූදානම්කර ඇති ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙන ලද්දේය. එහි කාලයකටත්, කාල වලටත්, කාල භාගයකටත් ඇය රැක බලාගනු ලබන්නීය. 15 මකරාද ඒ ස්ත‍්‍රිය සැඩ පහරෙන් ගසාගෙන යන්නට සැලසෙන පිණිස, ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා ඇරියේය. 16 නුමුත් පොළොව ස්ත‍්‍රියට පිහිටව, කට ඇර මහ මකරා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය. 17 මකරා ස්ත‍්‍රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ, ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය.

එළිදරව් 13

1 තවද, මකරා මුහුදු වෙරළේ සිටියේය. අං දසයක්ද, ඉස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුණු දසයක්ද, උගේ ඉස්වල අපහාස නාමවල්ද තිබුණේය. 2 මා දුටු මෘගයා අඳුන් දිවියෙකුට සමානය, උගේ පාද වලසකුගේ පාද වැනිය, මකරා තමාගේ පරාක‍්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය. 3 මැරෙන තරමට උගේ හිස් වලින් එකකට තුවාලවී තිබෙන්නාක් මෙන් පෙණුනේය, නුමුත් උගේ මරණීය තුවාලය සුව විය. මුළුලෝකයා මෘගයා පස්සේ ගියෝය. 4 මකරා බලය දුන් නිසා ඔවුහු මකරාට නමස්කාර කළෝය. ඔවුහු මෘගයාටත් නමස්කාර කොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධ කරන්ට කවරෙකුට හැකිදැයි කීවෝය. 5 අහංකාර දේවල්ද, දේව අපහාසද කතා කරන මුඛයක් ඌට දෙන ලද්දේය. මාස හතලිස් දෙකක් පවතින්ට ඌට බලය දෙන ලද්දේය. 6 එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාස කරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේ වැඩ වසන ස්ථානයටත්, ස්වර්ගයෙහි වාසය කරන්නන්ටත් අපහාස කරණ පිණිසද මුඛය ඇරියේය. 7 තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජය ගන්ටද ඌට ඉඩ දෙන ලද්දේය. සියලු ගෝත‍්‍රයන්ද සෙනඟද, භාෂාවන්ද, ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙන ලද්දේය. 8 ලෝකය පටන්ගැන්මේ සිට මරණලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතෙහි නම් ලියවී නොතිබුණු, පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාර කරන්නෝය. 9 යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා. 10 යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනැය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය. 11 තවත් මෘගයෙක් පොළාවෙන් නැගී එනවා දුටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මකරෙකු මෙන් කතා කළේය. 12 ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීය වූ තුවාලය සුව වුනු පළමුවෙනි මෘගයාට නමස්කාර කරන්ට පොළොවටද, එහි වැසියන්ටද සලස්වන්නේය. 13 ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්සවන තරමට මහත් හාස්කම් සිදුකළේය. 14 කඩුපහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑ යැයි පොළොවේ වැසියන්ට කියමින්. මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණ කොට ගෙන ඌ පොළොවේ වැසියන් මුළා කළේය. 15 මෘගයාගේ රූපය කතා කර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරණු ලබන්ට සලස්වන පිණිස මෘගයාගේ රූපයට හුස්ම දෙන්නට ඌට බලය ලැබුණේය. 16 තවද ලොකු කුඩා පොහොසත්, දිළිඳු, දාස, නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සළකුණක් ලබන්ටත්, 17 ඒ සළකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේට ගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන් වන හැටියටත් සලස්වන්නේය. 18 මෙහි ප‍්‍රඥාව ඇත්තේය. යමෙකුට නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන‍ය කරාවා: මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය (666).

එළිදරව් 14

1 තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂ හතලිස් හාරදහස් දෙනෙක්ද (144,000) සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය. 2 බොහෝ ජල ඝෝෂාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද ස්වර්ගයෙන් ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුන ශබ්දය වනාහි තමුන්ගේ වීණා වලින් වාදනය කරන වාදකයන්ගේ ශබ්දය මෙන්ය. 3 ඔවුහු සිංහාසනය ඉදිරියෙහිද, ජීවමාන සත්වයන් හතරදෙනා සහ වැඩිමහල්ලන් ඉදිරියෙහිද, අළුත් ගීතිකාවක් ගායනා කළෝය. එම ගීතිකාව පොළොවෙන් මිලයට ගනු ලැබුවාවූ එක්ලක්ෂ හතලිස් හාරදහස් (144,000) දෙනාට මිස අන්කිසිවෙකුට ඉගෙනගන්නට නොහැකිවිය. 4 ස්ත‍්‍රීන්ගෙන් කිලිටි නොවූවෝ මොවුහුය. මක්නිසාද මොවුහු ඔවුන් විසින්ම පවිත‍්‍රව සිටියෝය. බැටළු පැටවාණන් කොතැනට ගියත් උන්වහන්සේ අනුව යන්නෝ මොවුහුය. මොවුහු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලයට ගන්නා ලද්දෝය. 5 ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔවුහු නොකැළැල්ව සිටිති. 6 පොළොවේ වසන්නන්ටත්, සියළු ජාතීන්ටත්, ගෝත‍්‍රයන්ටත්, භාෂාවන්ටත්, සෙනඟටත් ප‍්‍රකාශකරන පිණිස, සදාකාලික ශුභාරංචිය ඇතිව සිටින තවත් දේවදුතයෙක් අහස මැද පියාසර කරනවා දුටිමි: 7 ඔහු මහත් ශබ්දයකින් කතාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරවදීපල්ලා: මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ පැමිණ ඇත. අහසත් පොළොවත්, මුහුදත්, ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාර කරපල්ලා යයි කීය. 8 දෙවෙනි දේව දුතයයෙකු ඒ අනුව යමින් තමාගේ වේශ්‍යාකමේ කෝපය නැමති මුද්‍රික පානය සියලු පාතීන්ට පෙව්වාවූ, මහත් බැබිලෝනිය, වැටුණෙය වැටුණේය යැයි කීය. 9 තුන්වෙනි දේවදුතයෙකු ඔවුන් පසු පස යමින්, යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද, 10 ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නැමති කුසලානට අමිශ‍්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහස නැමති මුද්‍රික පානය බොන්නේය, ඔහු ශුද්ධවූ දේවදූතයන් ඉදිරියෙහිද, බැටළු පැටවාණන් ඉදිරියෙහිද ගින්නෙනුත්, ගෙන්දගම් වලිනුත් වධ කරනු ලබන්නේය. 11 ඔවුන්ගේ වේදනාව නැමති ධූමය සදාකාලෙටම නගින්නේය. මෘගයාටත් අගේ රූපයටත් නමස්කාර කරන්නෝද, ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද, දිව රෑ දෙකෙහි නිවාඩු නොලබන්නේය යැයි මහත් ශබ්දයකින් කීය. 12 මෙම කැඳවීම, දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වන, යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද, රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයින් කොටසගේ ඉවසිලිවන්ත දරාගැනීම සඳහාය. 13 තවද: මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය කියා ලියාපන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම් වලින් නිවාඩු ලබති. ඔවුන්ගේ ක‍්‍රියාද ඔවුන් පසුපසින් යන්නේය යැයි ආත්මයාණන් වහන්සේ කියනසේක. 14 තවද සුදු වළාකුළකුත්, ඒ වලා කුළ පිට තමාගේ හිසේ රන් ඔටුන්නක් දමා ගත් සහ තමාගේ අතේ මුවහත් දෑකැත්තක්ද ඇත්තාවූීමනුෂ්‍යපුත‍්‍රයෙක් වැනිවූ කෙනෙක් වැඩ ඉන්නවාත් දුටිමි. 15 ඉන්පසු වෙනත් දේවදුතයෙක්ද දේව මාලිගාවෙන් නික්ම ඇවිත්, වළාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේට මහත් ශබ්දයකින් මොරගසා: ඔබවහන්සේ දෑකැත්ත යොමා කැපුව මැනව, මක්නිසාද පොළොවේ ගොයම් පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ තිබේ යැයි කීය. 16 එවිට වළාකුල පිට වැඩහුන් තැනන්වහන්සේ දෑකැත්ත පොළොවට හෙලූ සේක. පොළොවේ ගොයම්ද කපනුලැබුවේය. 17 තවත් දේවදුතයෙක් ස්වර්ගයෙහි දේවමාළිගාවෙන් පිටතට ආවේය. ඔහුටත් මුවහත් දෑකැත්තක් තිබුණේය. 18 ගින්න කෙරෙහි බලය ඇත්තාවූ තවත් දේව දුතයෙක්, පූජාසනයෙන් පිටත්ව ඇවිත් මුවහත් දෑකැත්ත ඇතුව සිටි තැනැත්තාට මහත් හඬකින් මොරගසා: නුඹේ මුවහත් දෑකැත්ත යොමුකොට, පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස්කරපන්න, මක්නිසාද මිදි ඵල හොඳට ඉදී තිබේ යැයි කීය. 19 එවිට දේවදුතයා තමාගේ දෑකැත්ත පොළොවට හෙලා පොළොවේ මිදි ඵල රැස්කොට, දෙවියන්වහන්සේගේ උදහස නැමති මහත් මිදි පැසට හෙළුවේය. 20 නගරයෙන් පිටත මිදි පැස පාගන ලද්දේය. එවිට පර්ලොං එක්දහස් හයසියයක් (1600) පමණ දුර අශ්වයන්ගේ කට කලියා දක්වා මිදි පැසෙන් ලේ පිටවුණේය.

එළිදරව් 15

1 ස්වර්ගයෙහි මහත්වූ විශ්මපත්වූ තවත් ලකුණක් දුටිමි, එනම් දේවදුතයින් සත්දෙනෙක් පීඩා සතක් රැගෙන සිටියෝය.- එයින් දෙවියන්වහන්සේගේ උදහස කෙළවර වන බැවින් ඒවා අන්තිම පීඩාය. 2 ගිනි සමඟ මිශ‍්‍රවූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නමේ ගණනෙනුත් ජයගෙන එන්නන් දෙවියන්වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ලඟ සිටිනවාත් මම දුටිමි. 3 ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද, බැටළු පැටවාණන්ගේ ගීතිකරීද ගායනාකරමින්: සර්ව පරාක‍්‍රමවූ ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ ක‍්‍රියා මහත්ය, විශ්මපත්ය, ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. 4 ස්වාමීනි ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය, එබැවින් සියළු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි, නමස්කාර කරනවා ඇත. මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක‍්‍රියා ප‍්‍රකාශකරන ලද්දේයැයි කිවෝය. 5 ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපයෙහි දේව මාලිගාව ඇරී, තිබෙන බව දුටිමි. 6 එවිට පීඩා සත ඇතුව සිටි දේව දූතයන් සත්දෙනා පවිත‍්‍රවූ දිප්තිමත්වූ වස්ත‍්‍ර පැළඳ, රන් පටි වලින් තමුන්ගේ ලය බැඳගෙන, දේව මාළිගාවෙන් පිටතට ආවෝය. 7 ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක්, සදාකාලෙටම ජීවත්වන්නාවූ දෙවියන්වහන්සේගේ උදහසින් පූර්ණවූ රන් පාත‍්‍රා සතක්, දේවදූතයන් සත්දෙනාට දුන්නේය. 8 දෙවියන්වහන්සේගේ තේජස සහ බලයෙන් නිකුත්වූ ධූමයෙන් දේව මාළිගාව පිරුණේය. දේවදූතයන් සත්දෙනාගේ පීඩා සත කෙළවරවන තුරු දේව මාළිගාවට ඇතුල්වෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය.

එළිදරව් 16

1 තවද: නුඹලා ගොස් දෙවියන්වහන්සේගේ උදහස නැමති පාත‍්‍රා සත පොළොවේ වගුරුවාපල්ලා යැයි දේව දුතයින් සත් දෙනාට කියන මහත් හඬක් දේව මාළිගාවෙන් මට ඇසුණේය. 2 එවිට පළමු දේවදුතයා ගොස්, තමාගේ පාත‍්‍රය භූමියෙහි වැගුරුවේය. එවිට මෘගයාගේ ලකුණු ඇත්තන්ද උගේ රූපයට නමස්කාර කරන්නන්ද, කෙරෙහි අශෝභන, වේදනාකාරී, වණ හට ගත්තේය. 3 දෙවෙනි දේවදුතයා තමාගේ පාත‍්‍රය මුහුදේ වැගුරුවේය. එවිට මුහුද මළ මිනිසෙකුගේ ලේ මෙන් වුණේය. මුහුදේ, පණ ඇති සියල්ල මැරුණෝය. 4 තුන්වෙනි දේව දුතයා දේවදුතයා තමාගේ පාත‍්‍රය ගංගාවලද, දිය උල්පත්වලද, වැගුරුවේය. එවිට ඒවා ලේ වුණේය. 5 ඉන්පසු ජලය කෙරෙහි බලය ඇති දේවදුතයා කතාකොට: සිටින්නාවූ, සිටියාවූ, ශුද්ධවූ, තැනන්වහන්ස, ඔබ මෙසේ විනිශ්චය කල බැවින්, ඔබ ධර්මිෂ්ඨය. 6 ඔවුන් ශුද්ධ වන්තයන්ගේද, අනාගත වක්තෘවරුන්ගේද, ලේ වැගිරෙවූ බැවින් ඔබ ඔවුන්ට බොන්නට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසු යැයි කියනවා මට ඇසුණේය. 7 එසේය, සර්ව පරාක‍්‍රමවූ, ස්වාමීවූ, දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චයෝ සත්‍යයය, ධර්මිෂ්ඨ යැයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය. 8 සතරවෙනි දේව දුතයා තමාගේ පාත‍්‍රය සූර්යා පිට වැගිරෙව්වේය. එවිට ගින්නෙන් මනුෂ්‍යයන් දවන්ට ඊට බලය දෙන ලද්දේය. 9 මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාස කළෝය. නමුත් උන්වහන්සේට ගෞරවය දෙන ලෙස, ඔවුහු පශ්චත්තාප වීම ප‍්‍රතික්ෂේප කළෝය. 10 පස්වෙනි දේව දුතයා තමාගේ පාත‍්‍රය, මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේය. ඔහුගේ රාජ්‍ය අඳුරුවිය. ඔව්හු වේදනාව නිසා තමුන්ගේ දිව් විකාගත්තෝය. 11 ඔවුහු තමන්ගේ වේදනාද, වණද නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට අපහාස කළෝය. නමුත් තමුන්ගේ ක‍්‍රියා ගැන පශ්චත්තාප වීම ප‍්‍රතික්ෂේප කළෝය. 12 සවෙනි දේව දුතයා තමාගේ පාත‍්‍රය මහා ගංගාවෙහි, එනම් යුප‍්‍රටීස් ග‍ඟෙහි වැගිරෙව්වේය එවිට නැගෙනහිර දිශාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳී ගියේය. 13 මකරාගේ කටිනුත්, මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘන්ගේ කටිනුත් මැඬියන් වැනි පෙනුමක් ඇති, අශුද්ධ ආත්මයන් තුන් දෙනෙක් නික්ම එනවා දුටිමි. 14 ඔවුහු සර්ව පරාක‍්‍රමවූ දෙවියනවහන්සේගේ මහත් දවසේදී යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ලඟට යන්නාවූ හාස්කම් කරන්නාවූ, යක්ෂයින්ගේ ආත්මයෝය. 15 බලව මම සොරෙකු මෙන් එමි. නග්නව ඇවිද, තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණස අවදිව සිට තමාගේ වස්ත‍්‍ර ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලද්දෙක්ය. 16 ඔවුහු හබේ‍්‍රරෙව් භාෂාවෙන්, අර් මගදොන් කියන ස්ථානයට රජුන් රැස්කළෝය. 17 සත්වෙනි දේවදුතයාද තමාගේ පාත‍්‍රය වාතලයෙහි වැගිරෙවුවෝය එවිට: එය සිදුකර ඇතැයි කියන මහත් හඬක් දේව මාළිගාව තුලින් සිංහාසනයෙන් නික්මුණේය. 18 ඉන්පසු විදුලිද, ශබ්දද, ගර්ජනාද විය. මහත් භූමි කම්පාවක්ද විය. පොළොවේ මනුෂ්‍යයන් සිටිදා පටන් එපමණ බලවත්වූ මහත්වූ භූමිකම්පාවක් සිදුවී නැත. 19 ඒ මහත්වූ නගරය තුන් කොටසකට වෙන්වී ගියේය. ජාතින්ගේ නගරද කඩා හැලූණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නැමති මුද්‍රික පාන කුසලාන මහත් බැබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය. 20 සියලු ද්වීපයෝ පලාගියෝය. කඳුද සොයාගත නොහැකිවිය. 21 අහසෙන් මහත් ගල් වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය. එහි එක එක ගල රාත්තල් සියයක් පමණ බරය. මනුෂ්‍යයෝ ගල් වර්ෂාවේ පීඩාව නිසා දෙවියන්වහන්සේට අපහාස කළෝය. මක්නිසාද එහි පීඩාව ඉතා මහත්විය.

එළිදරව් 17

1 පාත‍්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනා ගෙන් එක්කෙනෙක් මා වෙතට පැමිණ කතාකොට: මෙහි වරෙන්න, බොහෝ ජලපිට හිඳින, මහත් වේශ්‍යාවගේ දඬුවම නුඹට පෙන්වන්නෙමි. 2 පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය, පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නැමති මුද්‍රික පානයෙන් මත්වුනෝය යැයි කීවෝය. 3 ඔහු ආත්මයාණන්ගේ ආනුභාවයෙන් කාන්තාරයට මා ගෙන ගියේය. එවිට දේව අපහාස නාම වලින් පිරී සිටියාවූ ඉස් සතක් හා අං දසයක් ඇත්තාවූ රතුපාට මෘගයෙකු පිට ස්ත‍්‍රියෙකු වාඩිවී සිටිනවා දුටිමි. 4 ඒ ස්ත‍්‍රී රත්නිල් සහ රතුපාට වස්ත‍්‍ර පැලඳ, රනින්ද, අනර්ඝ ගල් සහ මුතු වලින්ද සැරසි සිටියාය, පිළිකුල් කම් වලින්ද, ඇගේ වේශ්‍යාකමේ අපවිත‍්‍රකම් වලින්ද, පූර්ණවු රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය, 5 ඇගේ නළල් පිට මෙම නාම ලියා තිබුණේය: අද්භූතය, මහා බැබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේද, පිළිකුලකම් වලද, මවුය. 6 ඒ ස්ත‍්‍රී ශුද්ධවන්තයින්ගේද, යේසුස්වහන්සේට සාක්ෂිදරන්නන්ගේද, ලෙයින් මත්වී සිටිනවා දුටිමි. මම ඇය දුටුවිට මහත්සේ විස්මපත්වුනෙමි. 7 දේවදුතයා මට කතාකොට: නුඹ විස්මපත් වුනේ මක්නිසාද? ස්ත‍්‍රියගේද, ඈව උසුලාගෙන යන ඉස් හතකුත්, අං දසයකුත් ඇති මෘගයාගේ රහස නුඹට පැහැදිලිකරන්නම් යැයි මට කීවේය. 8 නුඹ දුටු මෘගයා වරක් සිටියේය. දැන් නැත. ඌ පාතාලයෙන් නැගී එන්ටද, විනාශයට යන්ටද සිටින්නේය. ලෝකයේ පටන් ගැන්මේ සිට ජීවන පොතෙහි නම නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ මෘගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝය. 9 මෙය ප‍්‍රඥාව ඇති සිත කැඳවයි. ඉස් හත නම් ස්ත‍්‍රී වාඩිවී හිඳින කඳු සතය. 10 ඒ හිස් හත රජවරු හත්දෙනෙක්ද වන්නේය. පස්දෙනෙක් වැටී ගියෝය. එක්කෙනෙකු දැන් සිටින්නේය, අනික් තැනැත්තා තවම ආවේ නැත. නමුත් ඔහු ආවාම ස්වල්ප කාලයක් ඉතිරිව සිටින්නට ඕනැය. 11 සිටියාවූ, දැන් නැත්තාවූ මෘගයාම, අට වෙනි රජෙක්ව සත් දෙනාට අයත් කෙනෙක්ව සිටින්නේය. තවද ඔහු ඔහුගේ විනාශයට යන්නේය. 12 නුඹ දුටු අං දසය නම්. තවම කිසි රාජ්‍යයක් නොලැබූ රජවරු දස දෙනෙක්ය, නුමුත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට රජවරුන් ලෙස ආණ්ඩු බලය ලබන්ණෝය. 13 මොවුහු එක් සිත්ව තමුන්ගේ පරාක‍්‍රමයත් බලයත් මෘගයාට දෙති. 14 මොවුහු බැටළු පැටවාණන්ට විරුද්ධව යුද්ධ කරන්නෝය, බැටළු පැටවාණෝ ඔවුන් පරාජය කරන සේක. මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය. උන්වහන්සේ සමඟ සිටින්නෝද, උන්වහන්සේ කැඳවාගත්, තොරාගත් විශ්වාස අනුගාමිකයින්ය යැයි කීවේය. 15 ඔහු තවත් මට කතා කොට: වේශ්‍යාව වාඩිවී සිටි තැන නුඹ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද, සමූහයෝද, ජාතීහුද, භාෂාවෝද වෙති. 16 නුඹ දුටු අං දසයද, මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය. 17 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචන සම්පූර්ණ වන තුරු උන්වහන්සේගේ කැමැත්ත කරන්ට එක්සිත්ව තමුන්ගේ රාජ්‍ය මෘගයාට දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ සිත් කැමති කෙරවූසේක. 18 නුඹ දුටු ස්ත‍්‍රි නම්, පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහත් නුවර යයි කීවේය.

එළිදරව් 18

1 ඉන් පසු මහත් බලය ඇතුව වෙනත් දේවදුතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි, ඔහුගේ තේජසින් පොළොව ආලෝකමත් විය. 2 ඔහු බලවත් හඬකින් කෑගසා: වැටුනේය මහා බැබිලෝනිය වැටුනේය ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද, සියලු අශුද්ධ ආත්මයණ්ගේ හිරගෙයක්ද, සියලු අපවිත‍්‍රවූ, පිළිකුල්වූ, පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය. 3 මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යා කමේ උදහස නැමති මුද්‍රික පානය බී වැටුණෝය. පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යා කම් කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධික කමෙන් ධනවත් වූවෝය යැයි කීවේය. 4 තවද: මාගේ සෙන‍ඟෙනි, ඇගේ පාප වලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා යයි කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය. 5 මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා ගොඩ ගැසුණේය, දෙවියන්වහන්සේද ඇයගේ අපරාධ සිහිකළසේක. 6 ඇය දුන් ලෙස ඇයට ප‍්‍රතිඵලදී ඇගේ ක‍්‍රියා හැටියට දෙගුණයක් ඇයට දීපල්ලා. ඈ මිශ‍්‍ර කර දුන් කුසලානෙහි දෙපංගුවක් මිශ‍්‍රකර ඇයට දීපල්ලා. 7 ඈ තම හිත තුල තමාම වර්ණනා කරගනිමින් යම් පමණක් තමාටම ගෞරව, සැප ජීවිකාව ලබාගනිමින් සිටියේද, එපමණටම ඈට ශෝකය හා වධ දිපල්ලා. මම රැජීණක් මෙන් වැඩ හිඳිමි, මම වැන්ඳඹුවක් නොවෙමි, මම කිසිදිනක ශෝක නොවෙමියි ඈ සිතින් කියාගන්නීය. 8 එබැවින් මරණයද, ශෝකයද, සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය. ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය. මක්නිසාද ඈ විනිශ්චය කරන ස්වාමීවු දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක. 9 ඈ සමඟ වේශ්‍යාකම්කොට, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින්, දුරින්සිට: 10 අහෝ, අහෝ මහත් නගරය, බැබිලෝනිය බලවත් නුවර එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුණේ යැයි කියමින් ඈ ගැන අඬා විලාප කියති. 11 පොළොවේ වෙළෙන්දෝ කිසිවෙක් ඔවුන්ගේ වෙළඳාම් බඩු නොගන්න බැවින් ඈ ගැන අඬා ශෝකවෙති. ඒ බඩු නම්: 12 රන්රිදී බඩුද, අනර්ඝ ගල්ද, මුතුද, සිහින් රෙදිද, රත්නිල් වස්ත‍්‍රද. සියළු ආකාර සුවඳ ලීද, සියළු ඇත් දත් භාජනද, ඉතා අනර්ඝ ලීයෙන් පිත්තලෙන් යකෙඩින් සහ කිරි ගරුඬවලින් සෑදු සියළු ආකාර භාජනද 13 කුරුඳුද, කුළු බඩුද, සුගන්ධ ද්‍රව්‍යද, තෙලද. කටිට කුමචිචල්ද, මුද්‍රික පානයද, තෙල්ද සිහින් පිටිද ධාන්‍යද, ගවයන්ද, බැටළුවන්ද, අශ්වයන් සහ රථද, වහලූන්ද, මනුෂ්‍යයන්ගේ ප‍්‍රාණද, යන මේවාය. 14 තිගේ ආත්මය ආශා කල ඵල තී කෙරෙන් පහව ගියේය., ශෝභන වූ ඉසුරුමත්වූ සියල්ල තී කෙරෙන් විනාශ විය. මනුෂ්‍යයන්ට තවත් ඒවා සම්භ නොවේ. 15 ඈ කරණකොට ගෙන පොහොසත්වූ මේ බඩු වෙළෙන්දෝ ඈ විඳින වධයට භයව, අඬමින් වැලපෙමින් දුරින් සිට, 16 අහෝ, අහෝ, මහත් නගරය සිහින් රෙදිද, රත්නිල් සහ රක්ත වස්ත‍්‍රද, පැළඳ රනින්ද අනර්ඝ මැණික් සහ මුතු වලින් සැරසුණාවූ නුවර 17 එක පැයකින් පමණ මහත් ධනය විනාශ වී ගියේය යැයි කියති. සියළු නැව් මුලාදෑනි වරුද, යම් තැනකට යාත‍්‍රා කරන්නෝද, නාවිකයෝද, මුහුදේ වැඩ පළ කරන සියල්ලෝද, දුරින් සිට, ඇගේ දැවීමේ දුම බලා: 18 මේ මහත් නගරයට සමාන නගරය කොයි එකදැයි කියා කියමින් කෑ ගැසුවෝය. 19 ඔවුහු තමුන්ගේ හිස් පිට ධුලි හෙලා, හඬමින්, වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර ඇගේ වස්තුව හේතු කොට ගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත් වූවෝය. එක පැයකින් ඇය විනාශවුනාය කියමින් කෑ ගැසුවෝය. 20 ස්වර්ගය හා ශුද්ධ වන්තයෙනි, පේ‍්‍රරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප‍්‍රීතිවෙයල්ලා මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චය කළසේක. 21 තවද බලවත්වූ දේව දුතයෙක්, මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහදේ හෙලා: ඒ මහත් නගරය වූ බැබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය. 22 වීණා කාරයන්ගේද තූර්ය නාද පවත්වන්නන්ගේද, නළා කාරයන්ගේද, හොරණෑ කාරයන්ගේද, හඬ තී තුල තවත් නොඇසෙන්නේය. 23 පහනක එළිය තී තුල තවත් නොබැබළෙන්නේය. මණමනාලයාගේවත් මණමාලිගේ වත් හඬ තී තුල තවත් නොඇසෙන්නේය. මක්නිසාද තිගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය. තිගේ මායමින්ද සියළු ජාතීහු රැවටුනෝය. 24 ප්‍රොපේතවරුන්ගෙද, ශුද්ධවන්තයන්ගේද, පොළොවේ මරණ ලද සියල්ලන්ගේ ද ලේ ඈ තුල සම්භ වුනේය යැයි කීවේය.

එළිදරව් 19

1 මින්පසු ස්වර්ගයෙහි සිදාටින මහත් සමූහයෙකුගේ හඬ මෙන් මහත් හඬක් මට ඇසුණේය. ඔවුහු ශබ්ද ඇතිව කතාකොට: හලෙලූයා ගැළවීමද, මහිමයද බලයද අපගේ දෙවියන්වහන්සේට අයිතිය. 2 මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය. මක්නිසාද ඇගේ වේශ්‍යා කමෙන් පොළොව කිලුටු කළ මහත් වෛශ්‍යාව උන්වහන්සේ විනිශ්චය කළසේක. තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන් සේකැයි කීවෝය. 3 නැවත වරක්ද, ඔවුහු හලෙලූයා කීවෝය. ඇගේ දුම සදා කාලෙටම නගින්නේය. 4 වැඩිමහල්ලන් විසි හතරදෙනාද ජීවමාන සත්වයන් හතරදෙනාද වැටී: ආමෙන් හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩ හිඳින දෙවියන්වහන්සේට නමස්කාර කළෝය. 5 තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට බය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප‍්‍රසංසා කරපල්ලා යැයි කියන ශබ්දයක්, සිංහාසනයෙන් නික්මුණේය. 6 එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද, බොහෝ ජල ඝෝෂාවක් මෙන්ද, බලවත් ගර්ජනා වල ශබ්දය මෙන්ද, හඬක් මට අසුණේය.එනම්: සර්ව පරාක‍්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම් කරන බැවින්, හලෙලූයා 7 අපි අතිශයින් ප‍්‍රීතිසන්තෝෂ වෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය පැමිණියේය. උන්වහන්සේගේ මනමාලියද සූදානම්ව සිටින්නීය යනුයි. 8 දිප්තිමත්වූ පවිත‍්‍රවු සියුම් වස්ත‍්‍ර පැළඳිමට ඇයට ලබාදී තිබුණේය. (සියුම් වස්ත‍්‍ර නම් ශුද්ධ වන්තයින්ගේ ධර්මිෂ්ඨ ක‍්‍රියාය.) 9 තවද: බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍යය කෑමට කැඳවන ලද්දෝ වාසනාවන්තයෝය, කියා ලියාපන්නැයි දේවදුතයා මට කිවේය.ීමේවා දෙවියන්වහන්සේගේ සත්‍ය වචන යයිදත් ඔහු මට කීවේය. 10 මම ඔහුට නමස්කාර කරන පිණිස, ඔහුගේ පාමුල වැටුනෙමි. නමුත් ඔහු මට එසේ නොකරන්න මම නුඹේද, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරණ, නුඹේ සහෝදරයන්ගේද, හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාර කරපන්න, මක්නිසාද යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගත වාඛ්‍යයේ ආත්මයයැයි කිවේය. 11 එවිට ස්වර්ගය ඇරි තිබෙනවා දුටිමි. මා ඉදිරියේ සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, හා සත්‍යය කියනු ලැබූ තැනන්වහන්සේ, ඌ පිට වැඩ හුන්සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨ කමින් විනිශ්චයත්, යුද්ධයත් කරනසේක. 12 උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන්වහන්සේගේ හිසෙහි බොහෝ ඔටුනු තිබේ. උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට උන්වහන්සේ මත ලියා තිබුණේය. 13 තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත‍්‍රයක් පැලඳ සිටිසේක. උන්වහන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාඛ්‍යාණෝ යයි කියනු ලැබේ. 14 ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත‍්‍ර, සියුම් වස්ත‍්‍ර ඇඳ, සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය. 15 ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩුකල සේක. උන්වහන්සේ සර්ව පරාක‍්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නැමති මුද්‍රික පැස මඩින සේක. 16 උන්වහන්සේගේ වස්ත‍්‍රයෙහිද, කළවයෙහිද, රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ. 17 තවද සූර්යා තුල දේව දුතයෙක් සිටිනවා දුටිමි. ඔහුද ආකාශ මධ්‍යයෙහි පියාසරකරන සියළු පක්ෂීන්ට මහත් හඬ්න් මොරගසා: 18 තෙපි රජුන්ගේ මස්ද, සේනාපතින්ගේ මස්ද, බලවත් මනුෂ්‍යයන්ගේ මස්ද, අශ්වයන් සහ උන්පිට හිඳිනවුන්ගේ මස්ද, දාස, නිර්දාස ලොකු, කුඩා සියලු මනුෂ්‍යයන්ගේ මස්ද. කන පිණිස, දෙවියන්වහන්සේගේ මහත් රාත‍්‍රී කෑමට ඇවිත් රැස්වෙයව් යැයි කීවේය. 19 අශ්වයා පිට වැඩ හුන් තැනන්වහන්සේටත්, උන්වහන්සේගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කිරීමට මෘගයාද, පොළොවේ රජවරුන්ද, ඔවුන්ගේ සේනාවන්ද, රැස්ව සිටිනවා දුටිමි. 20 එකල මෘගයාද, ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබුවන් සහ අගේ රූපයට නමස්කාර කළවුන් රැවටුවාවූ බොරු අනාගත වක්තෘද, අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණ පිටින් හෙළනු ලැබුවෝය. 21 අනික් අය අශ්වයා පිට වැඩ හුන් තැනන්වහන්සේගේ කඩුවෙන්, එනම් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන්, මරනු ලැබුවෝය. ඔවුන්ගේ මාංසවලින් සියළු පක්ෂීහු තෘප්තියට පැමුණුණේය.

එළිදරව් 20

1 තවද පාතාලයේ යතුරුද, අතේ මහත් දම්වැලක්ද ඇතිව දේවදුතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. 2 ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන මකරා, අල්ලා අවුරුදු දහසකට බැන්ඳේය, 3 ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රා කළෙහිය. මින් පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනැය. 4 තවද, විනිශ්චය සඳහා අධිකාරිත්වය ලැබූවන් හිඳගෙන සිටි සිංහාසන දුටිමි, තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද, දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබුවන්ගේද, මෘගයාටවත්, උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සළකුණ තමුන්ගේ නලල්වලත්, අත්වලත් නොලැබුවාවූ තැනැත්තන්ගේද, ආත්මයන් දුටිමි. ඔවුහු ජීවත්ව ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළෝය. 5 (මළාවූ අනික් අය අවුරුදු දහස කෙළවරවන තුරු, ජීවත්නූනෝය.) මේ වනාහි පළමුවන නැවත- නැගිටීමය. 6 පළමුවන නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය. ඔවුහු දෙවියන්වහන්සේගේත් ක‍්‍රිස්තුස්වහන්සේගේත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝය. 7 අවුරුදු දහස කෙළවරවූ කල සාතන් තමාගේ හිරගෙයින් මුදනු ලැබ, 8 පොළොවේ සතරකොණේ සිටින්නාවූ, ගොග් මාගොග් යන ජාතීන් මුලා කරන්ටත් ඔවුන් යුද්ධයට රැස්කරන්ටත් නික්ම එන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය. 9 ඔව්හු පොළොවේ සෑම තැනටම ගොස්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයින්ගේ කඳවුරද, ප‍්‍රියවූ නුවරද වටලාගත්තෝය. එවිට (දෙවියන්වහන්සේ වෙතින්) ස්වර්ගයෙන්, ගිනි බැස ඔවුන් විනාශකළේය. 10 ඔවුන් මුලා කළ යක්ෂයා වනාහි, මෘගයාද, බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙලනු ලැබුවේය. ඔවුහු සදා කාළේටම දිවා රෑ දෙකෙහි වධ කරනු ලබති. 11 තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩ හුන් තැනන්වහන්සේද දුටිමි. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත්, පොළොවත් පලා ගියේය. ඒවාට තැනක් නොවීය. 12 මළාවූ ලොකු අයද, කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි. පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන- පොත වන තවත් පොතක් දිග හරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක‍්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. 13 මුහුද එහිවු මළවුන් අත් හැර දැමීය. මරණයත්, පාතාලයත් එහිවූ මළවුන් අත්හැර දැමීය. ඔවුහු එකිනෙකා තම තමාගේ ක‍්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. 14 මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළන ලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය. 15 යමෙකුගේ නම ජීවන පොතෙහි ලියා නැති බව සම්භවීද, ඔහු ගිනිවිලට හෙලනු ලැබුවේය.

එළිදරව් 21

1 ඉන්පසු මම අළුත් අහසක්ද අළුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය. මුහුදද තවත් නොවීය. 2 තවද තමාගේ පුරුෂයාට සරසන ලද මණමාලියෙකු මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අළුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. 3 තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසය කරනසේක. ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. 4 උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන සේක, මරණය තවත් නොවන්නේය. මක් නිසාද පරණ දේවල් පහව ගියේය යැයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. 5 සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථා කොට: මම සියල්ල අළුත් කරමි යි කීසේක. තවද උන්වහන්සේ කථාකොට:ලියපන්න. මක්නිසාද මේ වචන විශ්වාශය, සත්‍යය යැයි කීසේක. 6 උන්වහන්සේ මට කථා කොට: ඒවා ඉෂ්ඨවුණේය, මම අල්ෆා සහ ඔමේගාය, පටන්ගැන්ම සහ අන්තිමය. පිපාසය ඇත්තාට මම ජීවන- වතුර- උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි. 7 ජයගන්නා මේ දේවල් උරුම කරගන්නේය, මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත‍්‍රයා වන්නේය. 8 නුමුත්, භය ඇත්තන්ටත්, අවිශ්වාස කරන්නන්ටත්, පිළිකුල්ව සිටින්නන්ටත්, මිනී මරන්නන්ටත්, වේශ්‍යාකම් කරන්නන්ටත්, මායා කාරයන්ටත්, රූප වඳින්නන්ටත්, සියලු බොරුකාරයන්ටත්, ගින්නෙනුත් ගෙන්දගම් වලිනුත් දැවෙන විලෙහි, තමුන්ගේ කොටස වන්නේය. එය දෙවෙනි මරණය යැයි මට කීසේක. 9 අන්තිම පිඩා සත සහ පාත‍්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථා කොට: මෙහි වරෙන්න. බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනමාලී නුඹට පෙන්වන්නෙමියි කිවේය. 10 ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය. 11 ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මානික්‍යකට සමානය. එනම් පලිඟු මෙන් පැහැදිලිවූ සූර්ය කාන්ති ගලක් වගේය. 12 මහත්වූ උස්වූ පවුරක්ද, දොරටු දොළොසක්ද ඊට තිබුණේය. දොරටු ලඟ දේව දුතයෝ දොළොස් දෙනෙක් සිටියෝය. ඒ පිට නාම ලියා තිබුණේය. ඒ නාම වනාහි ඉශ‍්‍රායෙල් පුත‍්‍රයන්ගේ ගෝත‍්‍ර දොළෙහේ නාමවල්ය. 13 නැගෙනහිරින් දොරටු තුනක්ද, උතුරෙන් දොරටු තුනක්ද, තිබුණේය. 14 ඒවා පිට බැටළු පැටවාණන්ගේ පේ‍්‍රරිතයින් දොළොස්දෙනාගේ නාම දොළොස ලියා තිබුණේය. 15 මා සමඟ කතා කල තැනැත්තාට, නුවරද, එහි දොරටුද, එහි පවුරුද, මණින පිණිස, මිම්මක් කොට රන් දන්ඩක් තිබුණේය. 16 නුවර සතරැස්ව පිහිටා තිබුණේය, එහි දිගද පළලේ ප‍්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්ණේය. එය පර්ලොං 12000ක්ය. එහි දිගත්, පළළත්, උසත් එක සමානය. 17 ඔහු එහි පවුර මැන්නේය. ඒක දේව දුතයා භාවිතාකළ. මිනිසෙකුගේ, මිමි. 144 රියනක් ඝනකමය. 18 එහි පවුර සූර්ය කාන්ත වලින් ගොඩනගා තිබුණේය. නුවරද පවිත‍්‍ර වීදුරු වලට සමාන වූ පවිත‍්‍ර රන්ය. 19 නුවර පවුරේ අත්තිවාරම් සියළු ආකාර අනර්ඝ ගල් වලින් සරසා තිබුණේය. පළමුවෙන් අත්තිවාරම සූර්ය කාන්තියය. දෙවෙනි එක නීල කාන්තියය. තුන්වෙනි එක වර්ණ කාන්තියය. සතරවෙනි එක මරකතය. 20 පස්වෙනි එක නාඛ මානිඛ්‍යයය. සවෙනි එක ලෝලෝහිතංකයය, සත්වෙනි එක රන් කාන්තියය. අටවෙනි එක වෛදුර්යය. නව වෙනි එක පුෂ්ප රාගයය, දසවෙනි එක ගෝමේදයය එකළොස්වෙනි එක පද්මරාගයය, දොළොස්වෙනි එක අඹතෙස්ය. 21 දොරටු දොළොස මුතු දොළොසක්ය. එක එක දොරටුව එක එක මුතු ඇටයක්න් සාදා තිබුණේය. නගරයෙහි වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත‍්‍ර රන්ය. 22 මම නගරයෙහි දේව මාලිගාවක් නුදුටිමි. මක්නිසාද, සර්ව පරාක‍්‍රමවූ ස්වාමීවූ දෙවියන්වහන්සේද, බැටළු පැටවාණෝද, එහි දේවමාළිගාවය. 23 දෙවියන්වහන්සේගේ තේජසින් නගරය ආලෝක වූ බැවින්ද, බැටළු පැටවාණන් එහි පහන වන බැවින්ද, එහි බැබලීමට සුර්යාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත. 24 ජාතීහු එහි එලියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති. 25 එහි දොරටු දවාලේ කිසිසේත් වසනු නොලබන්නේය. මක්නිසාද එහි රාත‍්‍රීයක් නොවන්නේය. 26 ඔවුහු ජාතීන්ගේ තේජසත්, ගෞරවයත් ඊට ගෙනෙනවා ඇත. 27 බැටළු පැටවාණන්ගේ ජීවන- පොතෙහි ලියනලද්දවුන් මිස, අපවිත‍්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුල් නොවන්නේය.

එළිදරව් 22